2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

විශ්ව රූ රැජින වේදිකාෙව් ඉන්දියාව එකලු කළ පන්ජාබ් රූමතිය

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 80

සහශ්‍රකයේ උපන් පළමු විශ්ව රූ රුජිනිය පසුගිය 12 වැනිදා කිරුළු පැළඳුවාය. ඊශ්‍රායලයේ එයිලැට් (Eilat) හි යුනිවර්සල් ඩෝම් හිදී මෙකී ජයග්‍රහණය දිනූ ඇය ඉන්දියාවෙන් පැමිණි තරගකාරිය වූ හර්නාස් සන්ධුය. ඇයට මෙම කිරුළ පැළඳවූයේ 2020 විශ්ව රූ රුජිනිය වූ මෙක්සිකන් ජාතික ඇන්ඩ්‍රියා මේසා (Andrea Meza) විසිනි.

මිස් යුනිවර්ස් සංවිධානය විසින් 70 වැනි වතාවට දෙසැම්බර් 12 වැනිදා පැවැත්වූ මෙම තරගයෙන් ඉන්දියාව ජයගත් තුන්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර 1994 දී ඉන්දියානු ජාතික සුෂ්මිතා සෙන් ද 2000 වසරේදී ඉන්දියානු ජාතික ලාරා දත්තා ද මෙම විශ්ව රූ රුජින කිරුළ හිමි කරගෙන තිබිණි.

මෙවර පැවැත්වූ තරගයට තරගකාරියෝ 80ක් සහභාගි වූහ. එයින් 53 දෙනෙක් තම තමන්ගේ රටවල ජාතික රූ රුජින තරගවල රූ රුජිණ කිරුළ හිමිකරගත් යෞවනියන්ය. ඉන් 27 දෙනකු ඒ ඒ රටවල ජාතික රූ රුජින තරගවල දෙවැනි ස්ථානය හිමිකරගත් අයයි. ඩොමිනිකන් ජනරජයේ රූ රුජිණ කිරුළ හිමිකරගත් ඇන්ඩ්‍රියා මාර්ටිනස් හට කොවිඩ්-19 පොසිටිව් වීම නිසා මෙම තරගයට සහභාගි නොහැකි විය. ඒ වෙනුවට ආවේ එරට දෙවැනි ස්ථානය හිමිකරගත් ඩෙබී ඇෆ්ලාලෝය. මොරොක්කෝවේ 2021 විශ්ව රූ රුජිනිය වූ ෆාතිමා සහ්රා ඛයාට් හටද හදිසි අනතුරකට ලක්වීම නිසා පැමිණිය නොහැකි විය.

මෙවර සමස්ත ලෝකයේම අවධානය දිනාගත් විශ්ව රූ රුජිනිය වූ හර්නාස් කාවුර් සන්ධු (Harnaz Kaur Sandhu) උපත ලැබුවේ 2000 වර්ෂයේ මාර්තු 3 වැනිදාය. රංගන ශිල්පිනියක හා නිරූපණ ශිල්පිනියක වන ඇය උසින් අඩි 5යි අඟල් 9 ½කි. (මීටර් 1.76 කි) ඇගේ වරලස කළු පැහැතිය. ඇස් දුඹුරු පැහැයෙන් යුක්තය. හර්නාස් සන්ධු මෙම ජයග්‍රහණය ලබන්නට පෙර ඉන්දියාවේ රූප රාජිනී තරග කිහිපයකම ජය ලබා සිටියාය. ඇය 2017 දී Chandigarh රූ රුජින (Miss Chandigarh) කිරුළ දිනුවාය. 2018 දී Miss Max Emerging Star India කිරුළ දිනා ගත්තාය. ඉන් පසු 2019 දී Famina Miss India Panjab – 2019 කිරුළ ද 2021 (Diva Universe) දිවා යුනිවර්ස් කිරුළ ද මින් පෙර දිනාගන්නට තරම් රූ සිරින් යුක්ත වූවාය.


ඈ පළමු රූ රුජින තරගයට ලියාපදිංචි වූයේ තම පියාට නොදන්වාය. ඈ ඒ ගැන පියාට කීවේ ජය ලබාගත් පසුවයි. ඉන් පසු ඇගේ පියා ඇය ගත් තීරණය එකහෙළා පිළිගත්තේය

හර්සානා කාවුර් සන්ධු උපත ලැබුවේ පන්ජාබයේ, ගුර්දාස් පූර් දිස්ත්‍රික්කයේ කොහාලි ග්‍රාමයේය. එය බටාලා නම් නගරය සමීපයේ ඇති ගමකි. ප්‍රිටම්පාල් සිං සන්ධු නම් ඇගේ පියා නිශ්චල දේපළ වෙළෙඳාම වෘත්තිය කරගත් අයෙකි. රබීන්ද්‍ර කාවුර් සන්ධු නම් ඇගේ මව නාරි වෛද්‍යවරියකි. ඇය මොහාලි නගරයේ සොහානා රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තනතුර හොබවන්නීය. හර්සානා හැදී වැඩුණේ මෙම %සික්^ ජාතික පවුල් පසුබිමකයි. ඇගේ පියා ජැට් (Jat) ප්‍රභවයක් ඇත්තකු ලෙස සැලකේ. ජැට් යනු ප්‍රභූ වර්ගයාට අයත් නොවන කුලයකැයි සැලකේ.

2006 දී එංගලන්තය බලා ගිය හර්සානාගේ පවුලේ සියලු දෙනා (හර්සානා, ඇගේ දෙමාපියන් සහ සොයුරා) වසර දෙකකින් ආපසු ඉන්දියාවට පැමිණ චන්දිගාර් (Chandigar) හි පදිංචි වූවෝය. හර්සානා හැදී වැඩුණේ එම චන්දිගාර් නගරයේය. ඈ පළමුවෙන්ම ගියේ ශිවාලික් රජයේ පාසලටයි. ඉන් පසු Post Graduate Government College වෙතින් ඈ ඉගෙනීම ලැබුවාය. මෙම විශ්ව රූ රුජින කිරුළ හිමිවූ ඇය මේ වනවිට රාජ්‍ය පරිපාලනය පිළිබඳ (Master Degree) පශ්චාත් උපාධිය හදාරමින් සිටින්නීය.

2021 Miss Diva - රූ රුජින තරගයේදී තමන් හඳුන්වා දෙමින් ඈ කළ කථනය මෙසේය.

හිරිහැරයටත්, ශරීරය පිළිබඳ විවේචනය කරන්නා වූ උසුළු විසුළුවලටත් ලක්වුණු මම පහසුවෙන් බිඳී යන සුළු සියුමැලි මනසින් හෙබි ලාබාල කෙල්ලකව සිට, ෆීනික්ස් පක්ෂියකු මෙන්, නැගී ගත්, තමාගේ සැබෑ විභවතාව හඳුනාගත් ළඳක් වන්නෙමි.
වරක් තමාගේ පැවැත්ම ගැන පවා සැක පහළ කළ තැනැත්තකුව හිඳ යෞවනය නිර්මාණාත්මක අයුරින් ප්‍රමෝදයට පත් කරන අභිලාෂයෙන් ළලනාවක බවට පත් වූයෙමි. අද දින මා විශ්වය ඉදිරියේ දිරිමත්, ප්‍රබෝධමත්, දයාන්විත කාන්තාවක ලෙස සාඩම්බරයෙන් නැගී හිඳින්නෙමි. අරමුණක් ඇති ජීවිතයක් උදෙසා සියල්ල සපුරාගෙන අද දින අභාවයට ගිය යටගියාව හැර දමන්නෙමි.

ඉහත දැක්වෙන ඇගේ ප්‍රකාශයෙන් ඇගේ සුරූපී බව තුළම රුඳී පවත්නා පෞරුෂයෙන් හෙබි දිරිමත් බවත් නොපසුබස්නා උත්සාහයත් මැනවින් ප්‍රදර්ශනය වේ.

2021 Miss Diva රූ රුජින තරගයේදී (කුසපත් ඇදීමෙන්) ඇයට කතා කරන්නට ලැබුණේ ගෝලීය උණුසුම හා දේශගුණ විපර්යාස නැමති මාතෘකාව යටතේය. ඈ සිය කතාව පටන් ගත්තේ අමෙරිකානු ජාතික ගීත රචක/ ගායක ජෙරාඩ් වේ (Gerard Way) ගේ ගීයක කොටසකිනි. ඒ &One day your life will flash before your eyes යන වැකියෙනි.

මේ ඇය කළ කතාවේ සරල පරිවර්තනයකි.

දිනක ඔබේ ජීවිතය ඔබේ දෑස් ඉදිරියේ දිදුලමින් (චලන සිතුවමක් සේ) දිස්වනු ඇත. සොබාදහමට විඳින්නට සිදුව ඇති නේක ගැහැට දැක මගේ හදවත බිඳී යන්නට තරම් සොවින් බර වේ. ඒ සියල්ල සිදුව ඇත්තේ අපගේ වගකීමෙන් තොර හැසිරීම නිසාය. දැන් පැමිණ ඇත්තේ කතා අඩු කොට ඒ සඳහා ක්‍රියාත්මක විය යුතු කාලය යැයි මම සිතමි. මන්ද යත් අපගේ සෑම ක්‍රියාවක් තුළින්ම පාහේ එක්කෝ සොබාදහම ආරක්ෂා වේ, නැතහොත් එය මරා දැමෙන බැවිනි. කල් තියා එය වැළැක්වීම උදෙසා ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම, ඒ නිසා වැලපෙන්නට සිදුවීමට හෝ එය පිළිසකර කිරීමට වඩා හොඳ වේ.

බුද්ධිය හා දැනුම විමසා බැලීම විශ්ව රූ රුජින තරගවල එක් තරග ඉසව්වකි. හර්නාස් සන්ධු හට විශ්ව රූ රුජින ජයග්‍රහණය ලැබී ඇත්තේ හුදෙක් ඇගේ ඡවි කල්‍යාණය, දන්ත කල්‍යාණය හා කේෂ කල්‍යාණය නිසාම නොවන බව ඉහත සඳහන් ඇගේ කතා දෙකෙන්ම පෙනේ.

පසුගියදා ඉන්දියා ටුඩේ සඟරාවට හර්නාස්ගේ පියා වන පී.එස්. සන්ධු (ප්‍රිටම්පාල් සිං සන්ධු) සහ ඇගේ මව අදහස් පළ කර තිබිණි. ඇගේ පියා පළ කර තිබුණේ මෙවන් අදහසකි.

මෙය අපට ආඩම්බර විය හැකි මොහොතක්. අප දෙවියන්ගෙන් තවත් මොනවා ඉල්ලන්නද? ඔහු අපගේ සිහින සැබෑ කර තිබේ. ඈ ගෙදර ආ විට ජය සැමරුම පන්ජාබයට හුරු විදිහට භංග්රා සංගීතය නංවා ගිඩ්ඩා නැටුම් නටා සමරනවා. මගේ පියාට සොයුරන් 17ක් සිටියා. මුළු සන්ධු පවුලේ එකම ගැහැනු දරුවා හර්නාස්. පන්ජාබ්වරුන් වන අප බටර් පරාටා සහ ගිතෙල් කන්නට ආසයි. එහෙත් හර්නාස් නිතරම තෙල් කෑම මගහැරියා. ඈ බොහෝ විට කෑවේ සලාද හා පළතුරු. ඈ උයන්නත් ආසයි. ඈ කෑම වර්ගවලට ආසයි. ඈ අයිස්ක්‍රීම් ආසාවෙන් රස විඳිනවා.

ඇය පැණි රස අයිස්ක්‍රීම් කෑවාට, තෙල් කෑම නොකා කට පරිස්සම් කර ගැනීමද ඇගේ සිරුරේ මනා හැඩය පවත්වා ගැනීමට ඉවහල් වූවාට සැක නැත.

ඇගේ මව රබීන්දර් කියා සිටියේ, අප ඈ සිහින ලුහුබැඳ යාම නවතා දැමුවේ නැහැ කියාය.

2021 විශ්ව රූ රුජින කිරුළ පැළඳි පසු නව පරම්පරාවට කියන්නට ඇති දේ හර්නාස්ගෙන් විමසූ විට ඈ කීවේ මේ ටිකය.

අනිත් උදවිය සමඟ තමා සසඳා බැලීම ඔබ නවතා දමන්න. ලෝ පුරා සිදුවන වඩාත් වැදගත් දේ ගැන අපි කතා කරමු. ඔබටම අනන්‍ය අද්විතීය බවක් ඔබ තුළ ඇති බව දැනගන්න. ඔබ වඩාත් සුන්දරත්වයට පත් කරනුයේ එම අනන්‍ය බව විසිනුයි. ඔබේ දිවියට මගපෙන්වන නළුවා ඔබයි. මම මා ගැන විශ්වාසය තැබුවෙමි. ඒ නිසයි මා අද මෙතැන සිටගෙන ඉන්නේ.

මෙවර පැවති විශ්ව රූ රුජින තරගයෙන් ජාතික ඇඳුමෙන් සැරසුණු සුන්දරම යුවතිය ලෙස තේරුණේ නයිජීරියාවේ මාරිස්ටෙලා ඔක් පාලාය.

 සමන් පුෂ්ප ලියනගේ