සීගිරිය සම්බන්ධව පළවූ ඒ පුවත්පත් පුවත් කියවීමු. පුරාවිදු ඉසුරු සෙනරත් පරණවිතාන වෙසදුරන් විසින් බිතු සිතුවම් පිළිබඳව කරන ලද දෙසුම් ඇසීමු. ඒ හැර තවත් බොහෝ දෙනකුගේ මේ පිළිබඳව වූ හැඟුම් විමසා බැලීමු. චිත්‍ර ශිල්පඥ වූද ඉංජිනේරු වූද එච්.ආර්. ප්‍රේමරත්න මහතා සමඟ සීගිරි බිතු සිතුවම් පිටපත් කිරීම සඳහා එහි චිත්‍ර ගුහාවන්හි සති කිහිපයක්ම ගෙවීමට අපට සිදුවිය. සීගිරි බිමේ පිහිටි නොයෙකුත් ගුහාවන් හි වූ චිත්‍ර අප විසින් පිටපත් කරන ලදී.
මීට වසර විසි දෙකකට පෙර කලාශූරී ඇස්.පී. චාර්ල්ස් මහතා විසින් ලියන ලද සීගිරි බිතු සිතුවම් කෘතියේ හැඳින්වීම එසේ සටහන් කර තිබුණි. විහාර බිතු සිතුවම් කී සැණෙකින් අප සිතට නැගෙන සිංහල කලාකරුවන් දෙදෙනෙක් සිටිති. මුලටම අපට මතක් වන්නේ මංජු ශ්‍රී ගේ නමය. දෙවනුව ඇස්.පී. චාර්ල්ස් යන නමය.
නිතර සිනා රුල්ලක් මුවෙහි රඳවාගෙන සිටින නිහතමානී ගතිගුණවලින් යුතු, මේ මහා කලාකරුවා හමුවීමට 1980 වසරේ දී ඡායාරෑප ශිල්පී රෝලන්ඩ් පෙරේරා සමඟ ගිය මට වසර ගණනකට පෙර සිට ඇති පිටිසර පන්සලකින් පිටපත් කරගත් බිතු සිතුවමක ටිෂූ කඩදාසියක් පරීක්ෂා කරමින් සිටි ඔහු දැකගත හැකි විය. චාර්ල්ස් මහතාගේ මුළු නිවෙසම කලාගාරයක් බඳුය. බෞද්ධ බිතු සිතුවම් හා තෙල් සායමින් අඳින ලද චිත්‍රවලින් මුළු ගෙදරම මොනවට සැරසී තිබුණි. චාර්ල්ස් මහත්මිය ද චිත්‍ර කලා ගුරුවරියක නිසා ඔවුනගේ දරුවන්ද චිත්‍ර කලාවට ඇති අසීමිත භක්තිය ලැදියාව කැපී පෙනුණි. එදා අප සමඟ සංවාදයට එක් වූ චාර්ල්ස් මහතා මෙසේ කීවේය.
අපේ විහාර බිතු සිතුවම් ක්‍රමක්‍රමයෙන් අභාවයට යනවා. මංජු ශ්‍රී මහත්තයා තම ජීවිතය කැප කරගෙන මේ විහාර චිත්‍ර පිටපත් කළා. එතුමාට ගෞරව කරමින් එතුමා අනුගමනය කරමින් මමත් බිතු සිතුවම් රුසක් පිටපත් කළා. එක විහාරයක මේ විදිහට පිටපත් කරන්න සති දෙකක් තුනක් ගියා. 1947 දී ගිය ගමනේදී එච්.ආර්. ප්‍රේමරත්න ඉංජිනේරු මහත්තයත් මමත් මගේ ශිෂ්‍ය පිරිසත් කරදර, හිරිහැරවලට මුහුණ දුන්නා. මේ විදිහට බිතු සිතුවම් රාශියක් පිටපත් කර ගන්න පුළුවන් වුණා. වසර 100කට වඩා පැරණි මේ චිත්‍ර සුරකින්නේ අපේ කලා උරුමය මතු පරපුරට බලාගැනීමට හා පර්ෙය්ෂණ කිරීමට සංරක්ෂණය කිරීමේ අදිටනින්.
බ්‍රිතාන්‍ය කොතුකාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන ඇති පෙරදිග සිතුවම් තුනෙන් එකක් චාර්ල්ස් මහතාගෙනි. එය වෙස්සන්තර ජාතිකය පිළිබිඹු වන පැරණි විහාර බිතු සිතුවමක නව නිමැවුමකි.
චාර්ල්ස් මහතාගේ කලා ජීවිතයේ නොමැකෙන සිහිවටනය අපේ පාර්ලිමේන්තුවේ සෙන්කෝලයෙහි සැලැස්ම සකස් කිරීමය. රාජකීය ස්වර්ණාභරණ ශිල්පී ඩැනියෙල් ස්පෙන්සර් මේ පාර්ලිමේන්තු සෙන්කෝලය බලා මෙසේ කියා ඇත.
කාර්මික කෞශල්‍යයේ දැකුම්කලු විස්මයක්.
රාත්තල් 28ක් බරුති මේ සෙන්කෝලය අඟල් 48ක් දිගය. රන් රිදී මැණික් හා කළුවර ලීයෙන් නිමකර ඇති එය පවුම් 32,000කට මිල නියම කර ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායමක් විසින් චාර්ල්ස් මහතාගේ සැලැස්ම සහිත සෙන්කෝලය 1949 ජනවාරි 11 වැනිදා ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායකවරයාව සිටි ෆ්‍රුන්සිස් මොලමුරේ මහතාට පිළිගන්වා ඇත. චාර්ල්ස් මහතා ගැන පුංචි පුස්තිකාවකට සටහනක් ලියන කලා භූෂණ එම්.එල්.ඒ. තිමෝතියස් මෙසේ කියයි.
චාර්ල්ස් මහතා සීගිරි බිතු සිතුවම් ඇරුණු විට වර්ණ අධ්‍යාපනය, වර්ණ අභ්‍යාසය, බාල දරුවන්ට චිත්‍ර කලාව ඉගැන්වීම, නවපන්න හා විලාසිතා සාරි පින්තාරු කිරීම හා මුද්‍රණය, මහනුවර යුගයේ විහාර බිතු සිතුවමින් පෙනෙන තෙල්කූරු හා බදාම, පෙරදිග රේඛා (මදුරුසිංහ ගුණතිලක සමඟ) කෘති හා පැරණි බිතු සිතුවම් කලාව ගැන ශාස්ත්‍රීය ලිපි පුවත්පත්වලට, සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කලා සඟරාවට ලියා තිබුණි.
සීමන් මේරු පතිරණගේ චාර්ල්ස් වැලිගමදී උපත ලබා ඇත්තේ 1916 ඔක්තෝබර් 06 වැනිදාය. වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු කුඩා කල සිට කලාවට, කැටයමට, මූර්තියට දස්කම් පානු දුටු ප්‍රධානාචාර්ය එච්.ඒ.පී. සිරිවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ සිංහල ගුරුවරයකු ලෙස ඉද්දමල්ගොඩ, මල්පාත, කෑගල්ල යන ප්‍රදේශවල පස් වසරක් උගන්වා 1943 වසරේ කොළඹ ටෙක්නිකල් කොලිජීයේ කලා අංශයට (කාර්මික විද්‍යාලය) බැඳී චිත්‍ර කලාව ඉගෙන, ඉන් පසු මරදාන මධ්‍ය විද්‍යාලයේ චිත්‍ර කලා ගුරුවරයා ලෙස පත් විය. කාර්මික විද්‍යාලයේ ඔහුගේ චිත්‍ර ගුරුවරයා වී ඇත්තේ ජේ.ඩී.ඒ. පෙරේරා මහතාය. එබඳු පත්වීමක් ලද ප්‍රථම ලාංකික ගුරුවරයා ද ඔහුය. 1947 වසරේ දී කාර්මික විද්‍යාලයේ කලා අංශයේ අර්ධ කාල කථිකාචාර්යවරයකු ලෙස පත්වූ චාර්ල්ස් මහතා 1953 දී රජයේ කලායතනයේ (හේවුඩ් ආයතනය) චිත්‍ර කර්ම ආචාර්යවරයෙක් ලෙස පත්විය. කාර්මික විද්‍යාලයේදී චාර්ල්ස් මහතා විසින් ලියූ සීගිරි බිතු සිතුවම් පොත ගැන 1958 දී පෙරවදනක් ලියන රජයේ කලායතනයේ අධිපති කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මහතා මෙසේ ලියා තිබුණි.
බිතු සිතුවම්හි විෂය ලක්ෂණ, නිර්මාණ, නොයෙක් අංග, එහි වටිනාකම, ප්‍රිය දර්ශනය යන මේ පිළිබඳ හැඟීමක් කියවන්නාට ඇති කරන්නට සමර්ථ මේ පොත කියවීම චිත්‍ර කලා ඥානය පළල් කර ගන්නට විපුල ප්‍රයෝජනයක් වේ යැයි යනු මාගේ හැඟීමය.
චාර්ල්ස් මහතාගේ විහාර බිතු සිතුවම් චිත්‍ර දැක්ම කිහිපයක් කොළඹ පවත්වා ඇත. බඹරුන්ද, කරඬුව, මැණික් කඩවර, අත්තනගල්ල, වෙස්සගිරිය, තෙල්වත්ත, වේරගම්පිටිය, බලපිටිය, බඹරගල, අම්බලන්ගොඩ, වැලිගම, මෝදර, සපුගස්කන්ද, පිළිකුත්තුව ඇතුළු රජමහ විහාරවල බිතු සිතුවම් රුසක් මේ ප්‍රදර්ශනයට ඇතුළත් විය. මහනුවර ලේවැල්ලේ ගංගාරාම රජමහ විහාරයේ වර්ගඅඩි 2200ක පමණ බිතු සිතුවම් පිටපත් කර වර්ණ කිරීම පමණක් වුවද ඒ මහතාට ගෞරව කිරීමට සෑහෙන බව වාර්තා වේ.
චාර්ල්ස් මහතා චිත්‍ර කලාවට මෙන්ම නැටුම් කලාවට ද දක්ෂයෙක් වී සිටියේය. ඌරාපොල බණ්ඩා ගුරුන්නාන්සේගෙන් පන්තේරු නැටුම් ද, උඩරට නැටුම් ද ඉගෙන ඔහු ලංකා ගාන්ධර්ව සභාවේ නැටුම් කලාවේ ආරම්භය හා මධ්‍ය සහතික ලැබීය. චිත්‍ර කලාව පිළිබඳ ගුරු සහතිකය ලබාගත් ඔහු පාසල් සමයේදී කොක්මාදුවේ ඒ. නානායක්කාර මහතාගෙන් වැඩිදුර චිත්‍ර කලාව ඉගෙන ගත් බව නිහතමානීව සඳහන් කර ඇත. ඒ හැම කලාවක් මෙන්ම බොක්සිං ක්‍රීඩාවට ද ඔහු කුසලතා දක්වා ඇති බව පැවසේ.
චාර්ල්ස් මහතා දක්ෂ වේදිකා නළුවකු මෙන්ම වේදිකා සැරසිලිවලට කුසලතා දැක්වූ පිරිපුන් කලාකරුවෙකි. කලා ගුරු ජේ.ඩී.ඒ. පෙරේරාගේ සිරිසඟබෝ වේදිකා නාට්‍යයේ පසුතල නිර්මාණය කළේ චාර්ල්ස් මහතා අතිනි. 1960 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් රචනය කොට නිෂ්පාදනය කළ හස්තිකාන්ත මන්තරේ නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ චණ්ඩප්පජ ජෝති රජු ලෙස රඟපෑවේ චාර්ල්ස් මහතාය. ඔහු අභිමාන ලෙස රඟපෑ අයුරු විචාරකයන්ගේ ප්‍රසංශාවෙන් අගය කර තිබුණි. ජේ.ඩී.ඒ. පෙරේරාගේ හරිස්චන්ද්‍ර නාට්‍යයේ ද පසුතල නිර්මාණ ඔහුගේය.
චාර්ල්ස් මහතා පාර්ලිමේන්තුවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ ලාංඡනයද රජයේ සිංහ කොඩිය, බුද්ධ ජයන්ති කොඩිය හා රජයේ විවිධ ලාංඡන ද, යුද හමුදා මුද්‍රා ආදිය ද කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි නිර්මාණය කර ඇත. Encyclopedia Britannica (බ්‍රිටැනිකා විශ්ව කෝෂයේ) පළ කිරීම සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවට සිංහ කොඩියේ ලාංඡනය පිළියෙළ කර දුන්නේද චාර්ල්ස් මහතා විසිනි. ඔහු කොතරම් කලා කටයුතු කළද, ඒ කීර්තිය හා ප්‍රසිද්ධිය නොතකා තමා කලාව තවමත් ප්‍රගුණ කරන බව 1980 වසරේ දී එතුමා අපට කීවේය. විශ්‍රාම ගොස් සිටි ඒ මහතා අතින් තව ද නිර්මාණ බිහිවිය. කොළඹ කෞතුකාගාරයේ එළිමහනේ සෙවණක් යටට වී නවක චිත්‍ර ශිල්පීන්ට විහාර බිතු සිතුවම් උගන්වනු ඒ කාලයේ දකින්නට ලැබුණු දසුනකි. නවක චිත්‍ර ශිල්පීන්ට ඔහු නොමසුරුව උපකාර කළේ මුදල් පසුපස හඹා නොයමිනි.
මේ ලිපිය ලියන අවස්ථාවේ මගේ පෞද්ගලික අත්දැකීමක් කීමට අවසර පතමි.
ඔහු මා පදිංචි ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ නිවෙසට පිටුපසින් පිහිටි කොළඹ 14, පරාක්‍රම පාරේ අංක 94 නිවෙසේ පදිංචිව සිටියේය. 1960 වසරේ දී එවකට දොළොස් වැනි වියේ සිටි මාගේ චිත්‍ර කලාවට තිබූ හැකියාව තේරුම් ගත් මගේ දෙමාපියෝ චාර්ල්ස් මහතාගෙන් චිත්‍ර ඉගෙන ගැනීමට ඔහු වෙත මා යැවූහ. අපේ ගේ පිටුපස වූ තාප්පයෙන් පැන්න විට චාර්ල්ස් මහතාගේ මිදුලට පිවිසිය හැකිය. සෑම ඉරිදා දිනකම චාර්ල්ස් මහතාගේ නිවෙසට රජයේ කලායතනයේ ඉගෙන ගත් ඔහු ගෝලයෝ කිහිප දෙනෙක් පැමිණෙති. ඔවුහු විහාර බිතු සිතුවම් කොපි කරති. මුලදී මට සිදු වූයේ ට්‍රේසිං එක සුදු පාට වාර්නිෂ් ගෑ ලෑල්ලකට කොපි කරන විට ට්‍රේසිං එක අල්ලා සිටීමය. එදා චිත්‍ර ඉගෙන ගන්නට ආ පිරිස අතර චාර්ල්ස් මහතාගේ ගෝලයන් වූ ඇල්බට් ධර්මසිරි, සරත් සූරසේන හා එඩ්වඩ් පීටර්සන් සිටියෝය. මට බිතු සිතුවම් අඳින හැටි චාර්ල්ස් මහතා කියා දුන්නේ මාස කිහිපයකට පසුය. පැන්සලක් නිසියාකාරව කපන හැටි, බ්‍රෂ් එක අල්ලන හැටි, සෝදන හැටි, ඩ්‍රෝවිං බෝඩ් එක පාවිච්චි කරන හැටි කියා දී ඉවසීම පුරුදු කරන හැටි ද ඔහු මට කියා දුන්නේය. චාර්ල්ස් මහතාගේ නිවෙසට උදේම එන අපට උදේම තේ ද, දවල්ට කෑම ද හවසට තේ ද සපයා දෙන්නේ චාර්ල්ස් මහත්මිය විසිනි. මේ දවස ඉගැන්වීමට කිසිදු මුදලක් ලබා නොගත් බව එතුමා ගැන කෘතඥතාපූර්වකව කිව යුතුව ඇත.
ඒ කාලයේ චාර්ල්ස් මහතා බඹරුන්දේ සිරි සීවලී හාමුදුරුවන් විසින් ලියූ බෞද්ධ සංස්කෘතිය කෘතියේ පිටකවරය අඳිමින් සිටියේය. සියුම් රේඛාවලින් නිර්මිත මේ පොත් කවරය කොතරම් සීරුවෙන් ඇන්දාද යත් එතුමාට ඒ සඳහා ඉරිදාවල් හතරක්ම ගතව තිබුණි. ඒ කාලයේ එතුමා අපේ ජාතික උරුම ගැන පර්යේෂණ කරමින් සිටියේය. වරක් එතුමා ඔහුගේ සිසුන්ට මෙසේ කීවේය.
ජාතික චිත්‍ර ශිල්පය යළිත් මේ රටේ නගා සිටුවීමට නම් පැරණි විහාර බිතු සිතුවම් ආදර්ශයට ගෙන නැවතත් ශිල්පීන් වැඩ කරන්න පටන් ගන්න ඕනෑ. ඕවට තමයි සිත්තර වැඩ කිව්වේ. මේ රටේ චිත්‍ර කලාව දියුණු කරන්න ඕනෑ නම් ගම්බද ඇඳීමේ ක්‍රමය නැවතත් පටන් ගන්න ඕනෑ. ව්‍යාපාරික පළපුරුද්ද ඇති ශිල්පීන්ගේ සේවය මේ ජාතියට ලැබෙනවාද? සෝලියස් මැන්දිස්, සිංහල ගුරුන්නාන්සේ වැනි ජාතික සම්පත් බඳු ශිල්පීන් ගැන සොයා බැලුවේ කවුද? සිංහාර ගුරුන්නාන්සේ බලන්න එදා අග්‍රාණ්ඩුකාර සොල්බරි සාමි වෙලක් මැදින් පයින් ගියා. සෝලියස් මැන්දිස් 1975 සැප්තැම්බර් 01 වැනිදා මිය ගියා. කැලණි විහාරයේ වැඩ නිම කිරීමෙන් පසු අවුරුදු 25ක් ඔහුගෙන් මේ රට ගත් වැඩය කුමක්ද? මේ රටේ අයට ඇස් පෙනෙන්නේ නැති නිසා ඇස් නොපෙනෙන දෘශ්‍යාබාධ රෝගීන් සඳහා ඔහු ධනයත් මුළු කාලයත් කැප කළා.
1986 දී කලාමාන්‍ය සම්මානය ද, 1990 දී කලාශූරී සම්මානය ද, 1994 දී කලා භූෂණ සම්මානය ද, 1997 කලාරත්න සම්මානයෙන්ද පුද ලැබූ චාර්ල්ස් මහතා පැරිසියේ එක්සත් ජාතීන්ගේ උත්සවයකදී ප්‍රංශ තානාපති ආචාර්ය ආනන්ද ගුරුගේ ප්‍රංශ ජනතාව ඉදිරියේ එතුමාව අගය කළේ ශ්‍රී ලංකාවේ සිටින වයෝවෘද්ධ දේශීය බිතු සිතුවම් කලාව පිළිබඳ නිපුණත්වයක් ඇති විශිෂ්ටම ශිල්පියා ලෙස හඳුන්වා දෙමිනි. මේ උත්සවයේ ප්‍රධාන අමුත්තන් වූයේ චාර්ල්ස් මහතා හා යුනිස්කෝ සභාපතිවරයාය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 2500 සම්බුද්ධ ජයන්ති නිමිත්තෙන් පැවැත්වූ ප්‍රණාම උළෙලේදී මාපලගම විපුලසාර හිමි අනුස්මරණ සම්මානයෙන් පුද ලැබීය.
මහාවංශයේ වර්තමාන කොටස ද, මහවැලි වංශය ද, කලා හා කලා ශිල්ප පිළිබඳ පරිච්ඡේදය ද පුරාවිද්‍යා ශත සංවත්සර ග්‍රන්ථයේ 1200 – 1400 දක්වා කලා හා කලා ශිල්ප පිළිබඳ පරිච්ඡේදය ද චාර්ල්ස් මහතා විසින් ලියන ලද්දකි.
ගුරුවරයා යනු උත්තමයා යන උතුම් කියමන ක්‍රියාවෙන්ම ඔප්පු කළ මේ මහා කලාකරුවා තමාගෙන් චිත්‍ර කලාව ඉගැන්වූ සිසු සිසුවියන්ට තම දරුවන්ට මෙන්ම සම මෙත් දක්වා ශිල්ප දී ඇත. තමාට වඩා කුසලතා දක්වන සිසුන් දෙස බලා සිටියේ උපේක්ෂාවෙනි. නොකිලිටි, හදවතකට උරුමකම් කී ඔහු නිහතමානී සත්පුරුෂයෙකි. දක්ෂතා ඇති සරසවි සිසුන් ඕනකමින්, පාගා ඊට අඩු සුදුසුකම් ඇති පුස්සන්ට තැන දෙන, මානසික රෝගීන් ගැන හිතන විට ඇස්.පී. චාර්ල්ස් මහතා උත්තර ගුරු දෙවියකු ලෙස සිසුන් දහස් ගණනකගේ ආදර ගෞරවයට වසර ගණනක් තිස්සේ පාත්‍ර වූ පරමාදර්ශී චරිතයකි. එතුමාගෙන් ඉගෙන ගත් ලලිත් සේනානායක, අරුණ මොරායස්, එම්.එල්.ඒ. තිමෝතියස්, ආනන්ද සිරිකුමාර ලොකුරණමුක ආදී සිසුවෝ අදත් කලා මුදලාලි නොවූ ඔහුගේ ගුණ සුවඳ සිහිපත් කරති.
ඒ මහතා 2006 ඔක්තෝබර් මස 15 වැනිදා දැයෙන් සමු ගත්තේය.
ඒ.ඩී. රන්ජිත් කුමාර