2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

පුපුරණ ගෑස් යට පුපුරු ගසන කොමිස් හුටපට

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 143

ගෑස් ප්‍රශ්නය ජනතාවට දැන් හිසරදයක් වී ඇත. ගෑස් ප්‍රශ්නයට එකී සමාගම් විසින් ප්‍රශ්නය විභාග වන ස්ථානවල නොයෙකුත් පොරොන්දු දුන්නද තවම ප්‍රශ්නය නිමවී නැත. හැමතැනම පිපිරීම්ය. පිපිරීම් පමණක් නොව තුවාල වීම්ද එමටය. පසුගියදා මරණයක්ද වාර්තා විය. එහෙත් තවම විසඳුමක් නැත.

ඕනෑම ආයතනයක යම් අක්‍රමිකතාවයක් සිදුවුවහොත් එකී ආයතනයේ විශ්වාසය කඩ කිරීමත්, එකී ආයතනයේ වගකීම් පැහැර හැරීමත් නිසා බොහෝ විට වැඩ තහනම් වීම්, අනිවාර්ය නිවාඩු යැවීම් වැනි දෑ ඊට සම්බන්ධ පුද්ගලයන්ට උපරිම දඬුවම් වශයෙන් ලබාදෙනු ඇත. අවමය පඩියෙන් හෝ කොටසක් කපාගනු ඇත. එහෙත් ගෑස් සංයුතිය වෙනස් කර ඇති බවට සමාගම පවා පිළිගෙන තිබියදීද, එලෙස සංයෝගය ජනතාවට දැනුවත් කිරීමකින් තොරව සිදුකර තිබියදීද ඊටත් වඩා ගෙයක් ගෙයක් ගාණේ ගෑස් අනතුරු සහ මරණයක් පවා වාර්තා වී තිබියදීද පුදුමය නම් තවමත් ගෑස් සමාගමේ ලොක්කන් පුටුවල සිටීමය. අඩුම තරමින් අස් කිරීමට නොහැකි නම් අස්වී හෝ ජනතාවට සිදුවූ බරපතළ අසාධාරණයට ඔවුන් සමාව ගත යුතුය. එහෙත් අස්වීම තබා සමාව හෝ නැත. අඩුම තරමින් ගෑස් සමාගම්වල සභාපතිවරු මාධ්‍ය පවා මඟහැර සිටිති.

මේ අතර ලිට්රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය විසින් පසුගියදා රහස් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ මෙම සිදුවීම සංවිධානාත්මක ලෙස සිදුවන ක්‍රියාවක්ද යන්න සොයා බැලීම සඳහාය. ඔවුන් පවසන්නේ වසර 150ක් පමණ පැරණි ලිට්රෝ ගෑස් සමාගම මිනිසුන් මැරීම සඳහා ගෑස් ගෙන නොඑන බවත් එබැවින් මේ පිටුපස යම් සංවිධානාත්මක දෙයක් ඇතිද යන්න සොයා බැලීම සුදුසු බවත්ය. විශේෂයෙන් පසුගිය කාලයේ අලුත් ගෑස් සමාගමක් එන බවට ප්‍රචාරයක් ගිය බවද එය නවතාලීමට හැකිවූයේ මාධ්‍ය හරහා බවද ඔවුහු පවසති. එසේම මෙලෙස ප්‍රශ්නකාරී ගැටලුවක් ඇතිවූ ඕමාන සමාගම සමඟ ඇති ගිවිසුම ලබන පෙබරවාරියේ අවසන් වන නිසා යම් සැකයක් ඇති බව ඔවුන්ගේ මතය විය.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගම තුළ පමණක් නොව රජය තුළද යම් බෙදීමක් සිදුව ඇතැයි දැනගන්නට ඇත. මෙම කොන්ත්‍රාත්තුව භාර සමාගම වන ඕමාන් ට්‍රේඩිං සමාගම ගනුදෙනු කරන්නේ මෙරට සමාගමක් සමඟය. ඔවුන් මෙරට නියෝජිතයන් ලෙස පෙනී සිටින අතර ඔවුන් සාමාන්‍යයෙන් මෙරටට ගෑස් ලබාදෙන්නේ වැඩි මුදලකට බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ටෙන්ඩරය ගැනීමේදී විශාල වශයෙන් කොමිස් මේ නිසාම එහා මෙහා යන බව මීට පෙර කීවේ ලිට්රෝ සභාපතිවරයාය. කෙසේ වෙතත් මෙම ගෑස් සංයුතිය වෙනස් කර ඇත්තේ එකී දේශීය සමාගම සහ තවත් මෙරට පිරිසකගේ දැනුවත්භාවය මත යන්න මේ වනවිට හෙළිවී ඇති බව එම ආරංචි මාර්ග පවසයි. එහෙත් මේ සම්බන්ධයෙන් තොරතුරැ අනාවරණය කිරීමට නොහැකි වන සේ ඇතැම් පාර්ශ්වවලට බලපෑම් එල්ල වන බවද සඳහන් වේ.

මේ අතර මෙම සිදුවීම ජනාධිපතිවරයා දක්වාම ගොස් ඇති බවද ඒ සියල්ල අනාවරණය කිරීමට ලිට්රෝ ගෑස් සභාපතිවරයා සහ එහි කණ්ඩායමක් සූදානම්ව සිටියදී රජයේ ඇතැම් ඇමැතිවරුන්ගෙන් සභාපතිවරයාට ඉවත් වන ලෙසට ප්‍රහාර එල්ල වන්නේ රජය තුළද මෙම ප්‍රශ්නය නිසා බෙදීමක් සිදුව ඇති නිසා බව ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් මෙම තොරතුර සත්‍ය නම් කොයි මොහොතක හෝ එය හෙළිවනු ඇත. එසේම මෙම තොරතුර ඇත්ත නම් එය හෙළිකිරීම ලිට්රෝ සභාපතිවරයාගේ යුතුකම සහ වගකීම බව පැවසිය යුතුමය.

මෙකී සියලු තත්ත්වයන් නිසා ඉතා බරපතළ අවුලකට පත්ව ඇති ලිට්රෝ ගෑස් සමාගම පසුගිය සතියේ සිට මෙරටට ආනයනය කරන ගෑස් නැව්වල ප්‍රමිතිය පරීක්ෂා කර මෙරටට ලබාගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කළේය. ඒ අනුව පාරිභෝගික අධිකාරියත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් එක්ව අදාළ ප්‍රමිතිය පරික්ෂා කිරීම සිදු කරන අතර ඉන් අනතුරැව ඒ සඳහා අනුමැතිය දෙනු ලබයි. කෙසේ වෙතත් එහිදී පළමුව පැමිණි නැව ප්‍රතික්ෂේප වුණු අතර එයට හේතුව වුයේ ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවකි. එහෙත් දෙවැන නැව ප්‍රමිතිය සහතික කිරීම හේතුවෙන් මිලට ගැනීම සිදුවිය.

ගෑස් පළමු ප්‍රශ්නයෙන් පසුව ලිට්රෝ සමාගම ගෑස් සංයුතිය වෙනස් කර ජනතාවට ලබාදෙන බවට පොරොන්දු වූ අතර ඒ අනුව පළමුවර ගෑස් බෙදීම නවතා දමා නැවත ආරම්භ කළේ ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩරයේ වෑලය රතු පැහැති ඉටි කොළයකින් ආවරණය කරමිනි. එහෙත් පුදුමය නම් ආරක්ෂිත යැයි කී එම සිලින්ඩරද පුපුරන්නට වීමය. ඇතැම් වෑලයන්වල පැරණි නිල්පාට ඉටිකොළය උඩින් රතු පැහැති කොළය අලවා තිබියදී හසුවිය. එවැනි සිලින්ඩර නිසා අනතුරැද සිදුවිය. ප්‍රශ්නය ඇත්තේ කොතනද? ජනතාවට ආරක්ෂිත යැයි පවසා වෙළෙඳපොළට නිකුත් කරන ගෑස් සිලින්ඩර පවා අනතුරට ලක්වනවා නම් මෙලෙස රවටන්නේ අහිංසක ජනතාව නොවේද? මේ අවදානමට ලක් කරන්නේ මෙරට අහිංසක ජනතාව නොවේද? මේවාට දඬුවමක් නැතිද? යන්න කාටත් නැගෙන ප්‍රශ්නයකි.

එසේම පසුගිය සතියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකරුවකු වන නාගහනන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකරණය වෙත ගොනු කළ රීට් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය විසින් ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගමට නියෝග කළේ වහාම ප්‍රමිතියෙන් යුත් ගෑස් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන ලෙසය. දැනට වෙළෙඳපොළේ ඇති ප්‍රමිතියෙන් තොර ගෑස් නැවත කැඳවන ලෙසද අධිකරණය විසින් දැනුම් දෙනු ලැබීය. එසේම මින් ඉදිරියට සෑම ගෑස් සිලින්ඩරකම සංයුතිය ප්‍රදර්ශනය කරන ලෙසද නියෝග කරනු ලැබීය.

එහිදී පෙත්සම්කරු නාගහනන්ද කොඩිතුවක්කු මහතා ඉල්ලා සිටියේ දැනට භාවිත කළ අඩක් ඇති ගෑස් සිලින්ඩරද කැඳවා ඊට යම් මුදලක් පාරිභෝගිකයා හට ගෙවන ලෙසය. ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය සොය බලා තීරණය කරන ලෙසද අභියාචනාධිකරණය දැනුම් දෙනු ලැබීය. කෙසේ වෙතත් මෙම ගැටලුවට විසඳුම ලෙස උත්ගත වී ඇති ගෑස්වල ඇති ප්‍රොපේන් සංයුතිය 30‍%ක රඳවාගෙන යාමට තීරණය කළ බවද පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා දැනුම් දුන්නේය.

ඒ අනුව ලිට්රෝ සමාගම නැවතත් ගෑස් බෙදාහැරිම පසුගිය සෙනසුරාදා (18) සිට ආරම්භ කළ අතර අධිකරණයෙන් දැනුම් දුන් පරිදි සංයුතිය සඳහන් කිරිමක්ද සිදු විය.

මේ අතර ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගමට එරෙහිව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ලේ සාක්ෂිකරැවන් ලෙස ලිට්රෝ සමාගම නම් කර තිබූ අතර එම සංගමයේ ඉල්ලීම මත ලිට්රෝ සමාගම වගඋත්තරකරුවන් ලෙස නම් කළේය. ඒ අනුව එම පැමිණිල්ල විභාගයද මේ වන විට සිදුවෙමින් තිබේ. 

මේ සියලු තත්ත්වයන් හමුවේ හැමදාම මෙන් අසරණ වූයේ ජනතාවය. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ ගණනාවකම ගෑස් සොයාගැනීමට නොහැකිව ජනතාව අන්ත අසරණ වූහ. විශේෂයෙන් තට්ටු නිවාසවල ජනතාව දැඩි අපහසුතාවයකට ලක් වූහ. ගෑස් ලිප වෙනුවට භූමිතෙල් ලිප්, විදුලි උඳුන් මිලදී ගැනීමට ජනතාව විවිධ ස්ථානවලට ගියද මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩ ද නොවීය. එපමණක් නොව ඒවායේ මිල දෙගුණ තෙගුණ වී ඉහළ ගොස් තිබුණි. ගෑස්වලින් බැට කෑ ජනතාවට එය තවත් මරු පහරක් විය. එසේම මේ තත්ත්වය හේතුවෙන් ගැස් ආශ්‍රිත නිෂ්පාදනයක් වන බේකරි කර්මාන්තය පවා කඩා වැටෙන්නට විය. මේ සියල්ලටම හේතු වූයේ නිසි විසඳුමක් නැති ගෑස් ප්‍රශ්නයයි.

මේ අතර පසුගිය සඳුදා මෙම ගෑස් ප්‍රශ්නය ගැන සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කමිටුව ඊට අදාළ වාර්තාව ජනාධිපතිවරයාට ලබා දී තිබුණි. සියල්ල සිදුවුවත් මේ තත්ත්වය නිසා තවමත් අන්ත අසරණ වී සිටින්නේ අහිංසක ජනතාවය. ඒ සඳහා කිසිදු විසඳුමක් ලබාදීමට නොහැකිවීම ගැන බලධාරීන් ලජ්ජා විය යුතුය.

 ගයාන් ගාල්ලගේ

සංයුතිය වෙනස් කිරීම පිපිරීමට හේතුවයි

පසුගිය කාලයේ මේ අනතුරු වැඩිවීමට හේතුව මොකක්ද කියා හැමෝම අහන ප්‍රශ්නයක්. මම ඕකට උත්තරයක් නොදුන්නොත් ප්‍රශ්නයක් ඕක. පසුගිය නොවැම්බර් මැද සිට දෙසැම්බර් දක්වා ගත්තොත් මේ ප්‍රශ්නය උද්ගත වෙලා තිබ්බෙ. අපි කවුරුත් දන්නවා මේ ප්‍රශ්නය පටන් ගන්නෙ ගෑස් සිලින්ඩරයෙන්. ඊට පස්සෙ උපාංග තියෙනවා. අපි රෙගියුලේටර් කියනවා ඊළඟට රබර් නලය සහ උඳුන.

එතකොට අපි පැහැදිලිවම හඳුනා ගත්තා අනිත් කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. වෙනස් වුණු මූලික දෙය තමයි මේ සිලින්ඩරයේ තිබ්බ ගෑස්.ඇත්තටම ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ සති දෙකෙන් දෙකට, මාසෙන් මාසෙට හරි ගෙවල් වලට ඒක වෙනස් විදිහට ලැබෙනවා. නමුත් අපේ අධ්‍යයන කමිටුවේ පැහැදිලි නිගමනය තමයි සිලින්ඩරය පුපුරා යෑමට ඇති අවකාශය ඉතාම අඩුයි. අවසානයේ අපි නිරීක්ෂණය කරනකොට දැක්ක කරුණක් වන්නේ පසුගිය කාලය තුළ ගෑස් සංයුතියේ යම් ඉහළ යාමක් සිදුවෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයකට ඇවිත් තියෙනවා. සංයුතියේ සිදු වුණු වෙනස් වීමත් සමඟ ඇති වුණු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරැවලට හේතු වුණේ කියලා තමයි අපේ වාර්තාවේ අපි සඳහන් කරල තියෙන්නෙ.

මහාචාර්ය ශාන්ත වල්පොලගේ 
සභාපති
ගෑස් පිපිරීම් සම්බන්ධව පත්කළ ජනාධිපති කමිටුව
(දෙසැම්බර් 21 පැවති මාධ්‍ය සාකච්ඡාව)