2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

සතොසෙන් අඩුමිල භාණ්ඩ 50ක්

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 04:44 124

උත්සව සමයට ලංකා සතොසෙන් භාණ්ඩ පනහක් වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ලබාදෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවසීය. ඒ අනුව මේ වනවිටත් දිවයින පුරා පිහිටා ඇති ලංකා සතොස මඟින් මෙම භාණ්ඩ මිලදී ගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නමුත් පාරිභෝගිකයන් පවසන්නේ මෙලෙස ලංකා සතොස මගින් එම භාණ්ඩ අඩුමිලට ලබාගැනීමට තරම් භාණ්ඩ ලංකා සතොසේ නොමැති බවය. ඇතැම් ලංකා සතොස ඉදිරිපිට දිගු පෝලිම් දක්නටද ලැබුණි.

ඇමැතිතුමා කියන විදිහට මේ සතොසවල්වල බඩු නැහැ. රාක්ක ගොඩක් හිස්. උදෙන්ම සතොසට ආවට ගන්න තරම් බඩුවක් තිබුණේ නැහැ. ඒ නිසා අඩු ගානට බඩුගන්න පාරට ඇවිත් වැඩි ගානට බඩු අරගෙන ගෙදර තමයි යන්න වෙන්නේ.

යැයි සෝමා ගීගනගේ මහත්මිය පැවසීය.

සතොසෙන් බඩු ගන්න ඇවිත් හිතුව තරම් බඩු ටික ගන්න ලැබුණේ නැහැ. අඩුම ගානේ කිරිපිටි පැකට් එකක්වත් සතොසේ නැහැ. රට පුරා කිරිපිටි හිඟයක් තියෙනවා. අඩුම ගානේ එක්කෙනෙක්ට එක කිරිපිටි පැකට් එකක් ගන්නවත් අවස්ථාව ලබා දුන්නොත් ලොකු දෙයක්. හාල් අඩුවට දෙනව කිව්වා. ඇවිත් බලද්දී හාල් ඉවරයි. ඉතින් කොහොමද අපි මේ පවතින ආර්ථිකයත් එක්ක ජීවත් වෙන්නේ. බඩු මිල ඉහළ ගිහින්. මේ රට පාලනය කරන මිනිස්සුන්ට මේ රටේ අහිංසක, සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ.

යැයි මලිත් රත්නායක මහතාද තම අදහස පැවසීය.

මේ අනුව ලංකා සතොසෙන් අඩු මිලට භාණ්ඩ ලබාදුන්නද පාරිභෝගිකයන් පවසන්නේ එම භාණ්ඩවල හිඟයක් පවතින බවය. සමහර සතොස අලෙවි සල්වල එලෙස භාණ්ඩ හිඟයක් පෙන්නුම් කළද ඇතැම් ලංකා සතොස මඟින් මෙම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතී.

සීනි, හාල් සතොසෙන් අඩුවට ගන්න පුළුවන්. නාඩු සහල් අඩුවක් නැතිව තියෙනවා. මේ වගේ ක්‍රියාවක් කරපු එක සාමාන්‍ය මිනිස්සු හැටියට අපි අගේ කරනවා. එළවළු ගණන්, පොල්, මස් මාළු ගණන්. අඩුම ගානේ දරුවෙක්ට බිත්තරයක් තම්බල දෙන්න බැරි රටක් දැන් උදාවෙලා තියෙන්නේ. කිරි ටිකක් හදලා දෙන්නවත් කිරිපිටි නැහැ. ගෑස් පුපුරනවා. දැන් මිනිස්සු ඉන්නේ බයෙන් වගේම කලකිරීමෙන්. මේ වගේ මොහොතක සතොස මගින්වත් මේ බඩු ටික අඩුකරල දෙන එක හොඳ වැඩපිළිවෙළක්. හැබැයි සතොසවල වැඩකරන මිනිස්සු දන්න කියන කඩවල්වල මිනිස්සුන්ට මේ බඩු අපිට දෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නට අවසරය දෙනවාද කියලත් හොයල බැලුවොත් හොඳයි.* යැයි මහරගම හර්ෂ මහතා දේශයට පැවසීය.

මේ සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන්ද අපි විමසීමක් කළෙමු.

මේ සම්බන්ධයෙන් රිදෙන පාර්ශ්ව ගොඩාක් ඉන්නවා. වෙළෙඳපොළේ ඇති මාෆියාව සහ මිල ඉහළ යාමට විරුද්ධව තමයි අපි මේ අඩු මිලට භාණ්ඩ ලබා දෙන්නේ. බඩු නැහැ. විකිණෙන්නේ නැහැ. බඩු පරණයි කියන අසත්‍ය කතාවලට එක උත්තරයක් මිනිස්සු මේ වෙද්දී ලබාදීලයි තියෙන්නේ. අපි එනවිට සමස්ත ලංකාවේ දෛනික පිරිවැටුම මිලියන හැටයි. මේ සහන මිලට සහල් ඇතුළු භාණ්ඩ ලබාදීමෙන් පසුව දෛනික පිරිවැටුම මිලියන එකසිය හැටයි. ඒ අනුව දෛනික පිරිවැටුම් මිලියන සීයකින් වැඩිවීම රටේ පාරිභෝගිකයින් දිවයින පුරා ඇති සතොස වැළඳගෙන ඇති බව හොඳටම පෙනෙනවා.

යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දේශයට පැවසීය.

බොහෝවිට වෙළෙඳ පොළේ සහල් මිල ඉතා ඉහළ මිලක් ගෙන ඇත. එසේ වුවද සතොස මගින් නාඩු සහල් කිලෝවක් රුපියල් 99.50කටත් සුපිරි සම්බා කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගත හැකිය. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ සහල් වෙළෙඳුන්ගේ උත්සාහය වන්නේ සහල් කිලෝවක් රුපියල් තුන්සීයක් වැනි ඉහළ අගයක් දක්වා පවත්වාගෙන යාමට බවත්, එයට එරෙහිව අඩු මිලට සහල් රජය මඟින් ලබාදීමෙන් ඔවුන් අනවශ්‍ය ගැටලු මතු කරමින් එයට විරුද්ධව හඬක් නැගීමට උත්සාහ කරන බවත්ය. වෙළඳපොළේ සීනි වැඩි මිලකට ඉහළ යද්දී දේශීය දුඹුරු සීනි සතොස මඟින් රුපියල් එකසිය විසි පහකට මිලදී ගත හැකිය.

සතොස මගින් දේශීය දුඹුරු සීනි එකසිය විසිපහක මිලක් සඳහන් වෙද්දී පාරිභෝගිකයන් සීනි ගැනීම සඳහා සතොස වෙත එක්රුස් වෙනවා. ඒක අනෙක් වෙළඳුන්ට පාඩුවක්. සාමාන්‍ය වෙළෙඳපොළේ තුන්සිය පනහකට විකුණන තායිලන්තයේ නොම්බර එකේ හාල් මැස්සන් සතොස මගින් ග්‍රෑම් දෙසීය පනහ රුපියල් එකසිය හැත්තෑපහට විකුණනවා. ඊට අමතරව ග්‍රෑම් සීයේ තේ කොළ පැකට්ටුව රුපියල් අනූ අටකටත්, රෙදි සෝදන සබන් කැටයක් රුපියල් තිස් නවයකටත්, ලුණු ග්‍රෑම් 100 රුපියල් තිස්පහකටත් සතොස මගින් මිලදී ගන්න පුළුවන්. මේ ආකාරයකට භාණ්ඩ පනහක මිල වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව අඩු මුදලකට විකිණීමෙන් රිදෙන පාර්ශ්වයත් මිනිස්සු යොදා සතොසට බන්නනවා... ඒකෙ ප්‍රශ්නයක් මට නැහැ. මමත්, සතොස සේවකයන්, අපිව පිළිගත්තා පාරිභෝගිකයන්. මේ කරන්නේ විශාල සේවයක් කියල දන්න නිසා අපි මේ වැඩපිළිවෙළ ඉදිරියටත් කරගෙන යනවා.

යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මීට අමතරව ඉදිරි සතිය තුළදී උත්සව සමය නිමිත්තෙන් සහන මල්ලක් ලබාදීමටද වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කර ඇත. ඒ අනුව එම සහන මල්ල තුළ සම්බා සහල් කිලෝ දහයක්, සීනි කිලෝ දෙකක්, හාල්මැස්සන් ග්‍රෑම් දෙසීයක්, නූඩ්ල්ස් පැකට් එකක් (ග්‍රෑම් 400) තේ කොළ පැකට්ටුවක් (ග්‍රෑම් 100) සඳුන් සබන් කැටයක්, රෙදි සෝදන සබන් කැටයක්, ලුණු පැකට්ටුවක් අඩංගු වේ. මේ සහන මල්ලක මිල රුපියල් 1998.00කි.

මේ සහන මල්ල තෑගි මල්ලක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. මේ සහන මල්ල රුපියල් එක්දාස් නවසිය අනූ අටක් වන අතර සහන මල්ලට නොමිලේ පපඩම් පැකට්ටුවක්ද ලබා දෙනවා. අවශ්‍ය නම් 1998 අංකයට කතාකොට පැය හතළිස් අටක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක්ද අපි සකස් කර තිබෙනවා. ඇතැමුන් අපිට චෝදනා කරන්නේ බඩුගන්න ඒ අහල පහල තැනකින් පාරිභෝගිකයින්ට සතොසක් නැහැ කියලයි. ඔවුන් වෙනුවෙන් මේ පහසුකම අපි ලබාදීලයි තියෙන්නේ.*යැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05