මහ පොළොවට ප්‍රාණසම ස්නේහයකින් ආදරය කළ රතු ඉන්දියානු නායක සියැටල් මේ මහ පොළොව, ගහකොළ, ගංඟා, ඇළ දොළ සැලකුවේ තම සොයුරු සොයුරියන් සේය. එහෙත් ස්වභාවධර්මයේ රිද්මයට, නියතයට සහ හදගැස්මට අද්‍යතන තාක්ෂණික මිනිසා කොතෙක් දුරට සංවේදීද ආදරණීයද යන්න හදවතේ ගැඹුරුම තැනට කතා කර විමසිය යුතු කරුණකි. ආරෝග්‍යා පරමා ලාභා යන බුද්ධ වචනය යථාර්ථයක් බවට පත් කළ ප්‍රමුඛ සාධක අතර අතීත ලාංකික ආහාර සංස්කෘතිය සහ සරල නිදහස් විවේකී ආධ්‍යාත්මික හා භෞතික ජීවන ශෛලිය වී යැයි සඳහන් කිරීම සැබැවින්ම නිරවද්‍ය වනු ඇත. එහෙත් වත්මන් අති ධාවනකාරී පාරිභෝගිකවාදී සමාජ ක්‍රමය තුළ අතීත ශ්‍රී ලාංකික ඇගයුම්, වටිනාකම් මෙන්ම සාර ආහාර සංස්කෘතියේ ස්වරෑපයද නොයෙකුත් වෙනස්කම්වලට භාජනය වී ඇත.
එදා මේ මහ පොළොව නිලට කොළට අස්වැද්දුවේ ඈත දේශයන්ගෙන් ගෙන ආ පොහොරින් නොවේ. මහ පොළොවට, පසට වින නොකළ ස්වභාවික පොහොර භාවිතයෙනි. එහෙත් යුගයෙන් යුගයට ඇතිවූ නන්විධ පරිවර්තනයන්ගේ එක් ප්‍රතිඵලයක් වූයේ ගුණාත්මක වටිනාකම්වලට වඩා වේගවත් ප්‍රමාණාත්මක වටිනාකම් හරසරව පිළිගැනීමයි. ගොඩ මඩ සියලු වගාවන්ට රසායනික පොහොර භාවිතය එම නව්‍යකරණයේ තවත් එක් ප්‍රතිඵලයකි.
එවන් පසුබිමක අප මේ කතා කරන්නේ අපේම රටේ අපේම කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ හැකි වඩා විධිමත් ජෛව පොහොර නිෂ්පාදනයක් පිළිබඳවය.
හොරණ මූණගම අක්කර තුනහමාරක පමණ භූමි ප්‍රදේශයක එක් කොටසක් වෙන්ව ඇත්තේ මෙම ජෛව පොහොර නිෂ්පාදනයටය. බොන්සායි කරන ලද පැළ වර්ග, බට පැළ වර්ග, ඇන්තූරියම් සහ වෙනත් විසිතුරු පැළ වර්ග සඳහා එම භූමියෙහි අනෙක් කොටස් වෙන් වී ඇත. ගයාන් කළුබෝවිල මෙම අක්කර තුනහමාරක වපසරියක් තුළ විහිදුණු වගා සහ ජෛව පොහොර නිෂ්පාදනයේ තාවකාලික අයිතිකරු ලෙස මා හඳුන්වන්නේ එම වගාවන් සහ නිෂ්පාදන පිළිබඳ අයිතිය ඔහු සතු වුවත් එම භූමියෙහි ඔහු රුඳෙන්නේ බදු පදනම මත වන බැවිනි. දැනට විකිණීම සඳහා අයිතිකරු විසින් යෝජනා කර ඇති භූමියක එම අවදානමද දෙවුර දරාගෙන සුන්දර වගාවන් සහ දේශීය නිෂ්පාදනයක් අඛණ්ඩව සිදු කරගෙන යාම පිළිබඳව මුලින්ම ගයාන්ට අපි අපේ කෘතවේදීත්වය පළ කරමු.
පාරම්පරික ගොවි පවුලකින් පැවත එන මම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ විසිතුරු මල් පැළ ව්‍යාපාරයකින්. ඒ ව්‍යාපාරය පටන් අරගෙන දැනට වසර 20ක් විතර වෙනවා. නිවාස සංකීර්ණ සඳහා මහා විශාල තොග වශයෙන් විසිතුරු පැළ ලබාදීම මම කාලයක ඉඳන් සිදු කරනවා. මේ දවස්වල පැළ 27000ක ව්‍යාපෘතියක් මම කරගෙන යනවා. ඒ වගේම මම දන්න විදිහට ලංකාවේ බට පැළ විශාල තොග වශයෙන් ලබා දෙන්නේ මම විතරයි. ඒ වගේම විශාල බොන්සායි පැළ එකතුවකුත් මගේ ළඟ තියෙනවා. වෘත්තීය පුහුණු ආයතනයන්හි ඉගෙන ගන්න සිසුන් මෙන්ම මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙනත් ශිෂ්‍ය කණ්ඩායම් පුහුණුව සඳහා අපේ ආයතනයට එනවා. රජයේ ආයතන මගේ ව්‍යාපාරයට ලබාදෙන පිළිගැනීම ගැන ඇත්තටම මට සතුටුයි. 2019 වසරේ ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත අංශයෙන් දෙවැනි තැන ලබාගන්නට හැකිවීම මගේ මේ විසි වසරක ගමන් මගේ ලද විශාල ජයග්‍රහණයක්. මේ සියල්ල අතර තමා මම ජෛව පොහොර නිෂ්පාදනයට යොමු වුණේ. ඒ දැන් ටික කලකට පෙර සිටයි. ඇත්තටම මෙය මම තනිව සිදු කරගෙන යන ව්‍යාපෘතියක් නෙවෙයි. ශක්තිමත් සහ අවශ්‍ය දැනුමින් සන්නද්ධ පිරිසක් මේ ව්‍යාපෘතියේදි මා සමඟ ඉන්නවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරීන්, වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය විශ්වජිත් කන්දේගම මහතා ඇතුළු පිරිසක්, ඒ වගේම මෙම ජෛව පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දුන් තාරක ආරියරත්න මහතා, නිරන්තරව මා දිරිගන්වන හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතා යනාදී විශාල පිරිසක් මා සමඟ ඉන්නවා. ඒ ඔහුගේ කෘතවේදී සිහිපත් කිරීමයි.
ගයාන් කළුබෝවිල ප්‍රකාශ කළ පරිදි මෙම ජෛව පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින රසායනික පොහොර අර්බුදයට පිළියමක් ලෙස 100% රසායනික පොහොරවලට සමාන බයෝ තාක්ෂණ ඝන පොහොරක් නිර්මාණය කර එම පොහොර යොදා දීර්ඝකාලීන හා කෙටිකාලීන ආදර්ශ වගාවක් ස්ථාපිත කර දැනට රසායනික පොහොර නොමැතිව වගා කළ නොහැකිය යන මතය බිඳ දැමීමයි.
මෙම ජෛව පොහොර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරන කෝපි පොතු, කජු ලෙලි, වියළි ගොම, දහයියා, මේ ආදී බොහෝ අමුද්‍රව්‍ය අපි ඈත පළාත්වලින් පවා ගේනවා. එම මිලදී ගැනීම් තවත් පිරිසකට ආදායම් මාර්ගයක් වී තිබෙනවා. දැනට වී වගාව ඇතුළු තවත් වගාවන් සඳහා මෙම පොහොර භාවිත කරමින් ක්ෂේත්‍ර පර්ෙය්ෂණ සිදුවන අතර එහි ප්‍රතිඵල ඉතාමත් ඉහළයි. මම මගේ විසිතුරු පැළ වර්ග සඳහාත් ඉතාමත් ස්වල්ප වශයෙන් මෙම පොහොර යොදනවා. අඩු අස්වැන්නක් ලබන ඇතැම් සාම්ප්‍රදායික වී වර්ග සඳහා මෙම පොහොර භාවිත කරමින් කළ ක්ෂේත්‍ර පර්ෙය්ෂණවලදී එහි සුබවාදී ප්‍රතිඵල අපි දැක්කා. එම නිසා දැනටමත් මෙම ජෛව පොහොර පිළිබඳව දන්න ගොවි මහතුන් මෙම පොහොර භාවිතය සඳහා දැඩි කැමැත්තක් දක්වනවා. ඔහු පැවසුවේය.
ගයාන් සඳහන් කරන ආකාරයට දැනට දීර්ඝකාලීන රසායනික පොහොර භාවිතය නිසා විනාශ වී ඇති පාංශු අසමතුලිතතාවය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම සහ සාමාන්‍ය කාබනික පොහොරකට වඩා ඉක්මනින් ශාකයට උරාගැනීම නිසා ශාක වර්ධනය ඉක්මන් වීම මෙහි තවත් විශේෂත්වයකි.
දැනට රටේ පවතින රසායනික පොහොර නොමැතිවීම නිසා වගාකරුවන් ආදේශ පොහොර වෙත යොමුවෙමින් ඉන්නවා. මෙහිදී වඩාත් ප්‍රචලිත පොහොර වර්ගය වී ඇත්තේ කාබනික කොම්පෝස්ට් පොහොරයි. කාබනික කොම්පෝස්ට් පොහොර හා අප විසින් නිපදවනු ලබන මෙම බයෝ තාක්ෂණික පොහොර සංසන්දනය කළ විට අප නිපදවන පොහොරවල ගුණාත්මකභාවයේ විශාල වෙනසක් තියෙනවා.
උදාහරණයක් ලෙස වී වගාව සඳහා රජය නිර්දේශ කරනු ලබන කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය අක්කරයක් සඳහා කිලෝ 4000 ක්. නමුත් මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථානවලට නිකුත් කර ඇති නව කාබනික පොහොර අක්කරයට කිලෝ 400ක් ලෙස නිර්දේශ කර තිබෙනවා.
නමුත් මේ සියල්ලන්ටම වඩා අවමයක් ලෙස අප නිපදවන පොහොර කිලෝ 150කින් මෙම අපේක්ෂිත ගුණාත්මකභාවය ලබාගත හැකියි. මෙමගින් ගොවියාට ප්‍රවාහන වියදම් අවම වීම, ගබඩා සඳහා යන ඉඩ ප්‍රමාණය අවම වීම සහ පොහොර සඳහා වැය වන මුදල් ප්‍රමාණය අවම වීම යන අමතර ප්‍රතිලාභ ලැබෙනවා.
අපේ මහ පොළොවට වසරකට එක් කරන රසායනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දොළහක්. (කිලෝ 1200000000) මෙතරම් පොහොර ප්‍රමාණයක් පොළොවට නිදහස් කළත් ශාක විසින් උරාගන්නේ සුළු ප්‍රමාණයක්. ඉතිරි ප්‍රමාණය විවිධ ක්‍රම මගින් අපතේ යනවා. අවසාන ප්‍රතිඵලය ලෙස අප පානය කරන ජලයට පවා රසායනික ද්‍රව්‍ය එක් වෙනවා. එම හානියේ ප්‍රබලත්වය කොතෙක්ද යන්න වකුගඩු රෝගීන් ඉහළ යාමෙන් සිතාගත හැකියි.
රසායනික පොහොර නොමැති කෘෂිකර්මයක් තුළින් විදේශ රටවලට සහල් අපනයනය කළ ඉතිහාසයක් ඇති අප අද සිටින්නේ කොතනද? රසායනික පොහොර විසින් අපේ පොළොවේ තිබූ හිතකර තත්ත්වයන් මරා දාලා. නැවත එය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට නම් වසර කිහිපයක් පොළොවට කාබනික පමණක් එක් කළ යුතුයි. අප ආයතනයේ නිපදවන මෙම ජෛව පොහොර අක්‍රීය වූ පොළොව අවුරුදු තුනකින් සක්‍රීය මට්ටමට ගැනීමේ හැකියාව ඇති බව අපි ප්‍රායෝගිකව තහවුරු කර ගනිමින් යන සත්‍යයක්.
ඇත්තටම මෙම ක්ෂේත්‍ර පර්ෙය්ෂණ සාර්ථකව කර ගැනීමට සහ පොහොරවල ගුණාත්මකභාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමට වයඹ විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන සහාය අගය කළ යුතුයි.
මගේ ව්‍යාපාරය සඳහා රජයේ ඉඩමක් ලබාදීමට සුදුසු බවට ප්‍රදේශය භාර කෘෂිකර්ම උපදේශක, පළාත් භාර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ සහ පළාත් භාර කෘෂිකර්ම අධ්‍යක්ෂ යන අයද නිර්දේශ ලිපි මගින් යෝජනා කර තියෙනවා. ඇත්තටම මට මෙය කරගෙන යාමට ඉඩමක් ලබාදෙනවා නම් රජයට මසකට ටොන් 1000ක පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කර දෙන්න මට පුළුවන්.
රසායනික පොහොර සඳහා විශාල ලෙස පිටරටවල් වෙත ඇදී යන මුදල් රට තුළ ඉතිරි වීම, රසායනික පොහොර නිසා මිනිස් ජීවිතවලට වන හානිය අවම වී රටේ මිනිසුන් නිරෝගී වීම, රසායනික පොහොරවලට සමාන ගුණාත්මකභාවය නිසා සාමාන්‍ය කාබනික පොහොර තරම් වැඩි ප්‍රමාණයක් වගාවට යෙදීමට අවශ්‍ය නොවීම, මෙම පොහොර යොදා ආදර්ශ මල් වගාවක් අරඹා එය සමාජයට ඉදිරිපත් කර විසිතුරු මල් වගාවට රසායනික පොහොර අත්‍යවශ්‍ය නැත යන සමාජ මතය ගොඩනැගීම, මෙම පොහොර නිපදවීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය වන කජු ලෙලි, දහයියා, අඟුරු ගොම, ලාඩප්පා අතු, කෝපි පොතු යන දෑ බාහිර පාර්ශ්වයන්ගෙන් ලබාගැනීම මගින් වක්‍ර රැකියා නිෂ්පාදනය වී රටේ රුකියා ප්‍රශ්නයට විසඳුමක් වීම මෙම ව්‍යාපෘතිය ඔස්සේ මුදුන්පත් කර ගැනීමට අපේක්ෂිත සෙසු ප්‍රතිලාභ වෙයි.
දැනට මෙම පොහොර සාමාන්‍ය කාබනික පොහොරකට බොහෝ සෙයින් සමාන වන අතර මෙය වැඩිදියුණු කර (කැට බවට පත්කර) අනාගතයේදී එළිදැක්වීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් පොහොර ඉසීමේදී සුළං සමඟ එන බාධාව අවම වීම වැනි වාසිත් ලබාගන්න පුළුවන්. එමෙන්ම සමහර පොහොර යොදන්නන් කාබනික පොහොර යෙදීමේදී දක්වන පිළිකුල අවම වීමටත් මෙම පොහොර කැට බවට පත්වීම හේතුවක්.
මෙම නිෂ්පාදනයේදී අපද්‍රව්‍යයක් ලෙස කිසිවක්ම පරිසරයට මුදාහරින්නේ නෑ. මෙම ජෛව පොහොර නිෂ්පාදනය සඳහා විශාල වශයෙන් යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙන්නෙත් නෑ.
ගයාන් කළුබෝවිල තුළ ජෛව පොහොර නිෂ්පාදනය සහ එය විධිමත් කර්මාන්තයක් ලෙස ගොඩනැගීම උදෙසා දැක්මක් සැලසුමක් මෙන්ම දැඩි අවශ්‍යතාවයක් ද පවතී.
ඕනෑම රටකට ශක්තිමත් කශේරුකාවක් සහිතව නැගී සිටීමට නම් හුදු යැපුම් චින්තනයට පමණක් සීමා නොවූ දේශීය ආර්ථිකයක් අත්‍යවශ්‍ය වෙයි. මෙවන් කර්මාන්ත නගාසිටුවීම කාලෝචිත හා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වන්නේ එබැවිනි. එහි අවශ්‍යතාව මැනවින් තේරුම් ගත් කෘෂිකර්ම අමාත්‍යංශයටත්, වයඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය විශ්වජිත් කන්දේගම ඇතුළු විවිධ පාර්ශ්වයන්ටත්, මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, තාරක ආරියරත්න ඇතුළු පිරිසටත් අප අපේ කෘතවේදීත්වය පළ කරන්නේ ද එහෙයින්මය.
මුළු රටටම ජෛව පොහොර දෙන්න ඕනෑ...
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්
දැනට ලෝකයේ භාවිත වන රසායනික පොහොරවලට වඩා ජෛව පොහොර පිළිබඳ වැඩි අවධානයක් යොමුවීම මානව සමාජ ක්‍රියාවලියෙහි අත්‍යවශ්‍ය කාරණාවකි. ජෛව පොහොර ගස්වැල් සහ මිනිසාට පමණක් නොව භූමියට ද අහිතකර ක්‍රියාවලියක් නොවේ. එය ක්ෂුද්‍රජීවී ගහණය වැඩි කර දීම සඳහාත් අත්‍යවශ්‍ය කාරණාවකි. භූමියෙහි පස සරුසාර කිරීමට සහ සංරක්ෂණය කර ගැනීමට ක්ෂුද්‍රජීවී ගහණය අතිශය වැදගත් වේ. ඒ අනුව ශ්‍රී ලාංකික සමාජය පමණක් නොව ගෝලීය සමාජයම ජෛව පොහොර ක්‍රමවේදයන් සඳහා යොමුවීම අතිශය වැදගත්ය. මෙය ආණ්ඩුවේ පමණක් නොව සෑම මිනිසෙකුගේම ප්‍රබල වගකීමක් බවට පත්වේ. මෙම ජෛව පොහොර නිෂ්පාදන ක්‍රමවේද මුළු රටෙහිම ව්‍යාප්ත විය යුතුව තිබේ. මේ සඳහා ග්‍රාමීය සමාජයන්ගේ සක්‍රීය බව පමණක් නොව වගකිවයුතු නිලධාරීන්ගේ නිවැරදි මඟපෙන්වීම් ද සිදුවිය යුතුව තිබේ. ඒ අනුව රයිගම් පුරවරයේ හොරණ කලාපය තුළ මෙම ජෛව පොහොර වගාවන් පිළිබඳ අවධානය යොමු වී තිබීම අපට දැකිය හැකි වේ. ඒ අනුව හොරණ ප්‍රදේශයෙහි තමන්ගේම කැපකිරීම් මත මෙම පොහොර කර්මාන්තයක් ලෙස ආරම්භ කොට තිබේ. එය ප්‍රසංශනීය වන අතර මෙහි ව්‍යාප්තිය සඳහා නිවැරදි මඟපෙන්වීමක් සහ ආණ්ඩුවෙහි අවධානය යොමුවීමත් වැදගත්ය. එමෙන්ම අවශ්‍ය භෞතික ප්‍රතිපාදන ලබාදෙමින් අවශ්‍ය සහයෝගය ලබා දීම ද වැදගත් වේ. සැබවින්ම ජාතික ආර්ථිකයක අවශ්‍යතාවය දැඩිව දැනෙමින් පවතින වාතාවරණයකදී එවැනි කර්මාන්ත සඳහා දිරි දීම අදාළ සියලු පාර්ශ්වයන්ගේ වගකීම වේ.
නිසරු පසක් සරු කරන්න පුළුවන්
වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශ්වජිත් කන්දේගම
කාබනික පොහොර නිෂ්පාදනයේදී ඇතිවන ප්‍රධාන සීමාකාරී සාධකයක් වන දුර්ගන්ධයක් නිකුත් වීම සහ එම දුර්ගන්ධය හේතුවෙන් යම් පරිසර දූෂණයක් සිදුවීමේ අවකාශය පවතී. එහෙත් ගුණාත්මකභාවයෙන් වැඩි එවැනි දුර්ගන්ධයක් රහිත මෙම ජෛව පොහොර නිෂ්පාදනය ඉතාමත් යෝග්‍ය විකල්පයක් ලෙස සඳහන් කළ හැකිය. ජපානයේ භාවිත වන බුකාෂි යන තාක්ෂණික ක්‍රමවේදය පසුබිම් කරගෙන මෙම පොහොර නිෂ්පාදනය කරනු ලැබේ. තවමත් පර්ෙය්ෂණ මට්ටමේ පවතින මෙම පොහොර නිෂ්පාදනය වඩාත් ප්‍රතිඵලදායී නව්‍යකරණයෙන් යුතු නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස ද සඳහන් කළ හැකිය. දැනට මෙම පොහොර ටොන් හයක් හතක් පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර වී වගාව, මාළු මිරිස් වගාව, රාබු වගාව සහ කොළ එළවළු වගාව සඳහා මෙම පොහොර යෙදීම කෙතරම් සඵලදායක බවක් පෙන්නුම් කරන්නේද යන්න පිළිබඳව ක්ෂේත්‍ර පර්ෙය්ෂණ සිදුවෙමින් පවතී. සාමාන්‍යයෙන් කාබනික පොහොර නිෂ්පාදනයේදී යොදාගන්නා අමුද්‍රව්‍ය සමඟ දැනට අපතේ යන ගෙවතු කාබනික අපද්‍රව්‍ය මෙම පොහොර නිෂ්පාදනයේ දී යොදාගැනීම දකින්නට ඇති එක් විශේෂත්වයකි. උදාහරණයක් ලෙස කෝපි පොතු, කජු ලෙලි වැනි අමුද්‍රව්‍ය යොදාගැනීම දැක්විය හැකිය. එමෙන්ම වියළි කොස් කොළ, වියළි අඹ කොළ වැනි අමුද්‍රව්‍ය ද මෙම පොහොර නිෂ්පාදනයේ දී අවශ්‍ය නම් යොදාගත හැකිය.
වියළි කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රමයක් ලෙසද හඳුන්වා දිය හැකි මෙම පොහොර නිෂ්පාදනයේදී වියළි ස්වභාවයෙන් පවතින කුකුළු පොහොර සහ ගොම යන සත්ත්ව අපද්‍රව්‍ය ද භාවිත කළ හැකිය. දවස් පහළොවක් දහ අටක් වැනි කෙටි කාලයකදී පොහොර නිෂ්පාදනය කර ගැනීමට හැකිවීමද මෙහි විශේෂත්වයකි. අර්ධ පැසවීමකින් පසු කොටස් වශයෙන් කපාගෙන යන්ත්‍රානුසාරයෙන් අඹරා ගැනීම මෙම පොහොර නිෂ්පාදනයේ අවසන් පියවරයි.
මෙම පොහොර පසට යෙදීම තුළින් පසේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරගත හැකි බවත්, එසේම පසේ ව්‍යුහය සාරවත් ලෙස වෙනස් කරගත හැකි බවත්, දුර්වල, මැරුණු, නිසරු පසක් ඉතා කෙටි කාලයක් තුළදී නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි බවත්, වසර දෙක තුනක් අඛණ්ඩව මෙම පොහොර පසට යෙදීමෙන් පසු නැවත පොහොර භාවිත කිරීම සීමා කරමින් වගා කළ හැකි මට්ටමට පස සශ්‍රීකත්වයට පත්කර ගැනීමට හැකි බවත් අපි විශ්වාස කරමු.
එම විශ්වාසය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා මෙම පොහොර භාවිතයෙන් පසේ ව්‍යුහය වෙනස් වන ආකාරය පිළිබඳව විධිමත් ලෙස පරීක්ෂණ කිරීමට ද අපේක්ෂිතය. මෙම පොහොර යෙදීමෙන් පසු නිසරු පසක් දවස් දාහතරකින් පසු දවස් 21කින් පසු මසකට පසු යනාදී වශයෙන් පසේ ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය, පසේ අයන ධාරිතාවය, ජලය රඳවා ගැනීමේ හැකියාව යනාදිය වෙනස් වී ඇති ආකාරය නියැදි ආශ්‍රයෙන් පරීක්ෂණයට භාජනය කළ හැකිය.
දැනට අක්කරයකට කිලෝ 150ක් පමණ භාවිත කරන අතර පළමුව බිම සකස් කිරීමේදී කිලෝ 50ක් ද නැවත සති දෙකකින් තවත් කිලෝ 50ක් ද යළි සති දෙකකින් තවත් කිලෝ 50 ක්ද වශයෙන් එම භාවිතය සිදුවේ. ලබන වසරේ මැයි මාසය පමණ වන විට මෙම පොහොර භාවිතයේ ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව මෙන්ම මෙම පොහොර භාවිතයෙන් පසේ ව්‍යුහය වෙනස් වන ආකාරය පිළිබඳව ද අපට ප්‍රත්‍යක්ෂ සාධක ඔස්සේ කතා කළ හැකි වේ යැයි අපි අපේක්ෂා කරමු. මෙම සියලු පර්ෙය්ෂණ කටයුතු සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ලබාදෙන සහයෝගය ද අපි ප්‍රසංශනීයව අගය කරමු.
සංජීවිකා සමරතුංග
සේයාරූ: සුමුදු හේවාපතිරණ