රට පුරා මේ වනවිට භාණ්ඩ කිහිපයකම හිඟයක් පවතින අතර අත්‍යවශ්‍ය භාණ්ඩ රුසක මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. පොහොර නොමැතිවීම හේතුවෙන් එළවළු සහ පළතුරුවල මිල ඉතා සීඝ්රයෙන් දිනෙන් දින ඉහළ යන අතර මේ වන විට එම මිල ජනතාවට දරාගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.
රට පුරා කිරිපිටිවල හිඟයක්ද පවතී. මෙයට ප්‍රධාන හේතුව ලෙස කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ කිරිපිටි මිලට ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීම බවය. එමෙන්ම කිරිපිටි රුගත් නැව්වල ප්‍රමාදයත්, ගුදම් ගාස්තුවල ඉහළ යාමත් හේතුවෙන් මෙම කිරිපිටි හිඟය ඉදිරි මාස දෙක තුළද පැවතිය හැකි බව ඔවුහු පවසති. මේ හේතුවෙන් පසුගිය දිනවල දේශීය කිරිපිටි සහ විදේශීය කිරිපිටි මිලදී ගැනීම සඳහා එම අලෙවිසල් අසල දිගු පෝලිම් දැකගත හැකි විය. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකිවීමෙන් ඇතැම් කිරිපිටි අලෙවිසල් අසල පොලිස් නිලධාරීන් ද යෙදවීමට සිදුවිය.
මේක පුදුම රටක්. දරුවන්ට බඩගින්නට කිරි ටිකක් දෙන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නෙ. මේ විදිහට මේ රට දන්න කාලෙක ආගාධයකට පත්වුණේ නැහැ. එළවළු ටිකක් ගන්න නැහැ. පළතුරක් ගන්න නැහැ. බත් ටිකක් උයලා දෙන්න ගෑස් නැහැ. තිබුණත් බත් එක හදන්න වෙන්නෙ ගිනි බයෙන්. ළිපේ දැල්ලට වඩා හිතේ පත්තුවෙන ගින්දර වැඩියි.* යැයි මහරගම හිරුෂිකා මහත්මිය දේශයට පැවසීය.
විදේශීය කිරිපිටි හිඟයත් සමඟ දේශීය කිරිපිටිවලද අඩුවක් දක්නට ඇත. බොහෝ අලෙවිසල්වලින් ලබාදෙන්නේ එක් පාරිභෝගිකයකුට එක් කිරිපිටි පැකැට්ටුවක් පමණි. එම කිරිපිටි පැකැට්ටුව මිලදී ගැනීමට ද බොහෝ වේලාවක් දිගු පෝලිම්වල සිටගෙන සිටිය යුතුය. පෝලිම්වල සිටගෙන සිටියද අතරමගදී අලෙවිසලේ ඇති කිරිපිටි පැකැට් අවසන් වීමට හැකිය. මෙවැනි අවිනිශ්චිත තත්ත්වයක් ඔස්සේ අසරණ වන්නේ මේ රටේ ජනතාවය. කුඩා දරුවන්ට පවතින ආර්ථිකය හෝ රටේ තත්ත්වය තේරුම් කර දීමට ද නොහැක. බඩගින්න ඉවසාගැනීමට නොහැකි ඔවුහු පුරුද්දට කිරි ඉල්ලා හඬති. වැඩිහිටියන්ට කහට උගුරක් බී හිත හදාගැනීමට හැකි වුවද කහට උගුරකින් කුඩා දරුවන්ගේ ළපටි මනස සනසන්නට නොහැකිය. එනිසා දෙමව්පියන් %කිරිපිටි^ ඇති ස්ථාන කරා යමින් දිගු පෝලිම්වලට එකතු වන්නේ පවතින කොවිඩ් වසංගතය ගැන ද නොතකමිනි. නමුත් ඉහළ බලධාරීන්ට මේ සම්බන්ධව වගක් නැත. පවතින තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීම වෙනුවට ඔවුහු එකිනෙකාට බෝලය පාස් කරමින් තමන් නිවැරදි යැයි ඔප්පු කිරීමට උත්සාහ ගනිති.
කිරිපිටි කොහේවත් නැහැ. සමහර කඩවල් කිරිපිටි පැකට් දෙන්නේ ඒ අය හඳුනන අයට විතරයි. සුපිරි වෙළෙඳසල්වලට කිරිපිටි ආවත් ඒ අය හංගලා හෙමිහිටි දන්න කියන අය ආවම දෙනවා. සමහර කඩවල් කිරිපිටි දෙන්නේ පෙට්ටිය ගලවලා හොරෙන්. මේ හැමදේකින්ම අසරණ වෙන්නේ පොඩි මිනිස්සු. අඩුම ගාණේ රුපියල් අනූවට තිබුණු පොඩි පැකට් එකක්වත් ගන්න නැහැ.* යැයි ගල්කිස්ස අශෝක මහතා දේශයට පැවසීය.
කිරිපිටි ගැටලුවට විසඳුම ඒ අදාළ සමගම විසින් දිය යුතු දෙයක්. අසාමාන්‍ය විදිහට කිරිපිටි පානය මේ රටේ ජනතාවට පුරුදු කරලා විශාල විනිමය ප්‍රමාණයක් රටින් පිටට ලාභ වශයෙන් ගෙන ගොස් තියෙනවා. ඒ නිසා ඩොලර් අර්බුදය පවතින අවස්ථාවේදී ඒ ලබාගන්න ලාභය අනුව කෙටි කාලයක් ණයට හෝ ඒ භාණ්ඩ සපයන්න ඒ ආයතනවලට යුතුකමක් තියෙනවා. ඒ සමාගම් විසින් ඒ වගකීම් ඉෂ්ඨ කරන්නේ නැතිවීම කනගාටුවට කරුණක්. යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
බැංකු මගින් ණයවර ලිපි ලබාගැනීම ප්‍රමාද වීමත්, නැව්වලින් ප්‍රවාහනය කිරීමේදී ඇතිවන ප්රමාදවීමත් හේතුවෙන් මෙලෙස කිරිපිටි හිඟයක් උද්ගතව තිබේ. මෙම තත්ත්වය උදාවීමට පෙර වකවානුවේදී සති තුනක් හෝ හතරක කාලසීමාවක් තුළ කිරිපිටි ගෙන්වීමට හැකියාව පැවතිණි. එහෙත් පවතින තත්ත්වය මත මාස දෙකක කාලයක් වුවද නැව් ප්‍රමාදවීමට හැකිය. ඒ අනුව මෙම කිරිපිටි හිඟය තවත් මාස දෙකක් පමණ පැවතිය හැකිය.
මේ වනවිට රට පුරා ගෑස් හිඟයක් ද ඇතිවී තිබේ. මාස කිහිපයක් තිස්සේ ගෑස් පිපිරීම් වාර්තා වීමත් සමඟ රටේ ජනතාව පසුවන්නේ දැඩි බියකිනි. ඇතැමුන් භූමිතෙල් ළිප් මගින් ආහාර පිසීමට උත්සාහ ගැනීමත් සමඟ භූමිතෙල් ළිප්වල මිලද ඉහළ ගොස් ඇත. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල භූමිතෙල් ලිප් සොයා ගැනීමට හෝ නොහැක. දින කිහිපයකට පෙරදී තෙල් මිල ඉහළ යාමත් සමඟ භූමිතෙල්වල මිලද ඉහළ ගියේය. මේ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දැකගැනීමට හැකිවිය. ඇතැම් ස්ථානවල භූමිතෙල් හිඟයක්ද පැවතිණි. මේ හේතුවෙන් ඇතැමුන් දර ළිප් මගින් ආහාර පිසීමට යොමුවීමත් සමඟ දරවලටද ඉතා හොඳ ඉල්ලුමක් ලැබිණි. කුඩා දර මිටියක මිල රුපියල් හැටක් අසූවක් දක්වා ඉහළ ගොස් තිබේ. ගෑස් සැපයුම යම් මට්ටමකින් යථා තත්ත්වයට පත්වුවද තවමත් ගෑස් හිඟයක් පවතී. ඇතැම් ගෑස් අලෙවිසල් අසල දිගු පෝලිම් දැකගත හැකි අතර මේ වන විට එක් අලෙවිසලකට ගෑස් ටැංකි පනහ බැගින් ලබාදෙමින් තිබේ. බොහෝ අලෙවිසල් දිගු පෝලිම්වල රුඳී සිටින ජනතාවට මෙම ගෑස් ටැංකි ලබා නොදෙන අතර පසුව ලැබෙන පිළිවෙළ අනුව ලබාදීමට සටහනක් තබාගනී. මේ අනුව පාරිභෝගිකයන්ට අලෙවිසලට පැමිණ ගෑස් මිලදී ගැනීමට නොහැකි අතර ලැබෙන ගෑස් ටැංකි නිවෙසටම ගෙන දීමේ ක්‍රියාවලියක් මෙම වෙළෙඳසල් මගින් ක්‍රියාත්මක කර තිබේ. මෙයින් අමතර ප්‍රවාහන ගාස්තුවක්ද ඔවුහු අයකර ගනිති.
ගෑස් කඩේට ගෑස් ඇවිල්ලත් අපිට ගිහින් ගන්න විදිහක් නැහැ. ඒ අයගේ පොතේ තියෙන ලිපිනවලට තමයි ගෑස් එන විදිහට ගෙවල්වලට ගෙනත් දෙන්නේ. ඒකෙනුත් අමතර මුදලක් ඒ අය අයකර ගන්නවා. අනේ මන්දා මේක පුදුම රටක්. දැන් ඉන්න හිතෙන රටක් නෙමේ.. යන්න හිතෙන රටක් තියෙන්නෙ. හැමතැනකම අසරණ වෙන්නෙ මේ රටේ අහිංසක මිනිස්සු. යැයි නුගේගොඩ රමණී මහත්මිය පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න