චීනයේ අල්තායි කඳුවැටියේ ගංඟා නිම්නයන්හි ඉවුරු දෑලෙහි සාරෙට වැඩුණු දිගැටි පත්‍ර සහිත දිව්‍යමය ශාකයක් එහි විසූ මිනිසුන්ට හමුවූයේ මෙයින් වසර 12,000කට ඉනික්බිති දුරාතීතයකදීය. අල්තායි කඳු නිම්න මත නොනැවතී ලෝකය පුරාම පොළෝතල මත පැළවුණු මේ විශ්මිත විශ්වීය ශාකය පිළිබඳ තොරතුරු ගවේෂණයේදී ඉන්දියාව, පර්සියාව, අරාබිය, රෝමය, ග්‍රීසිය ආදී රටවල් කරණ කොටගෙන ද පුවත් මැවේ. සැබැවින්ම ලෝකයේ කෘෂිකර්මයේ සමාරම්භය සටහන් වන්නේ එම ශාකය සංකේන්ද්රව වන අතර එය චීනයේ තිබූ ප්‍රධාන බෝග පහෙන් එකක් ලෙසටත් ඉන්දියාවේ තිබූ ප්‍රධාන බෝග තුනෙන් එකක් ලෙසටත් සම්භාවනාවට පාත්‍ර වෙයි.
ලෝක ඉතිහාසය කියවීමේදී මානවයා ලෝකය මත බිහිවෙන්නටත් පෙර පොළොව මත ඉපදුණු සොබාදහමේ සොඳුරුතම අනගිතම සහ දිව්යතම දායාදයක් ලෙස හැඳින්විය හැකි මෙම ශාකයේ නම කුමක් වීද?
කැනබීස් සෙටිවා (Cannabis Setiva) එම ගසේ නමයි. සාමාන්‍ය ජන ව්‍යවහාරය තුළ එය කංසා හෝ ගංජා යැයි නම් ලද්දේය. ඒ කංසා හි ඖෂධීය වටිනාකම කොතෙක් වීද යත් එය ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාව තුළ තෛලෝක විජය පත්‍රම් ලෙස නම් ලද්දේය. තෛලෝක විජය පත්‍රම් පිළිබඳ විවරණය, කතාබහ අද්‍යතන ලාංකික පාර්ලිමේන්තුවේ උණුසුම් මාතෘකාවක් බවට පත්වීම දක්වා වත්මනෙහි එය කරළියට පැමිණ ඇත.
අමෙරිකානු වෙළෙඳපොළේ FBA ඇගයුම ලත් ලංකාවේ නිෂ්පාදනයක් වන ප්‍රාණජීව නිෂ්පාදනය යුරෝපයේ සියලුම රටවලටත් කැනඩාව, ජපානය, ඔස්ට්‍රේලියාව, මැලේසියාව පැපුවානිව්ගිනියාව වැනි රටවලටත් බෙදාහැරෙන අතර ඒ රටවල්වල ඉහළ ඉල්ලුමක් ඇති මෙම ප්‍රාණජීව ඖෂධීය වට්ටෝරුව වග ඥානාලෝක හාමුදුරුවන්ගෙන් උරුමය ලෙස ලද සර්වාංග ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතා මෙම කංසා කථිකාවතෙහි පෙරමුණෙහිම සිටින, තාර්කික හා විමර්ශනශීලී පදනමක සිට කංසා තහනම ලංකාවෙන් ඉවත් කරන ලෙස හඬ නගන වෛද්‍යවරයෙකි. කංසා යනු හුදෙක් මත්ද්‍රව්‍යයක් පමණක් යන පටු දෝෂසහගත සහ වැරදි ආකල්පය පෙරදැරිව පන්සල් සහ පල්ලි තුළ වැඩවෙසෙන ඇතැම් පූජ්‍ය පක්ෂයේ උතුමන් වහන්සේලා සහ තවත් යම් යම් පාර්ශව කංසා තහනම ඉවත් කිරීමට එරෙහිව හඬ නැඟුවත් කංසා යනු අද්විතීය නිෂ්පාදන රැසක් ලොවට දායාද කළ හැකි එමෙන්ම විශ්මිත ඖෂධීය ගුණ සමුදායකින් සන්නද්ධ සොබාදහමේ අපූර්වතම දායාදයක් බව සඳහන් කිරීම නිරවද්‍යය යන පදනමේ සිට හඬ නගන සෙත්සුව ආයුර්වේද රෝහලේ කළමනාකාර අධ්යක්ෂ, අමාත්‍ය උපදේශක, හරිත ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජික වෛද්‍ය සුජීව විතානගේ මහතා සමඟ කංසා තහනම ඉවත් කිරීම පිළිබඳව අප කළ කතාබහේ සටහනයි මේ.
විශේෂයෙන්ම ඍජු කශේරුකාවක් සහිතව නැගී සිටින්නට නම් දේශීය ආර්ථිකයක අවශ්‍යතාවය අපට මැනවින් දැනෙමින් සිටී. එවන් වපසරියක නිදහස යැයි කියන නාමමාත්රික නිදහස ලද දවසේ සිට අදටත් දියුණු වෙමින් පවතින රටක් ලෙස නිර්ණය වුණු අප රටට කංසා තහනම ඉවත් කිරීමෙන් ඉපයිය හැකි සුවිසල් විදේශ විනිමය සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ලද හැකි පෘථුල ප්රතිලාභ මේ තාක් එකම පාලකයකුවත් බුද්ධියෙන් තේරුම් නොගැනීම සැබැවින්ම බරපතළ ඛේදවාචකයකි. පටු දේශපාලන පරමාර්ථ පෙරදැරිව, කංසා තහනම ඉවත් කළොත් ජනතා ඡන්දය නොලැබී යාමට එය හේතුවක් වේය යන ආකල්පය මූලිකව මේ තාක් සිටි රාජ්‍ය නායකයන් හා දේශපාලකයන් කංසා තහනම ඉවත් කිරීමට මැලි වුවත් වත්මන් රජය ඊට සාපේක්ෂව යම් සුබවාදී ස්ථාවරයක සිටීම සැබැවින්ම පැසසිය යුතුය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද යම් සුබවාදී මුහුණුවරකින් ආයුර්වේද වෛද්‍යවරුන් ප්රමුඛ අවබෝධාත්මක පාර්ශ්ව නඟන හඬට සවන් යොමු කළත් පන්සල, පල්ලිය ඇතුළු යම් පාර්ශව තුළින් නැගෙන විරෝධය මෙවරද කංසාවලට එරෙහිව ප්‍රබල ඍණාත්මක බලපෑමක් වී තිබේ. හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද කංසා තහනම ඉවත් කිරීමට ප්‍රබල උත්සාහයක් දැරූ අතර වත්මනෙහි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අමාත්‍යවරයාද කංසා තහනම ඉවත් කිරීමෙන් ආර්ථිකමය වශයෙනුත් ඖෂධීය වශයෙනුත් ලබාගත හැකි සුවිසල් ප්රතිලාභ පිළිබඳව අවබෝධයෙන්ම ඒ විෂයෙහි ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබේ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මන්ත්රීවරියද කිහිප වරක්ම ඉතාමත් සාධනීය පදනමක සිට කංසා තහනම ඉවත් කිරීම කළ යුතුම බවට හඬ නැගුවාය.
“ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඖෂධ නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් සඳහා කංසා භාවිත කරනවා. අපි විවෘතවම කතා කරන්නේ මත්ද්‍රව්‍යයක් ලෙස කංසා භාවිත කරන්න ඉඩ දෙන්න කියලා නොවෙයි. දුම්වැටියක ස්වරූපයෙන් භාවිත කරනවා නම් කංසා නොවෙයි වෙන කවර ඖෂධීය ශාකයක් භාවිත කළත් එය විෂයි. අපි පැහැදිලිවම කතා කරන්නේ ප්රබලවම මෙහි ඇති ඖෂධීය වටිනාකම පිළිබඳව. ආයුර්වේදය ලෝකයේ ඇතිවුණේ කවදාද? ඒ ඇතිවුණු දවසේ සිටම ආයුර්වේද වට්ටෝරුවල කංසා අන්තර්ගත වී තිබෙනවා. ලාංකික ඉතිහාසය ගත්තොත් පෙර රජ දවස සිටම කායික හා මානසික ශක්තිය වර්ධනය කර ගන්න, සැනසිලිදායක නිර්මාණශීලී, ආධ්‍යාත්මික පසුබිමක් චින්තනයක් නිර්මාණය කර ගන්න කංසා භාවිත කළා. මේ ගුණය නිසාම තමයි හුඟාක් කලාකරුවන් කංසා භාවිත කරන්නේ. එමෙන්ම කංසා කියන්නේ ප්‍රබල ලෙස ලිංගික ශක්තිය වර්ධනය කරන කායික ශක්තිය වඩවන ප්‍රතිඔක්සිකාරකයක්. ඒ වගේම පිළිකා නසන අර්ශස්, ක්‍රිව, ශ්වාස, කාස රෝග සමනය කරන ඖෂධයක්. ඒ වගේම කංසා භාවිතයෙන් සම පැහැපත් වෙනවා. හිසකෙස් වර්ධනය කර සම රැලි වැටීම පාලනය කරනවා. අමෙරිකාව ප්රමුඛ බටහිර රටවල්, යුරෝපීය රටවල්, ඊශ්‍රායලය ආදී බොහෝ රටවල් පෝෂණ ගුණයෙන් අනූන කංසා පිළිබඳව මේ වනවිට පර්ෙය්ෂණ දස දහස් ගණනක් කර තිබෙනවා.
අධිරාජ්‍යවාදීන් අපේ රටට කරපු වින පරිච්ඡේද ගණනක් කතා කළත් ඉවර කරන්න බෑ. ඒත් දේශපාලන කුහකකමින් සහ වැඩවසම්වාදී පටු චින්තනයකින් වියුක්තව වත්මන් පාලකයන් දැන්වත් මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. අංගම්පොර කියන අති විශිෂ්ට පාරම්පරික සටන් කලාව අධිරාජ්‍යවාදීන් මේ රටේ තහනම් කළේ අතින් පයින් සටන් කරන්න සිංහලයන්ට තිබුණු ඒ ශක්තියෙන් අල්පමාත්‍රයක්වත් ඔවුන්ට නොතිබූ නිසා. මී ගස කියන විස්මිත ශාකය කපා දැමුවේ, මී ගස් හදන්න තහනම් කළේ, මී ගස කේන්ද්‍රව අපේ කෘෂිකර්මාන්තය තිබුණු අද්විතීය පසුබිම ඔවුන් දුටු නිසා. කංසා තහනම් කළෙත් කංසා ඖෂධයක් ලෙස ලාංකිකයන් භාවිතයට ගැනීම ඔවුන්ගේ නිරෝගී බවට, ප්‍රතිශක්තිකරණයට, නිර්මාණාත්මක ක්‍රියාකාරීත්වයට පිටුබලයක් වන ආකාරය ඔවුන් මැනවින් දුටු නිසා. නිදහස ලැබීමෙන් පසුවත් රජය 1984 දී කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නව සංශෝධන ඇති කළා.
අමෙරිකාව කංසා මත්ද්‍රව්‍යයක් ලෙස හංවඩු ගහලා ඔවුන්ගේ අණසක යටතේ පවතින එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා එය ලෝකයේ තහනම් ඖෂධයක් බවට පත් කළා. එහෙත් පසුකාලීනව මෙම ඖෂධයේ වටිනාකම, පුදුමාකාර ගුණය සහ නිෂ්පාදන දිශානතීන් තේරුම් ගත් ලෝකයේ බොහෝ රටවල් එම තහනම ඉවත් කරගනිමින් කංසා පිළිබඳව විවිධ පර්ෙය්ෂණවල නියැලුණා. ඔවුන් එහි අද්විතීය ඖෂධ ගුණය, පිළිකා ඇතුළු විවිධ ලෙඩරෝග වැළැක්වීමට ඇති ගුණය විද්‍යාත්මකව තහවුරු කර කංසා වෙනුවෙන් තම වෙළෙඳපොළ විවෘත කළා. ඒත් අපේ රට බහුතරයක් තවමත් ඉන්නේ කුහක දේශපාලන සහ අන්තවාදී පදනම් විරහිත ආගමික දෘෂ්ටීන්වලට බියෙන් කංසා තහනමට එකඟවයි.
අද වෙද්දි කැනඩාව, නෙදර්ලන්තය වැනි ප්‍රබල රටවල් මෙන්ම කංසා තහනම් කිරීමට මුල් වූ අමෙරිකාවත් එරට බොහෝ ප්‍රාන්තවල මෙම තහනම ඉවත් කළා. තවදුරටත් කංසා දේශපාලන ගුණ්ඩුවක් ලෙස භාවිත කරන්න එපා. දේශීය ආර්ථිකයට සවියක් වෙන්න, ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝගී බව, ප්‍රතිශක්තිය හා නිර්මාණාත්මක බව වැඩි කරන්න එයින් සිදුවන ධනාත්මක ප්රතිලාභ අවබෝධ කරගෙන කංසා තහනමට එරෙහි අරගලයට එකතු වෙන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලන්නේ. වසරක් පුරා පැවැත්වෙන ලෝක කංසා සමුළුවට ගිය වසරේත් ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ එකම ශ්‍රී ලාංකිකයා මමයි. ඊශ්‍රායාලයේ පැවති එම සමුළුවට ලෝකයේ රටවල් පනහක් විතර සහභාගි වුණා. කංසා ආශ්‍රිතව විවිධ නිෂ්පාදන කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන් එයට සහභාගි වුණා. කංසා මූලිකව විවිධ ඖෂධ වර්ග, ටොෆි, චොක්ලට්, බබල්ගම්, තෙල්, ක්‍රීම් වර්ග, මේ ආදී වශයෙන් විවිධ නිෂ්පාදන රාශියක් සිදු කරන මහා පරිමාණ සමාගම් ඒ සමුළුවට ආවා. ඒ සමුළුවේදි එක් මහා පරිමාණ කැනඩා සමාගමක් ශ්‍රී ලංකාව නියෝජනය කළ මා සමඟ මුහුණට මුහුණ කතා කිරීම ප්‍රතික්ෂේප කළේ ඔබගේ රටට කංසා බලපත්‍ර නැති බව පවසමින්. ඔවුන් අප්‍රිකානු රටක හෙක්ටයාර් අටසීයක භූමියක කංසා වගා කරන්න කීවා. එම කංසා මිලදී ගන්නා පොරොන්දුව පිට. තහනමට යටත්වෙලා පදනම් විරහිතව දඟලන්නෙ නැතුව රටේ සංවර්ධනය ප්රගමනය ගැන හිතනවනම් කංසා නීතිගත කළ යුතුයි. ඔව් අනිවාර්යෙන්ම එය කළ යුතුයි..” ඒ වෛද්‍ය සුජීව විතානගේ මහතාගේ අදහස් දැක්වීමයි.
ආචාර්ය වසන්ත සේන වැලිඅංග විසින් ලියූ තෛලෝක විජය පත්‍රම් නම් ග්‍රන්ථයේ සඳහන් වන පරිදි කංසා මැලියම්වල වෙනත් කිසිම ශාකයක දකින්නට නැති විවිධ රසායන වර්ග 80ක් සහ ශාකයේ වෙනත් කොටස්වල විවිධ රසායන වර්ග 365ක් පමණ අන්තර්ගතය. කංසා ඇට භාවිතයෙන් තෙල් හා පිටි නිෂ්පාදනය කළ හැකි අතර කඳේ පොත්තෙන් නූල්, ලණු, කඹ, රෙදි, කැන්වස්, ප්ලාස්ටික් ආදිය නිර්මාණය කළ හැකිය. එහි අරටුවෙන් කඩදාසි, චීප් බෝඩ් වර්ගයේ ලෑලි, කොම්පෝස්ට් පොහොර ආදිය නිපදවිය හැකි අතර කංසා මුල් යනු ප්‍රබල ඖෂධ ගුණයෙන් යුත්තකි. කංසා මල් පිපුණු කරටිවල ඇති මැලියම්වලින් විවිධ ඖෂධ, මල් හා පත්‍රවලින් බීම වර්ග හා විවිධ ආහාර නිෂ්පාදනය කළ හැකිය. එමෙන්ම පිළිකා සෛල විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් කංසා සතුව පවතින අතර කංසා ඖෂධීය භාවිතය තුළින් පිළිකා අවදානම ඇතිනොවීමේ නිරෝගී බවක්ද ඇති කරනු ලැබේ.
කොලොම්බියාව, කැනඩාව, උරුගුවේ, ස්පාඤ්ඤය, අමෙරිකාව, පෘතුගාලය, රුමේනියාව වැනි රටවල් කොන්දේසි සහිතව කංසා නීතිගත කර ඇති අතර ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, රුසියාව, කොරියාව වැනි රටවල් අදටත් කංසා පිළිබඳව විවිධ පර්ෙය්ෂණයන්හි නියැලී සිටී. මේ වනවිට ඊශ්‍රායලය, කැනඩාව, අමෙරිකාව, ජපානය වැනි රටවල් රැසක් ශ්‍රී ලංකාව සමඟ කංසා වගා කිරීමේ ව්‍යාපෘති හා සම්බන්ධ වෙන්නට කැමැත්තෙන් සිටියි. ලංකාවේ ඔක්කම්පිටිය, තණමල්විල, තිස්සමහාරාමය සහ මහියංගණය වැනි ප්‍රදේශවලට ආවේණික ප්‍රභේද ඇති අතර කෘමිනාශක සහ දිලීර නාශක මෙම බෝග වගාව සඳහා අවශ්‍ය නොවේ. එමෙන්ම ඉතා උසස් කංසා ප්‍රභේද ශ්‍රී ලංකාවට ආවේණික අතර කංසා වගාවට හිතකර සශ්‍රීක පොළොවක්ද ලංකාවේ ඇත.
පිළිකා රෝගයට මෙන්ම අද්‍යතනයෙහි ලෝකයේ ඉතා වේගයෙන් පැතිරී යන අල්ෂයිමර් නමින් හැඳින්වෙන මොළයේ සෛල විනාශ වී යාමේ රෝග තත්ත්වයටද කංසා ඖෂධය ඉතාමත් ගුණදායක වෙයි. මේ වනවිට කොවිඩ්වලට එරෙහිව කංසාවල චිකිත්සීය උපයෝගීතාව පිළිබඳවද ලෝකයේ බොහෝ රටවල් පර්ෙය්ෂණයන්හි නියැලී සිටියි.
සැබැවින්ම කංසා කේන්ද්‍ර කරගෙන කළ හැකි නිෂ්පාදන සහ එහි ඖෂධීය වටිනාකම පිළිබඳව අප මේ සටහන් කර තැබුවේ තොරතුරු අල්පමාත්රයක් යැයි සිතෙන තරමට එයින් ලද හැකි විපුල ඵල ප්‍රයෝජන අපමණය. එමෙන්ම උපද්දවිය හැකි විදේශ විනිමය උල්පත්ද අපමණය.
1882 වර්ෂයේදී සැමුවෙල් බිල් නම් ලේඛකයා චීන බසින් ලියූ FO SHO HING TSAN KING නම් ග්‍රන්ථය LIFE OF BUDDHA නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. එහි එක් තැනක සඳහන් වන්නේ බුදුන් වහන්සේ එක දිනකට කංසා ඇටය බැගින් වැළඳූ බවය. කංසා යනු දිව්‍යමය දායාදයක් බව නොදන්නා උන් විපරීතව කෑගසද්දී දන්නා උන් විමර්ශනාත්මකව කෑගසන්නේ එහි ඇති සියලු ගුණ වටිනාකම් මැනවින් නිරීක්ෂණය කළ, පරීක්ෂණය කළ. අධ්‍යයනය කළ පසුබිමක නොවේද? ඒ ප්රශ්නය පමණක් උත්තරයක් වෙනුවෙන් අවසන සටහන් කර තබමි.
සංජීවිකා සමරතුංග