ඉන්දියාවෙන් ලැබෙන පැකේජ ගැන රටට අදහසක් තිබේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේදී බලය විමධ්‍යගත කිරීම සඳහා ලැබුණ ඉන්දීය පැකේජය එයින් එකකි. ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය නිර්මාණය වූයේ එතැනින්ය. සිරිමා ශාස්ත‍්‍රී ගිවිසුම, ඉන්දීය ණය ආධාර ක‍්‍රම හා ඉන්දු ලංකා ගිවිසුම එවැනිම සබඳතා අතර ඇත. ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියගේ ඇරයුමක් අනුව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2021 දෙසැම්බර් 01 සිට 02 දක්වා නවදිල්ලි නුවර සාර්ථක දෙදින නිල සංචාරයක නිරත වූ බව රාජ්‍ය තාන්ත‍්‍රික නිවේදනවල දැක්විණි. මෙම සාකච්ඡාවල ප‍්‍රතිඵලය දැන් රටට අවශ්‍ය වී තිබේ.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාම අසීරු තැනකය. පසුගිය නොවැම්බර් අවසානයේදී විදේශ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටී තිබුණ බව පාත්ෆයින්ඩර් පදනම නිකුත් කරන ලද නිවේදනයකින් අවධාරණය කර තිබුණි. එහි සඳහන් වැදගත් කරුණක් වූයේ මෙම සංචිතය තුළ රන් සංචිතයේ වන ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ද ඇතුළත් බවය. මහ බැංකු අධිපතිවරයා දක්වන පරිදි වසර අවසන් වනවිට ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවනු ඇත. රටට අවශ්‍ය ආනයන හා විදේශ ණය ගෙවීම සඳහා සංචිත තිබිය යුතුය. අත්‍යවශ්‍ය දේ මිල දී ගැනීමට පවා නොහැකි තැනකට පත්වුවහොත් ගැටලුවකි. මෙම වාතාවරණය ගැන සලකා බලන්නේ කෙසේද?
• රටට විනිමය උත්පාදනයට ඇති අවස්ථා
ශ‍්‍රී ලංකාව මෑත කාලය තුළ විදේශ විනිමය හිඟයක පසු වූ බව රහසක් නොවේ. කොවිඩ් වසංගත තත්ත්වය මග ඇති වූ ලෝක වාතාවරණය එය තවත් උග‍්‍ර තැනකට හැරවීය. මුල් කාලයේ ආනයන සඳහා ඇමරිකානු ඩොලර් බිලියන විස්සක් වැයකරන අප අපනයන ආදායම වශයෙන් උපයන්නේ ඇමරිකානු ඩොලර් බිලියන දහයක පමණ සාමාන්‍යයකි. පරතරය අපහසුවෙන් පාලනය කරමින් සිටි අතර ඇතැම් විදේශ ගෙවීම් සඳහා සංවර්ධන බැඳුම්කර වානිජ මට්ටමින් පවා ලබාගන්නට සිදුවිය. කොවිඩ් වසංගතයේ බලපෑම මත සංචාරක ඉපැයීම් පහතටම වැටිණ. රට තුළ පැවැති ඉකුත් සාමකාමී කාලයේදී සංචාරකයන් ලක්ෂ විසි පහක් වසර 2025 වනවිට ගෙන්වා ගත හැකි වෙතැයි ඉලක්ක කරන ලද බව මතකය. එයට අනුව එකී ඉලක්ක කරා ගමන් කළේ නම් රටට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන හයක පමණ සංචාරක ඉපැයීම් ලැබෙනු ඇති අතර එය දෙවැනි වන්නේ මෙරට විගමණික ආදායමට පමණකි. එහෙත් අලුත් වාර්තා අනුව 2021 වසරේ මෙරට පැමිණි සංචාරක පිරිස ලක්ෂයකට පමණ සීමා වී ඇත. එය රට තුළ විදේශ විනිමය ඉපයීම සීමාකරන තරම පෙන්වයි. අනෙක් අතට ඇඟළුම් අපනයනය, තේ ඇතුළු කෘෂි අපනයන වලින් ලැබෙන විනිමය සීමා වී ඇත. පසුගිය මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවන ලද බව ප‍්‍රකාශ වන නමුත් එය කෙසේවත් සෑහෙන ප‍්‍රමාණයක් නොවේ. රට තුළ පවතින විනිමය අනුපාතිකය සලකන ඇතැම් අපනයනකරුවෝ ඩොලර් ගෙන්වා ගැනීම ප‍්‍රමාද කරන බව වාර්තා වෙයි. විදේශ රැකියාවල නිරත පිරිස්ද එවන මුදල් සීමාකර ඇත. ආයෝජනය අඩුය. විදේශ සමාගම් වෙනත් රටවල කරන ආයෝජන අඩුකර ඇති අතර එයට හේතුව දැනට පවතින ආර්ථික වාතාවරණය බව සඳහන් කළ යුතුය. කොළඹ කොටස් වෙළඳපොළට පවා විදේශ ගනුදෙනු සීමා වී ඇති කාල වකවානුවකි. විදේශ සංචිත තරකර ගැනීම සඳහා කොතැනකින් හෝ උපයා ගත යුතු තැනට ශ‍්‍රී ලංකාව යොමු වී ඇති අතර තවදුරටත් ණය ගැනීම වෙනුවට මිත‍්‍ර රටවල් සමග ආයෝජනය හා තාවකාලික ආධාර ලබාගැනීම ඉතාම ප‍්‍රයෝජනවත්ය.
• ඉන්දියානු ගමන රටට පෙන්වන ශක්තිය
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කරන ලද මෙම නිල සංචාරයේදී, අමාත්‍ය රාජපක්ෂ මහතා මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග දෙදිනක් තුළ අවස්ථා දෙකකදී, ඒකාබද්ධ සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. එවැනි විශේෂත්වයක් මෙයට කලින් වාර්තා වී නැත. විශේෂයෙන් මුදල් අමාත්‍යවරිය ශ‍්‍රී ලංකවේ පසුබිම ගැන ඉතාම ලෙන්ගතුව හා මානුෂික හැඟීමකින් සාකච්ඡා කරන ලද බව වාර්තා සඳහන් කරයි. මෙම උත්සාහය සඳහා එරට සිටින මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මුල සිටට පරිශ‍්‍රමයක් දරා ඇත. හෙතෙම අක්තපත‍්‍ර භාරදෙන ලද අවස්ථාවේ සිට විදේශ ඇමැති, මුදල් ඇමැති, ආරක්ෂක ඇමැති සහ රාජ්‍ය පරිපාලන ඇමැති යන ඉන්දියාවේ ප‍්‍රධානම කැබිනට් ධුර හතර ආමන්ත‍්‍රණය කර තිබේ. එය විරල අවස්ථාවකි. ශ‍්‍රී ලංකාවේ පසුබිම පැහැදිලි කරන අතර ඉන්දියාව අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග ගැන පුළුල්ව සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කරන ලද බව දැක්වෙයි. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ‍්‍රමනියම් ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග සෘජු ලිහිල් ද්විපාර්ශ්වික සාකච්ඡා වට පවත්වන්නට එයින් ඉඩහසර ලැබිණි.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් සිං පූරි සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් ඩෝවාල් යන මහත්වරුන්ද හමුවීම ගැන තොරතුරු විදේශ අමාත්‍යංශය නිකුත් කර තිබුණි. ශ‍්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග පවත්වන ලද සාකච්ඡාවලදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇත. ද්විපාර්ශ්වික සබඳතාවට අදාළ අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබේ. ශ‍්‍රී ලංකාව මුහුණ පා ඇති ගැටලු සහ ඒවා නිරාකරණය කරගැනීම ඇති අවස්ථා මෙහිදී දෙපාර්ශ්වයම සලකා බලා ඇත. වසර 2022 සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය හා එයින් අපේක්ෂා කරන අලුත් ව්‍යුහය ගැන කරුණු පැහැදිලි කර තිබේ. මිත‍්‍ර සහ ආසන්න රටකින් හදිසි උපකාරයක් ඉල්ලා සිටින අවස්ථාවක අපට ළඟාවිය හැකි ඉදිරි ඉලක්ක ගැන කරුණු කියා දී අපගේ ශක්තිය ගැන සඳහන් කිරීම වැදගත්ය.
• ඉන්දියාව දක්වන ලද ව්‍යුහ හතරක හැඩතලය
ඉන්දියාව සැමවිටම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවත් වත්මන් තත්ත්වය තුළ එහි ‘අසල්වැසි රාජ්‍යයට ප‍්‍රථම අවධානය’ ප‍්‍රතිපත්තිය ඔස්සේ සහය දක්වන බවත් ඉන්දීය අමාත්‍යවරු ප‍්‍රකාශ කර තිබිණ. අමතර වශයෙන් එම සහාය ලබාගත හැකි මූලික ව්‍යුහ හතරක්ද පෙන්වා දෙන ලද බව මෙම සංචාරය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය නිකුත් කරන ලද වාර්තාවල සඳහන්ය. වහාම අවධානය යොමුකළ හැකි පරිදි හා මධ්‍ය කාලීන ආර්ථික සහයෝගීතාව පවත්වාගෙන යෑම සඳහා යෝජිත ව්‍යුහ හතරකි. ඒවා පැකේජ වශයෙන් දක්වා ඇත.
(1) ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල වියදම් ආවරණය කිරීම සඳහා වූ ණය පහසුකමක් ලබාදෙන හදිසි ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂණ පැකේජයක්.
(2) ඉන්දියාවෙන් කෙරෙන ඉන්ධන ආනයන වියදම් ආවරණය කිරීම සඳහා වූ ණය පහසුකමක් සහ ත‍්‍රිකුණාමලය ඉන්ධන ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණය කිරීම ඇතුළත් බලශක්ති ආරක්ෂණ පැකේජයක්.
(3) වත්මන් ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට ශ‍්‍රී ලංකාවට සහාය වීම සඳහා වූ විනිමය හුවමාරුවක්.
(4) ආර්ථීක වර්ධනයට සහ රුකියා උත්පාදනයට දායක වන පරිදි ශ‍්‍රී ලංකාවේ විවිධ අංශවල ඉන්දියානු ආයෝජන සඳහා පහසුකම් සැලසීම.
මුලින් සඳහන් කරන ලද පරිදි ආණ්ඩුව ඉන්දියාවේ පැකේජ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා අභිමානයට කැළලක් ඇති කරගැනීම නුසුදුසුය. එහෙත් මෙරට ජනතාව අද ගත කරමින් සිටින ජීවිතය ගැනද තදබල සේ අවධානය යොමුකළ යුතුය. ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෑත කාලය තුළ මාධ්‍යවලට කරුණු දක්වන පරිදි ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයෙහි ආයෝජනය ඉන්දියාවේ අභිප‍්‍රායකි. පැකේජය තුළ එය අඟවා ඇත. දෙවැනි ලෝක යුද්ධය කාලයේ බි‍්‍රතාන්‍ය රජය ඉදිකරන ලද එකී සංකීර්ණයෙන් ලංකාවට ලබාගත හැකි ප‍්‍රයෝජනයක් නැත. රටට අවශ්‍ය බොරතෙල් ආනයනයට පවා වත්කමක් නැති අවස්ථාවක දැවැන්ත ටැංකි අනූනමයක් රජයේ දේපොළක් සේ ආරක්ෂා කිරීම විහිළුවකි. රටට ආදායම, තාක්ෂණය හා රුකියා උත්පාදනය වන අන්දමට ආයෝජනයක් කළහොත් ණය ගැනීමට වඩා ඉදිරි දැක්මක් සහිතය.
• ඉන්දියාවද මුල්‍ය අරමුදලද යන දෙකෙන් එකක්
ලබන වසරේ ශ‍්‍රී ලංකාවට ගෙවිය යුතුව ඇති විදේශ ණය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතකි. දැනට ඇති සංචිත ප‍්‍රමාණය සලකා බලන විට දැවැන්ත අර්බුදයක් නිර්මාණය කරනු ඇත. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සමාගමක් ශ‍්‍රී ලංකාව ණය අවදානම් රටක් වශයෙන් දක්වා තිබේ. මෙතෙක් සිටි ශ්‍රේණියෙන් පහළට ඇද දමා ඇත. එය යහපත් ලක්ෂණයක් නොවේ. රටට වානිජ වශයෙන් හෝ ණය ලබාගැනීමේදී වැඩි පොලියක් ගෙවන්නට සිදුවන බවට අඟවන ලකුණකි. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර සැලැස්මකට ගමන් නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා ගමන් කරන්නට සිදුවීම වැළැක්විය නොහැකිය.
ශ‍්‍රී ලංකාව ගත කරමින් සිටින කාලය ඇතුළත් ගැට හා පිටත් ගැට පැටලී ඇති බව පෙනේ. ඉන්දියාව පමණක් නොව මූල්‍ය අරමුදලද ශ්‍රී ලංකාව තමන් කරා පැමිණෙන තෙක් බලා සිටී. ඉන්දියාවට වඩා දරුණු යෝජනා මූල්‍ය අරමුදල ඉදිරිපත් කරනු ඇත. පෞද්ගලීකරණය, සහන අඩුකිරීම, අයවැය පරතරය පාලනය, ආයෝජකයන් සඳහා තවත් අනුග‍්‍රහය, රජයේ සේවකයන් ඉවත් කිරීම යනාදී වශයෙන් දීර්ඝ ලැයිස්තුවක් තිබිය හැකිය. මේවා අලුත් දේ නොවේ. වසර අසූ ගණනක් තුළ වාර දහසයක් මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන විට ලැබුණ කොන්දේසි බව සඳහන් කළ යුතුය. එහෙත් මෙරට පාලකයන් මූල්‍ය අරමුදලේ සංචිත පහසුකම ලබාගත් නමුත් එම කොන්දේසි ප‍්‍රකාරව රට සංවර්ධනය කරන පියවරට නිර්භීත වූයේ නැත. ඡන්ද පදනම සලකා සහනදායක වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙන ගියේය. එහි අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බිත්තියට හේත්තු වී ඇත. ජනතාව විශාල වශයෙන් පීඩනයකය. ඔවුහු දිනපතාම ආණ්ඩුව විවේචනය කරමින් සිටිති. ඉන්දියාවේ පැකේජය හෝ මූලය අරමුදලේ පිටිවහල රහිතව ගමනක් නැත. සමහරවිට මෙම දෙපැත්තම එකතු කරගන්නට සිදුවෙයි. විශාල ප‍්‍රතිසංස්කරණ මාලාවකට යොමුවෙන්නට සිදුවනු ඇත. ලබන නව වසර සැනසිලිදායක එකක් කරගන්නට නම් වහාම තීරණ ගත යුතුව තිබේ. වාහන හෝ සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නොකර ජීවත්විය හැකිය. අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත්, දරුවන්ට කිරිපිටි, වගාවට අවශ්‍ය පොහොර හෝ අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රහිතව 2022 නව වසර උදාවෙන්නේ නැත. ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයටද මෙය අතිශය වැදගත් පණිවුඩයක් වනු ඇත.
සාරා කන්දෙගොඩ