මේ වනවිට ලෝකය පුරා ඔමික්‍රොන් ප්‍රභේදය කඩිනම් පැතිරීමක් දක්වන බව දිනෙන් දින නිකුත්වන සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි. මෑතක් වනතුරුම ලෝකයේ ප්රමුඛ මාදිලිය බවට පත්ව තිබුණේ ඩෙල්ටා ප්‍රභේදයයි. නමුත් දැන් ඒ තැන ඔමික්‍රොන් ප්‍රභේදය මගින් ඩැහැගනිමින් තිබේ. මේ සම්බන්ධයෙන් පැතිර යන අලුත්ම භීතිකාව වන්නේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් ඔමික්‍රොන් සමඟ නැවත ආසාදනය වීමේ අවදානමක් ගැන පැතිර ඇති අසුබ ආරංචියයි.
ඉතා ප්රබලව සම්ප්‍රේෂණය වන ඔමික්‍රොන් ප්‍රභේදය මේ වනවිට රටවල් 90කට පමණ ව්‍යාප්ත වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ එයට &ඩෙල්ටාවට වඩා වර්ධන වාසියක්* ඇති බවත් ඉක්මනින් එය අභිබවා යා හැකි බවත්ය.
ඔමික්‍රොන් ප්‍රභේදය පිළිබඳ විද්‍යාත්මක පර් යේෂණ තවමත් මුල් අවදියේ පවතී. මේ නිසා ඒ ගැන පුළුල් විග්රහයකට මෙන්ම අනාවැකි කීමට තවමත් කල් වැඩි බව විද්වතුන්ගේ අදහසයි. නමුත් සමහර මූලික දත්තවලින් පෙනී යන්නේ ඔමික්‍රොන් ප්‍රභේදය වඩාත් පුළුල් ලෙස බෝවන නමුත් ඩෙල්ටා ප්‍රභේදයට වඩා අඩු බරපතළ රෝග තත්ත්ව ඇති කළ හැකි බවය. විශේෂයෙන් එන්නත් කළ පුද්ගලයන් අතර රෝගය බරපතළ වීම අඩු බවට සහනදායී මතයක් පැතිර තිබේ.
දකුණු අප්‍රිකාවේ විශාලතම සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන ඩිස්කවරි හෙල්ත් හි මූලික දත්ත පෙන්වා දෙන්නේ 2020 මැද භාගයේදී ඒ රට තුළ ඇති වූ පළමු කොවිඩ් වෛරසයේ පළමු රුල්ල තුළ රෝහල්ගත වීමේ අනුපාතයට සාපේක්ෂව ඔමික්‍රොන් ආසාදනයකින් රෝහල් ගත වීමේ අවදානම 29% අඩු බවයි. එසේම මීට පෙර ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් ඔමික්‍රොන් සමඟ නැවත ආසාදනය වීමේ අවදානම 40%ක් බව එම අධ්‍යයනයෙන් හෙළිව ඇත. නමුත් ඩෙල්ටා ප්‍රභේදය සහ ඔමික්‍රොන් ප්‍රභේදය ඒකට හමුවී ප්‍රතිසංයෝජනය නමැති විපර්යාසයට ලක්වීමෙන් වඩාත් මාරාන්තික එන්නත් නාහන නව මාදිලියක් ප්‍රතිඵල වීමේ හැකියාවක්ද ඇති බවට අනතුරු ඇඟවීම්ද මේ වනවිට පළවී හමාරය.
නමුත් නොවැම්බර් 29 සහ දෙසැම්බර් 11 අතර එංගලන්තයේ PCR පරීක්ෂණවලින් තහවුරු කරන ලද සියලුම කොවිඩ් රෝගීන් විශ්ලේෂණය කරමින් ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි දෙසැම්බර් 17 අධ්‍යයනයක් එම උපකල්පනය ප්‍රශ්න කර තිබේ. සමස්ත ඔමික්‍රොන් ආසාදන ප්‍රමාණය ඩෙල්ටා මගින් වැළඳුණු ඒවාට වඩා අඩු බවට ඒ නව වාර්තාවෙන් කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි වූ නමුත් ඔමික්‍රොන් වඩාත් බෝවන සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර මග හැරීමට වැඩි හැකියාවක් ඇති බවට කරුණු ඉදිරිපත්ව ඇත.
සමහර එන්නත් ඔමික්‍රොන් ට එරෙහිව ලබා දුන්නේ 19%ක ආරක්ෂාවක් පමණි. එහෙත් ද්වි-මාත්‍රා එන්නත් මෙම ප්‍රභේදයට එරෙහිව 20%ක් ඵලදායී වූ අතර, අලුතෙන්ම බූස්ටර මාත්‍රාවක් එකතු කිරීමෙන් රෝග ලක්ෂණ 55%ත් 80%ත් අතර ප්‍රමාණයක් අවහිර කළ හැකි බව නව අධ්‍යයනයට අනුව තහවුරුව තිබේ.
මේ වනවිට ලෝකයේ ඔමික්‍රොන් පැතිරීමේදී මතුවිය හැකි අවස්ථා තුනක් ගැන විශේෂඥ අදහස් පළව ඇත. එක් අවස්ථාවකදී, වත්මන් එන්නත් ඔමික්‍රොන් වලට එරෙහිව අඩු මට්ටමේ ආරක්ෂාවක් සපයන අතර, ඩෙල්ටා පැතිරීම මන්දගාමී වන නමුත් ඔමික්‍රොන් සක්‍රීය කරයි. එබඳු මතුවිය හැකි තවත් අවස්ථාවක් නම්, එන්නත් ඔමික්‍රොන් වලට එරෙහිව ඉහළ මට්ටමේ ආරක්ෂාවක් සපයන අතර, ප්‍රභේද දෙකෙහිම පැතිරීම නැවැත්වීමයි. තුන්වැනි අවස්ථාවෙහිදී ප්‍රභේද දෙකටම සහජීවනය වීමට ඉඩ සලසමින් අතරමැදි මට්ටමේ ආරක්ෂාවක් සපයන්නට එන්නත් පුරෝගාමි වීමයි.
මේ අතර හදිසි අවස්ථා සඳහා වූ එක්සත් රාජධානියේ විද්‍යාත්මක උපදේශක කණ්ඩායම සඳහන් කර තිබුණේ සමහර පුද්ගලයින් ඩෙල්ටා සහ ඔමික්‍රොන් යන ප්‍රභේද දෙකෙන්ම එකවරම වසංගත දෙකක් ලෙස වෙන වෙනම ක්‍රියාත්මක වන ලෙස ආසාදනය වී ඔවුන් බරපතල ලෙස රෝගාතුර වී ඇති බවය.
දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක්, මහලු විය සහ වෙනත් සහසම්බන්ධතා නිසා එකවර කොවිඩ්-19 හි ඔමික්‍රොන් සහ ඩෙල්ටා ප්‍රභේදවලින් සම-ආසාදනය වීමේ අවදානම වැඩි විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
නමුත් සාමාන්‍ය පුද්ගලයකුට ඩෙල්ටා සහ ඔමික්‍රොන් යන ප්‍රභේද දෙකම එකවර ආසාදනය වීමේ හැකියාව දුර්ලභයි, යනුවෙන් සමහර විශේෂඥයන් මත පළකර තිබේ. කෙසේ වෙතත්, විශේෂයෙන් රෝගියාට ප්‍රතිශක්තිකරණ අවදානමක් තිබේ නම්, වර්ග දෙකක කොවිඩ් මාදිලි සඳහා ගොදුරු වීම සිදුවිය නොහැක්කක් නොවේ යැයි ඔවුන් පෙන්වා දෙයි
කොවිඩ් ආසාදනයේදී සාමාන්‍යයෙන් මූලික වන්නේ එක් විකෘති මාදිලියක් පමණක් වුවද, අතිශය දුර්ලභ අවස්ථාවන්හිදී, එකවර මාදිලි දෙකක් පහර දීමටද ඉඩ ඇති බව විශේෂඥ මතයයි. විවිධ කොවිඩ් ප්‍රභේදවලින් ආසාදිත විශාල පිරිසකට නිරාවරණය වීම හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ට සම-ආසාදනය සිදුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. එසේම කොවිඩ්-19 වරක් වැළඳී සුවය ලබන පුද්ගලයන්ටද එලෙස සම ආසාදනය වීමේ වැඩි අවදානමක් තිබිය හැකි බවට අදහස් පළව තිබේ... තවද, අඩු එන්නත්කරණ අනුපාතයක් ඇති ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් සම-ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බව සමහර වාර්තා යෝජනා කර ඇත. ඊට අමතරව, සම-ආසාදනය වීමේ අවදානම වැඩිහිටියන්, සමහර නිදන්ගත රෝගීන් සහ සම්මුති විරෝධී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය අතර වැඩි වශයෙන් සොයාගෙන ඇති බවට වාර්තා ඉදිරිපත්ව ඇත.
සාමාන්‍යයෙන් වෛරස මාදිලියක් එය ආසාදිත පුද්ගලයාගේ ශරීරය තුළ ප්‍රතිසංයෝජනය ලෙස හැඳින්වෙන ක්‍රියාවලියකට භාජනය වේ. මෙය සිදුවන්නේ විවිධ මාපිය මාදිලි දෙකක වෛරස් එකම ධාරක සෛලයකට එකවර ආසාදනය වීමෙන් පසු නව වෛරස ප්‍රතිනිර්මාණය කිරීමේදී ඒවා සතු විකෘති හුවමාරු කරගනිමින් නව වෛරස් පරම්පරාවක් නිපදවන විටය. මේ වෙනස් වෛරස දෙමාපියන්ගේ නැවත එකතු වීම මගින් අලුත්ම හෝ අඩු හෝ වැඩි මාරක ප්‍රභේදයක් ගොඩනැගීමට ඉඩ තිබෙන බව ලෝකයේ පිළිගත් විද්වත් මතයයි. ඩෙල්ටා සමග ඔමික්‍රෝන් එකම මිනිස් සෛලයකදී හමුවීමෙන් මේ භයානක ප්‍රතිසංයෝජන විපරියාසය සිදුවීමට ඕනෑතරම් ඉඩකඩ තිබේ.
සුගත් පී. කුලතුංග ආරච්චි