2021/22 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරමින් සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රීපාද පත්මය කරා වැඩම කරවීමේ පෙරහැර මෙවරත් හැටන් මාර්ගය, පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය හා කුරුවිට මාර්ගය යන මාර්ග හතරක් ඔස්සේ ගමන් කරන ලදී. ඒ අනුව දීර්ඝ කාලයක සිට කුරුවිට ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් මල්ඵල ගන්වමින්, මෙවරත් දෙසැම්බර් මස 17 වැනි දින ඓතිහාසික කුරුවිට එරත්න ශ්‍රීපාද මාර්ගය ඔස්සේද සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද පත්මය කරා වැඩම කරවීමේ පෙරහැර මංගල්‍යය විචිත්‍රවත්ව හා අභිමානවත්ව පවත්වන ලදී.
මෙවරද ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති, පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති, පොත්ගුල් රාජමහා විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේගේ අනුමැතිය හා ආශිර්වාදයෙන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/මහ දිසාපති, මාලනී ලොකුපෝතාගම මැතිනියගේ මඟපෙන්වීමෙන්, කුරැවිට ප්‍රාදේශීය ලේකම්, භාග්‍ය බටුගෙදර මහතාගේ උපදෙස් පරිදි කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රදේශයේ සියලුම රාජ්‍ය, පෞද්ගලික හා ස්වේච්ජා සංවිධානවලද, ප්‍රදේශවාසීන්ගේද දායකත්වයෙන් පෙරහැර කටයුතු සංවිධානය කිරීම සිදු කෙරිණී.
හිටපු ප්‍රාදේශීය ලේකම් දිලින ධර්මදාස මහත්මියගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මෙම පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වූයේ තුන්වැනි වරටය. කුරුවිට ප්‍රදේශය හා ශ්‍රීපාද පත්මය අතර පවතිනුයේද හරි අපූරු සබැඳියාවකි. ඉපැරුණි රාජ සමයේ පළාත් බෙදීම අනුව ශ්‍රීපාද පත්මය පිහිටා ඇති සමනල කන්ද පිහිටා ඇත්තේද ඓතිහාසික කුරුවිට කෝරළය තුළය. එසේම එරත්න මාර්ගය වූ කලී පුරාණයේ සිටම ශ්‍රීපාද පත්මය කරා තිබූ පැරුණිතම මාර්ගයකි.
ඉතා අතීතයේදී ගම් නියම්ගම්වල සිට ගැල්වලින් හෝ පා ගමනින් කුරුවිට දක්වා පැමිණ, එතැන් සිට පා ගමනින්ම එරත්න හරහා දීර්ඝවූත් වෙහෙසකරවූත් වන්දනාවකින් පසුව ශ්‍රීපාද පත්මය වැඳපුදා ගැනීම එකල අපේ මුතුන්මිත්තන්ගේ සිරිතක්ව පැවතුණි. අනතුරුව ඉංග්‍රිසි පාලන සමයේදී ආරම්භ වූ “පුංචි කෝච්චියේ” කුරුවිට දුම්රිය ස්ථානය කරා පැමිණ එතැන් සිට එරත්න මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය වන්දනා කිරීමේ සම්ප්‍රදායක්ද බිහිවී තිබුණි. විශේෂයෙන්ම එකල කොළඹ ප්‍රදේශයේ වන්දනාකරුවන්ගේ ජනප්‍රියම ශ්‍රීපාද වන්දනා මාර්ගය වූයේද එරත්න මාර්ගයමය.
පසුකාලීනව අනෙකුත් මාර්ගවල පහසුකම් සංවර්ධනය වී ජනප්‍රිය වීමෙන් කුරැවිට මාර්ගය වන්දනාකරැවන්ගෙන් ඈත්විය. එහෙත් මෑතකාලීනව රත්නපුර මහ දිසාපතිවරියගේ මඟපෙන්වීමෙන් හා කුරැවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් විවිධ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හිද, විවිධ දානපතීන්ගේද දායකත්වයෙන් පහසුකම් වැඩිදියුණු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස නැවතත් වන්දනාකරැවන් අතර ජනප්‍රියම වන්දනා මාර්ගයක් බවට එරත්න මාර්ගය පත්වී ඇත.
ඉපැරුණි ශ්‍රීපාද වන්දනාවේ අත්දැකීම් උපරිමයෙන්ම ලබාගත හැකිවන පරිදි ස්වභාවික ගමන් මාර්ගය දැනට ශේෂව පවතිනුයේ එරත්න මාර්ගයේ පමණක්ම බැවින්ද ශ්‍රීපාද පාරිසරික පද්ධතියේ විශ්මිතය. උපරිමයෙන්ම විඳගනිමින් වන්දනා කළ හැකි බැවින්ද වර්තමානයේ තරුණ පරපුර අතර මෙම එරත්න මාර්ගය වඩාත්ම ජනප්‍රිය වෙමින් පවතී. එරත්න මාර්ගය ඔස්සේ සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර ආරම්භ කිරීමත් සමඟම තවදුරටත් වන්දනාකරැවන් අතර මෙම මාර්ගය ජනප්‍රිය වී ඇති බව පසුගිය වන්දනා වාරවලදී දැකගත හැකිවිය. ඒ අනුව අතීතයේදී ශ්‍රීපාද වන්දනා වාරය සමඟින් බැඳී පැවතුණු කුරුවිට එරත්න ප්‍රදේශවාසීන්ගේ ආර්ථික, සමාජීය, සංස්කෘතික හා ආගමික සබැඳියාව නැවතත් පණගැන්වීමට හැකිවීම සැබැවින්ම සතුටට කරුණකි.
මෙවර පෙරහැර පසුගිය දෙසැම්බර් මස 17 වැනි දින හිමිදිරියේ ඓතිහාසික ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානයෙන් රත්නපුර පලාබත්දල මාර්ගය ඔස්සේ ගමන් කළ පෙරහැර සමඟ ඒකාබද්ධව ආරම්භ වූ අතර රත්නපුර නගරය හරහා සමන් දේවාලය දක්වා පැමිණ එහි වත්පිළිවෙත් ඉටු කිරීමෙන් අනතුරැව පෙරහැර දෙක වෙනස් මාර්ගයන් දෙකක් ඔස්සේ ගමන් කරන ලදී.
මෙහිදී කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ගමන් කරනු ලැබූ රිය පෙරහැර සමන් දේවාලයේ සිට රත්නපුර - පානදුර මාර්ගය ඔස්සේ ගමන් කර ගොරකඇල මංසන්ධියෙන් හැරී කිතුල්පේ, පාතගම, පහළ කුරුවිට හරහා කුරුවිට නගරයට ප්‍රවිශ්ට විය. අනතුරුව කුරුවිට එරත්න මාර්ගයේ එක්නැළිගොඩ, සුදගල, බටතොට, ලක්සකන්ද, එරත්න, අඩවිකන්ද හරහා වර්ණගල දක්වා ගමන් කරන ලදී.
අනතුරුව වර්ණගල සිට ඓතිහාසික එරත්න ශ්‍රීපාද මාර්ගය ඔස්සේ සීතගඟුල, බේරුමණ්ඩිය, දෙමළමළහින්න, මැදහින්න, ගෙත්තම්පාන, හැරමිටිපාන, ගල්වංගෙඩිය, ආඬියාමළතැන්න ඔස්සේ මහගිරිදඹ තරණය කර ශ්‍රීපාද පත්මය කරා උදුවප් පෝ දින අළුයම වනවිට පාගමනින්ම සධාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමාව වැඩම කරවන ලදී. මේ අනුව වැඩිම දුරක් පාගමනින් සමන් දේව ප්‍රතිමාව වැඩම කරවූයේද එරත්න මාර්ගය ඔස්සේමය.
උඳුවප් පෝ දින අළුයම අතිපූජ්‍ය ශ්‍රීපාදස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවැත්වූ වත්පිළිවෙත්වලින් අනතුරුව මෙවර 2021/2022 ශ්‍රීපාද වන්දනා සමය නිල වශයෙන් ආරම්භ විය. පවතින කොවිඩ් ආපදා තත්ත්වය තුළ වුවද උපරිම ලෙස සෞඛ්‍ය පිළිවෙත්වලට අනුගත වෙමින් මුළු රටටම ආශීර්වාදයක් වන ලෙස මෙවරත් අභිමානවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස පෙරහැර සංවිධානය කිරීමට ශ්‍රීපාදස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේසේගේ හා රත්නපුර මහදිසාපතිතුමියගේ උපදෙස්, මඟපෙන්වීම අනුව කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබුණි.
මෙම පෙරහැර ගමන් කිරීමට හා වන්දනා සමය ආරම්භ කිරීමට සුදුසු වන පරිදි පෙරහැර මාර්ගය එළිපෙහෙළි කිරීම, මාර්ගයේ පිහිටි අම්බලම් හතම පිරිසිදු කර හුණුපිරියම් කිරීම, ජල හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, මාර්ගය විදුලියෙන් ආලෝකමත් කිරීම, වන්දනාකරුවන්ගේ පහසුව සඳහා වෙළඳ සැල් ආරම්භ කිරීම, පොලිස් මුරපොළ පිහිටුවීම ආදී පූර්ව සංවිධාන කටයුතු කුරැවිට ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ රාජ්‍ය පෞද්ගලික හා ස්වේච්ජා සංවිධානවල දායකත්වයෙන් මේ වනවිටත් සිදුකර අවසන්ය. ඒ අනුව සුපුරුදු පරිදි වඩාත් සුරක්ෂිත, පරිසර හිතකාමී, බැතිමත් ශ්‍රීපාද වන්දනාවක් ඓතිහාසික කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ සිදුකිරීමට වන්දනාකරුවන්ට මෙවරත් හැකිවනු ඇත.
මේ අයුරින් 2021/2022 ශ්‍රීපාද වන්දනා සමය ආර්ම්භය සනිටුවහන් කරමින් ''කුරුවිට කෝරළයේ මහා සංස්කෘතික මංගල්‍යය'' ලෙසින් සංවිධානය කරනු ලද ඓතිහාසික කුරුවිට එරත්න ශ්‍රීපාද මාර්ගය ඔස්සේ සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර මංගල්‍යයේ ආශිර්වාදයෙන්ද තුරුණුවන් සරණින් හා සුමන සමන් දෙවි රැකවරණයෙන් රටටත් ජනතාවටත් සෙතක් ශාන්තියක්ම අත්වේවායි සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරමු!
ටී.ඩී. නිහාල් (සහකාර ප්‍රාදේශිය ලේකම් - කුරුවිට)