වර්තමාන සමාජය දෙස බලනවිට මනුෂ්‍යත්වය කෙමෙන් කෙමෙන් වියැකී යන බවක් දකින්නට ලැබෙනවා. ඇයි එහෙම වුණේ. මේ තත්ත්වය වෙනස් කරන්නෙ කොහොමද? සියලුදෙනා සිතිය යුතු කාරණයක් බවට එය පත්වෙලා තියෙනවා. කිසිදු ජාති, ආගම්, කුල, පංති භේදයකින් වියුක්තව කිසිවක්ම ආපිට නොඉල්ලමින්, අව්‍යාජ හැඟීමෙන්, කොන්දේසි විරහිතව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඔබට පරාර්ථකාමී විය හැකි ගුණය, උපකාර කළ හැකි ගුණය, සහකම්පන හැඟීමෙන් සහෘද විය හැකි ගුණය තමයි මනුෂ්‍යත්වය කියන්නෙ.
මනුෂ්‍යත්වය පිළිබඳ වඩාත් පැහැදිලිම අර්ථ දැක්වීමක් බෞද්ධ දර්ශනය තුළ දක්නට ලැබෙනව. බුද්ධවංශ අට්ඨකතාවෙ මනුෂ්‍යත්වය සඳහා ලබාදෙන අර්ථකථනය වන්නෙ“මනස්ස උස්සන්නත්තා මනුස්සා” “මනසෙහි උස්සන්නතාවෙන් මනුෂ්‍යයි” කියන අදහසයි. උසස් මනසකින් හෙබි පුද්ගලයා මනුෂ්‍ය වන බවක් මෙහි ගම්‍ය වෙනවා. මනුෂ්‍යයා සෑමවිටම උසස් මනසකින් යුක්ත වෙනවා. උසස් මනසින් තොරවුණාම තිරිසනුන් හා සමාන තත්ත්වයකට පත් වෙනවා. හිතෝපදේශය නම් උපදේශාත්මක සංස්කෘත ග්‍රන්ථය තුළ මේ පිළිබඳව ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.
ආහාර නිද්‍රා භය මෛථෘනං ච,
සාමාන්‍ය මෙතත් පශුභිර් නරානාං,
ධර්මේහි තේෂා මදිකෝ විශේෂො,
ධර්මේන හීනඃ පශුභිඃ සමානඃ
මෙහි අදහසට අනුව ආහාර ගැනීම, නිදා ගැනීම, බිහිවීම, කම්සැප විඳීම යන මේ කාරණා හතර ලෝකෙ සියලු සත්ත්වයන්ට පොදු කාරණා හතරක්. එහෙත් මිනිසුන් තිරිසන් සතුන්ගෙන් වෙන් වෙන විශේෂ වූ කාරණාවක් තියෙනවා. එනම් ධාර්මික බව. යමෙක් ධාර්මික බවෙන් තොර වෙනවනම්, ඔවුහු තිරිසන් සතකු හා සමාන බවක් දරණවා.
මනුෂ්‍යත්වය පිළබඳ අවධාරණය කරන්න මනෝවිද්‍යාවෙ වෙනම විෂය ක්ෂේත්‍රයක් පවා බිහිවෙලා තියෙනවා. එය මානුෂවාදී මනෝවිද්‍යාව කියලා නම් කරලා තියෙනවා.
මානුෂවාදී මනෝවිද්‍යාව මගින් අවධාරණය කරලා තියෙන්නෙ පුද්ගලයාගේ සංජානනය එනම් බාහිර ලෝකය තේරුම්ගන්නා, අවබෝධකරගන්නා ආකාරය සහ පුද්ගලයින් තම ජීවිතයේ ලබන අත්දැකීම් මත පදනම්ව මිනිසුන් දෙස සහ ලෝකය දෙස බලන්නට නැඹුරුවන වන බව. පුද්ගලයා යනු උසස් චින්තනයකින් හෙබි, නිර්මාණශීලී සහ සංවර්ධනය වීමට නැඹුරු අයෙක් බවට මානුෂවාදී මනෝවිද්‍යාව මගින් අවධාරණය කරනවා.
අප ජීවත්වන ඉතා කෙටි කාලය තුළ සතුටින් ජීවත් වෙන්න පුළුවන්නම් එය ඉතාම වටිනවා. සතුට කියන දේ තමන් ට අවැසි දේවල් තමන් තෘප්තිමත් කර ගැනීම ඔස්සේ ලබන ආත්ම වින්දනයට විතරක් ලඝු කරන්න එපා. මට මොනවා ද තවත් කෙනෙක් ගේ සතුට වෙනුවෙන් කරන්න පුළුවන් කියලා ඔබ සෑම විටම හිතන්න. භෞතිකව වගේම ආධ්‍යාත්මිකවත් අපිට මිනිසුන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් මෙහෙවරක් කළ හැකි යි. බඩගින්නෙ ඉන්න මනුස්සයෙක් ට සතෙකුට කන්න ගත්ත කෑම ටිකක් දීලා බලන්න.. එයා ඒක ආසාවෙන් කන දිහා බලාගෙන ඉන්න ඔයාට ඔයා ගේ බඩගින්න නැතුව යනවා වගේ හැඟීමක් ඇතිවෙනවා. “කෑ දේ ගඳයි දුන්දේ සුවඳයි” කියලත් සමාජයෙ කතාවක් තියෙනවනේ. තව කෙනෙකුට සැනසීමක් සතුටක් දීලා ලබන්න පුළුවන් සතුට හරි උතුම් .... ඒ ගැඹුරෙ තියෙන්නේ මනුෂ්‍යත්වය. උපරිම මනුෂ්‍යත්වය.
අද්‍යතන සමාජය, මානවයා බැඳිලා ඉන්නෙ තාක්ෂණික ප්‍රපංචයන් එක්ක. ඒ ජීවිත සරල නෑ... අවශ්‍යතා සංකීර්ණයි...ජීවිතය තුළ තියෙන්නේම භෞතික අවශ්‍යතා අරමුණු වේගවත්ව හඹා ගෙන යාමේ උවමනාව. ඒ උවමනාවේ කෙළවරක් නෑ... මහා සාගරය දුන්නත් තවත් හැන්දක් ඉල්ලනවා...ජීවිතය පුරාම තියෙන්නේ ඉල්ලීම් ගොන්නක්. අවසානෙ උරුම වන්නෙ දුකක්. බුද්ධ දේශනාවට අනුව සියලු ආකාර දුක් වලට හේතුව තමයි ආශාව, ඇල්ම, රාගය ආදි නොයෙක් ආකාර රූපවලින් දැක්වෙන තෘෂ්ණාව. ධම්ම පදයෙ බුද්ධ වග්ගයේ දැක්වෙන පහත සඳහන් ගාථාවෙන්ද එය මනාව පැහැදිලි කරනව.
“න කහාපන වස්සෙන - තිත්ථි කාමෙසු විඡ්ඡති
අප්පස්සාදා දුඛා කාමා - ඉති විඤ්ඤාය පණ්ඩිතෝ’’
මිනිසාට කහවනු වැස්සකිනුත් කාමයන්හි තෘප්තියත් ඇති නොවේ. මෙ නිසා කාමයෝ සිහිනෙන් පානය කළ පැනක් මෙන් මද ආස්වාද ඇතියෝ ය. බෝහෝ දුක් ඇතියෝ යැයි පණ්ඩිතයා නුවණින් දැන ගත යුතු ය.
වර්තමානෙ සමාජය දෙස බලනකොට පෙනෙන දෙයක් තමයි හුඟාක් මිනිස්සු යන්නෙ තනි ගමනක්. ඒකට හේතුවක් වශයෙන් දක්වන්න පුළුවන් මනුෂ්‍යත්වය මිනිසාගෙන් දුරස් වීම. බොහෝ මිනිසුන් තුළ තියෙන්නෙ අනෙකාගේ දක්ෂතා, කුසලතා අගය කිරීමේ නොහැකියාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ද්වේශය. රට පාලනය කරන පාර්ලිමේන්තුවේ සිට සමස්ත සමාජය පුරාම මෙවැනි තත්ත්වයක් දකින්නට පුළුවන්.
තව කෙනෙක් ට ඇහුම් කන් දෙන්න, තව කෙනෙක් කෙරේ සංවේදී වෙන්න, තව කෙනෙක් ගේ ගමන් මඟට වචනයෙන් හරි ශක්තික් වෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? මම ඇහුවොත් ඔයා ආදරය කරන ඔයා ගේ ජීවිතයේ කොහේ හරි තැනක ඉන්න කෙනෙක් වෙනුවෙන් ඔයාට දෙන්න පුළුවන් වටිනාම දේ මොකක් ද කියලා මොකක් ද ඔයා ගේ උත්තරය. මගේ උත්තරය කාලය. තවත් කෙනෙකු වෙනුවෙන් කාලය කැපකරන්න පුළුවන්නම් ඒක හරි වටිනා දෙයක්. ජීවිතය කියන්නෙ කෑම බීම ඉඳුම් හිටුම් විතරක් නෙවෙයි. ජීවිතය කියන්නෙ වින්දනීය තෝතැන්නක්. ඔබ අනෙක් අය වෙනුවෙන් කාලය දෙන්න.. මනුෂ්‍ය බැඳීම්වල සාරවත් පදනම වෙන්නෙ විශ්වාසය සහ සන්නිවේදනය. මම කාර්ය බහුලයි. මට කතා කරන්න වෙලාවක් නෑ. මම යුතුකම් ටික ඉටු කරනවනෙ ඒ මදිද කියලා හිතන රළු තැනකට එන්න එපා.
ජීවිතය කියන්නෙ යුතුකම් වගකීමවලට විතරක් නෙවෙයි. මේ ලෝකය නිර්මාණය වී තියෙන්නේ විවිධත්වය තුළින්. ඒ නිසා මානව අවශ්‍යතාවන්ට ගරු කරන්න. ඔවුන් ට යම් පීඩනයක් ඇත්නම් කතා කරන්න. ඔවුන් සමඟ ගත කරන්න කාලය වෙන් කරන්න. මනුෂ්‍යත්වය කියන්නෙ මහා ගැඹුරු සංකල්පයක්. ඒ තුළ බෙදීම් නිර්ණායක නෑ. ආත්ම පරිත්‍යාගයෙන් කරන පූජාවක් වගේ උත්‍තරීතර දෙයක්. මනුෂ්‍යත්වය පිළිබඳ හොඳම සංනිදර්ශනය මේ සොබාදහම ගසක් කියන්නෙ බෝධිසත්ත්වවරයෙක් වගේ. කිසිවක් නොඉල්ලමින් මල්, පල, සෙවණ, සිහිල හැමදේම දන් දෙනවා. ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් තියෙන්නේ සොබාදහම තුළ විතරයි. ආදරයත් මනුෂ්‍යත්වයේ සොඳුරැ ධර්මතා වලින් පුරවන්න. සමාව, ඉවසීම, කැපකිරීම්, පරිත්‍යාග, ආදරය, කරුණාව, මෛත්‍රිය, ළෙංගතුකම වගේ කාරණා තමයි මම දකින මනුෂ්‍යත්වයේ ගුණාංග.
අපි හිතමු නොසැලකිල්ල නිසා තමන් ගෙ බිරිඳ අතින් ගෙදර ටීපෝවක වීදුරුව බිඳුණා කියලා. ගෑනියෙක් වුණාම අවබෝධයෙන් වැඩ කරන්න, දැන් වීදුරුවක් ගෙනත් දාන්න වගේ දෙයක් නොකියා හිත නොතලා ඔයා මීට පස්සෙ මේ වගේ වැඩ කරද්දී ටිකක් හිතන්න. කමක් නෑ මම ඕකට වීදුරුවක් ගෙනත් දාන්නම් කියලා ඉවසීම දයාව ජීවිතයේ හැම තැනකදීම පෙන්වන්න පුළුවන් නම් ආදරය ඇතුළේ බැඳීම් ඇතුළේ දිග හැරෙන්නෙත් අප්‍රමාණ මනුෂ්‍යත්වයක එක් ස්වරූපයක්. ජීවිතයේ වැරදීම් වටිනවා ඒ තුළින් වඩා නිවැරදි දේ තේරුම් ගත හැකිනම්. මනුෂ්‍යත්වය උපරිමයෙන් රැඳෙන තවත් එක් තැනක් තමයි හිතක් නොරිදවන තැන.
ඔබට විවිධ ප්‍රවේශ ඔස්සේ මේ සමාජ ය සහ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වගේම තමන් ආදරය කරන අය වෙනුවෙනුත් මනුෂ්‍යත්වය පිරිනමන්න පුළුවන්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මළගිය ඇත්තෝ පොතෙහි කියනවා
ආවොත් යා යුතුය
නොගොස් එන්නට බැරිය..
මේ ලොව ඇත්තේ යාම් සහ ඊම් පමණි... කියලා
ඒ නිසා ඒ යථාර්ථය පිරිසිඳ ජීවිතය දෝතට අරගන්න. ලෝකයට මිනිස්සුන්ට බෙදීම් සහ වර්ගකිරීම් වලින් තොරව ආදරය කරන්න. අවසාන වශයෙන් කියන්නට තියෙන්නෙ අල්පමාත්‍රයකින් හෝ යමක් කළ හැකිනම් තවකෙකු වෙනුවෙන් එය කරන්න. යන එන සංසාර ගමනේ මරණය නියතයක් බව දැන ජීවත් වෙන්න. ඒක තමයි යථා තත්ත්වාබෝධය කියන්නෙ.