කැලණි නදියේ මිටියාවතේ පිහිටි නිසා සියනෑ කෝරළයේ එක් පත්තුවක් හැඳින්වෙන්නේ ගඟබඩ පත්තුව නමිනි. අද ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ සීතාවකින් පහළට වන්නට කැලණි ගං දෙගම්බඩ පිහිටි, රංවල, ඇස්වත්ත, පූගොඩ, මීතිරිගල, නිකවල, කුමාරිමුල්ල, කපුගොඩ, කිරිඳිවැල, හංවැල්ල, සමණබැද්ද, දොම්පේ, මාපිටිගම වැනි ගම්වල ගොක්කොළවලින් තැනූ පුහුල් පහන් නමින් හැඳින්වෙන, පුහුල් ගෙඩියක් ආකාරයේ පහනක් දැල්වීම අපට දැකගත හැකිය සියනෑ කෝරළයට අමතරව කොළඹ දිස්ත්‍රික්කයට අයත් හේවාගම් කෝරළයේ පදිංචිකරුවෝද කැලණි ගඟට අධිගෘහිත දෙවියන් ලෙස රංවල දෙවියන්ට පුද සත්කාර කරන අන්දම දැකගත හැකිය. නවගමුව පත්තිනි දේවාල බිමේද රංවල දෙවියන්ට වෙන්වූ කුටියක් පවති.
දෙවියකු බවට පත්වූ ගැමියකු ලෙස රංවල දෙවිඳු හැඳින්විය හැකිය. රංවල දෙවියන් උදෙසා වූ දේවාල කිහිපයක්ම සියනෑ කෝරළයේ පිහිටා තිබේ. දෙවියන්ට වූ බාරහාර ඔප්පු කිරීමට පූජාවක් ලෙස දේවාල බිමේ වැලක් ඇද එහි පුහුල් පහන් කිහිපයක් පත්තු කර වන්දනා කිරීම අදටත් සිදුවීම දැකගත හැකිය. බොහෝ පැරණි ගම් පිහිටි ප්‍රදේශවල එම පෙදෙස්වලටම සීමා වූ ප්‍රාදේශීය දෙවිවරුන් වන්දනා කිරීම අදටත් දැකගත හැකි අතර සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවට හා හේවාගම් කෝරළයට සීමාවූ දෙවිවරයකු ලෙස රංවල දෙවියන් සැලකිය හැකිවේ.
කැලණි දෙගම්බඩට අධිපති %රංවල දෙවියෝ^ කැලණි නදියේ එගොඩින් ගම් තිස්‌දෙකක, මෙගොඩින් ගම් තිස්‌දෙකක ජනතාවගේ පුද පූජාවන්ට ලක්වන බව රංවල දේව කන්නලව්වේ කියැවේ. රංවල දෙවියන් උදෙසා සෑම කෙම්මුර දිනයකදීම දෙගම්බඩ, මෙන්ම සමහර වෙහෙර විහාරස්‌ථානවලද පුහුල් පහන් දැල්වීම දැකගත හැකියි. මේ හැරෙන්නට රංවල දෙවියන් සඳහා දානය පිරිනමන්නටද ජනතාව පෙළඹී සිටිති. රංවල දෙවියන්ටම විශේෂිත වූ ගංගාරෝහණ පූජාව නම් පිංකමක්ද මෑත අතීතයේ සිට ආරම්භ වී පවත්වාගෙන යාම සිදුවේ.
• දේව උපත
රංවල දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතී. ඒ සෑම එකක්ම තරමක් සමානයි. ඒ අතරින් වඩාත් ප්‍රකට ජනප්‍රවාදය මෙසේය:
ක්‍රිස්තු වර්ෂ 1635 දී රජ පැමිණ 1687 දක්වා මහනුවර රාජධානියේ කිරුළු දැරෑ දෙවැනි රාජසිංහ රජුට අයත් වී අටුවක් සතර කෝරළේ කෑගල්ල රංවල ගමේ තිබුණි. මෙම අටුව බලා කියා ගත්තේ අලවතුරේ රාළත්, අස්වන් රාළත් යන තරුණයන් දෙදෙනායි. (මේ නම් දෙක සමහර අවස්ථාවලදී වෙනස්වත් කියවේ) ඔවුන් කෙරෙහි අවට සමහරුන්ට ඇතිව තිබුණේ ඊර්ෂ්‍යාවකි. දිනක් අටුව කඩා, එහි තිබූ වී සොරුන් ගෙන ගිය අවස්‌ථාවේ එම සොරකම මේ තරුණයන් දෙදෙනා කළ බවට සමහරු රජුට ගතු කීහ. රාජ උදහසට ලක්‌වූ මේ දෙදෙනා ඉන් බේරීමට ක්‍රමයක් නැති නිසා දිවි බේරාගැනීමට කළේ ගම අතහැර පලා යාමයි.
රංවලින් පිටත්ව සබරගමුවේ ගුරුගොඩ ඔය හරහා කැලණි ගඟබඩට පැමිණි ඔවුහු උණගස් කපා සාදාගත් පහුරක නැඟී කැලණි ගඟේ පහළට පාවී එන්නට වූහ. තරමක දුරක් ගමන් කිරීමේදී අලවතුරේ රාළ පහුරෙන් නික්මී ගමක් සොයාගෙන ගොස් තිබේ. තවත් පහළට පහුරේ යනවිට අස්වන් රාළට ඈතින් තරුණියකගේ මිහිරි කවි ගායනයක් ඇසුණි. තරුණ අස්වන් රාල පහුර ඉවුරට ළංකර ගඟින් ගොඩව තිබේ.
රෑමත් තරුණිය ගඟබඩ පැල්පතක සිට කවි කියා ඇති අතර ආගන්තුක තරුණයා කෙරෙහි ඇය තුළ කැමැත්තක් හටගෙන ඇත. නමුත් කාත් කවුරුවත් නැති ආගන්තුක තරුණයකුට තම දියණිය දීගදීමට ඇයගේ දෙමාපියෝ අකමැති වූහ. නමුත් මේ දෙදෙනා තනි කැමැත්තට එක්වී දංගල්ලට නුදුරු තැනක කැලේ ගල්ලෙනක ජීවත්වීම ඇරඹූහ. එම ගල්ලෙනේ අස්වන් රාළ ලැගුම් ගෙන සිටි නිසා එය ලැගුම්බිම නමින් ප්‍රසිද්ධ විය. අස්වන් රාළ කැලෑව එළි පෙහෙළි කොට හේනක් වගාකර හොඳ අස්වැන්නක්ද ලබාගැනීම ඇරඹුවේය. මෙම සරුසාර බිමේ හේන් කොටා වැඩි අස්වැන්නක් ලබාගැනීමට අවට තවත් පිරිස් පැමිණෙන්නට වූ අතර දංගල්ල ක්‍රමයෙන් ගමක් බවට පත්විය. තමන්ගේ ගමේ නම සිහිපත් වීමට එම පෙදෙසට රංවල කියා නම් තැබීමට අස්වන් රාළ ක්‍රියා කළේය. හේන පිහිටි ප්‍රදේශය පසුව හේනෙගම නමින් හැඳින්වෙන්නට විය. හේනට නුදුරුව අස්වැද්දූ කුඹුර අස්වන් වෙල ලෙස ප්‍රකට විය. ඔහු ටික කලකින් පස්කම් සැප ගැන කලකිරී විවාහ ජීවිතය අත්හැර අසපුවක් තනාගෙන හුදෙකලා ජීවිතයක් ආරම්භ කළේය. මිනිස්කමට එහා ගිය දැහැමි ගුණාංග පැවති අස්වන් රාළ අවට වැසියන්ට උදව් උපකාර කිරීමද සිදුකර තිබේ.
ගමේ දියුණුවට කටයුතු කළ මොහුට ගම්මුන්ගේ ගරු බුහුමන් නිතර හිමි විය. සැමට කරුණාව මෛත්‍රිය දක්වමින් අලවතුරේ රාළ සෑම පොහොය දිනකම සිල් සමාදන් වීම සඳහා සුදුවතින් සැරසී ගඟ දිගේ පාරුවකින් කැලණි විහාරයට යාම සිදුකර තිබේ. මේ නිසා ටික කලක් ගත වනවිට ඔහු ගංදෑලේ කා අතරත් ප්‍රසිද්ධ වුණේ රංවල උපාසක යනුවෙනි.
කැලණි ගඟේ නයිගල වක්කලමේ පහුරු හරවා ගත නොහැකිව රාත්‍රියට විනාශ වීමත් නිතර සිදුවුණු දෙයකි. මේ නිසා රංවල උපාසක රාත්‍රියට එහි පහනක් දැල්වීම පටන් ගනි. සුළඟට පහන නිවෙන නිසා ගොක්කොළවලින් එය වටා ආවරණය සකස් කර තිබේ. මේ අවදානම දැනුම් දීම නිසා පහුරුකරුවන්ට ආරක්ෂිතව පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබේ. පුහුල් ගෙඩියක හැඩයෙන් යුක්ත නිසා පුහුල් පහන ලෙස එය ප්‍රකට විය. ඔහු වෙදකමටද ප්‍රසිද්ධ විය. පහුරු බැඳගෙන කැලණිය වන්දනාවේ යන එන ගමන් දෙගම්බඩ ජනතාවට වෙදහෙදකම් කළ බවට ජනප්‍රවාද පවතී.
රංවල මුත්තා මුලින්ම ජීවත්වූ බවට සැලකෙන ස්වභාවික ලෙන පැපිලියවලට නුදුරු මීතිරිගල හේනෙගම වනගතව පිහිටි අතර එම ස්ථානය හඳුන්වන්නේ ලැගුම්බිම යනුවෙනි. මෑත අතීතයේදී එම ස්ථානයේ ලැගුම්බිම ආරණ්‍යය සේනාසනය පිහිටුවා තිබේ. එහි කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට යටවීම නිසා ස්වභාවික ලෙන දැකගැනීම අසීරුව පවතී. ලැගුම්බිම වෙත යාමට අප හැරෙන්නේ පාර අද්දර පිහිටි අක්කර කිහිපයක් විශාල කෙත් යායක් අසලින් වන අතර එම කෙත රංවල මුත්තා අස්වැද්දූ අස්වන්වෙල බව විශ්වාස කෙරේ. ආරණ්‍යයට හැරෙන ස්ථානයේ මෑතකදී රංවල දේව ප්‍රතිමාවක්ද පිහිටුවා තිබේ. ඒ අතර තවත් ජන විශ්වාසයක් වන්නේ රංවල මුත්තාගේ ලැගුම්බිම ලෙස පවතින්නේ දංගල්ල රජ මහා විහාරයේ රංවල දේවාලය බවයි.
• පුහුල් පහන්
රංවල උපාසකගේ මරණයෙන් පසු ගම්වාසීන් ඔහු විසින් ආරම්භ කළ සිරිතක් වූ ගං ඉවුර දිගේ ‘පුහුල් පහන්’ දල්වා උපහාර දැක්වීමට පටන් ගත්හ. ටික කලක් ගතවන විට ඔහු දේවත්වයට පත්ව ගැමියන්ට පිහිට වන දෙවි කෙනකු ලෙස ප්‍රකට වූ බවද ජනප්‍රවාදයෙහි සඳහන් වේ. ඇතැම් අවස්ථාවලදී රංවල දේව පුරාණ කතාව පැවසෙන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා සහෝදරයන් බවත්, ඔවුන් ඇස්වත්ත තොටුළේ ඔරු පැදි තොටියන් දෙදෙනකු බවත්ය.
අවිස්සාවේල්ල පුවක්පිටියේ හිඟුරල දකින්න ලැබෙන ප්‍රධාන රංවල දේවාලය හඳුන්වන්නේ රංවල පහන ලෙසයි. එයට %රන්දෙවි දෙවොල’ යන නම මෑතකදී ලබාදී ඇත. මුල් කාලයේ කැලණි ගඟබඩ පැවති රංවල පහන 1900 කාලයේ කැලණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් පසු දැන් තිබෙන ස්ථානයට ගෙන ආ බව කියැවේ.
හිසෙහි තලප්පාවක් බැඳගෙන සුදු හැඳගෙන අතකින් හැරමිටියක් දරාගෙන උඩු රුවුලකින් යුත් උපාසක පෙනුමකින් රංවල දෙවියන් මූර්තිමත් කිරීම දැකගත හැකිය. රංවල දෙවියන් උදෙසා සැදුණු ප්‍රසිද්ධ දේවාල කීපයක්‌ම කැලණි ගඟබඩ තිබේ. 17 වැනි සියවසේ සිටම රංවල දේවාල ඉදි වූ බව පෙනේ.
• රංවල දේවාල
සියනෑ කෝරළේ මීතිරිගල රංවල ගමේ ශෛලාසනාරාම පුරාණ විහාරස්‌ථානයේ පිහිටි රංවල දේවාලය දැනට පවතින පැරණිම දේවාලය ලෙස සැලකේ. අදටත් රංවල ගමේ අස්වැද්දුම් රාළ සහ අලවතුර රාළ යන වාසගම් සහිත පිරිස් සිටිති. ඔවුහු රංවල මුත්තාගේ පරම්පරාවෙන් පැවත එන බව සැලකේ.
දංගල්ල රජමහා විහාරස්‌ථානයේද පැරණි රංවල දේවාලයක් තිබේ. එම කුඩා දෙවොල තනා තිබෙන්නේ විහාරබිමේ ගල්පර්වත සහිත තැනකයි. පූගොඩට නුදුරු නිකවල බෝධිය අසල ඉදිකර ඇති රන්දෙව්පාය මෑත කාලයේ ඉදිවුණු විශාල දේවාලයකි. එම ස්ථානයටද විශාල පිරිසක් බාරහාර වීමට ඇදී ඒම දැකගත හැකිය. රන්වල දෙවියන්ට වූ බාර ඔප්පු කිරීමේදී පුහුල් පහන් දල්වා දෙවියන්ට පිංපෙත් දීම සිරිතකි. එදිනෙදා එම මාර්ගයේ ගමන් බිමන් යන ජනතාව සිය වාහන නවතා පඬුරු දමා දේවාශීර්වාදය ලැබීමටත් පුරුදුව සිටී.
මණ්ඩාවලද පූගොඩ කනම්පැල්ල පාරේ කැලණි ගං ඉවුරේද පැපිලියවල හේනේගමද මෑතකදී ඉදිවූ රංවල දේවාල කුටි දැකගත හැකිය. කැලණි ගඟින් එගොඩ අවිස්‌සාවේල්ල, කොළඹ මාර්ගයේ පුවක්පිටිය හිඟුරළ පිහිටි &රන්වල පහන* නමින් ප්‍රසිද්ධ දේවාලයද බැතිමතුන්ගේ පුදපෙත්වලට නිතර ලක්වන තැනකි. හයිලෙවල් පාරේ ගමන් ගන්නා වාහන එහි නවතා ගමනේ ආරක්ෂාවට පඬුරු දැමීම කලක පටන්ම සිරිතක් කරගෙන තිබේ.
වැලිතොටුපළ ඇරඹීමේදී, අලුත් බස් රථ ගමන් සඳහා යෙදවීමේදී, ගඩොල් පෝරණු පටන් ගැනීමේදී මෙන්ම නොයෙකුත් සුබ කටයුතුවලදී රංවල දෙවියන්ට බාර හාරවීමටද එම බාරහාර නියමිත දිනයන්ට ඔප්පු සිද්ධ කිරීමටද කැලණි නිම්නයේ ජනතාව පුරුදුව සිටී.
රන්වල දෙවියන්ට කියැවෙන කවිත් ජනප්‍රවාදවල පැතිර තිබේ. මේ එවැනි කවියකි.
අගේ වඩන රන්වල දෙවියන්නේ
නුගේ විමානේ වාසෙ කරන්නේ
ගඟ දෑලේ දෙවි වාසෙ කරන්නේ
අගේ අසන් රන්වල දෙවියන්නේ
අද සමාජය තාක්ෂණිකව බොහෝ දියුණු වුණත් රංවල දෙවි ඇදහිමද වර්ධනය වී ඇති බව රංවල දේවාලවල දිනෙන් දින එල්ලන පුහුල් පහන්වලින් පෙනේ. එමෙන්ම රංවල දේවාල සංඛ්‍යාවද මෑතක සිට ඉහළ යමින් තිබෙන බව පෙනේ.
(ගනිහිගම ග්‍රාම නිලධාරි නිමල් කරුණාරත්නට අපගේ ස්තුතිය හිමිවේ.)
කුසුම්සිරි විජයවර්ධන