2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

සාක්කු හිස්වෙලා: මේ පාර මොන ගිනිකෙළිද?

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 235

උත්සව සමය යනු රතිඤ්ඤා සහ ගිනිකෙළි නිෂ්පාදකයන්ට මෙන්ම අලෙවිකරුවන්ට ද ඉතා සරුසාර කාලයකි. නමුත් ගෙවුණු වසර කිහිපය තුළ මොවුන් පත්වූයේ ඉතා අසීරු තත්ත්වයකටය. පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හේතුවෙන් නිෂ්පාදනය කළ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි බොහොමයක් අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. ගිනිකෙළි සඳහා වැඩි වශයෙන් ප්‍රසිද්ධ කිඹුලාපිටියයි. මෙහි බොහොමයක් ජීවත් වන්නේ පාරම්පරික ගිනිකෙළි නිෂ්පාදකයන්ය. නමුත් පවතින තත්ත්වය හමුවේ ඇතැමුන් මෙම කර්මාන්තයෙන් ඈත්ව යාමට තරම් මෙම කර්මාන්තය අද වන විට බිඳවැටෙමින් පවතී.

මෙරට රතිඤ්ඤා නිෂ්පාදනය ආරම්භ කිරීම මෙරටට පැමිණි චීන ජාතිකයන් දෙදෙනකු හේතුවෙන් සිදුවූවක් බව ඉතිහාසයේ සඳහන් වේ. එක්දහස් නවසිය විසි ගණන්වලදී මෙරට තුළ මුල්ම රතිඤ්ඤා නිෂ්පාදනය කරන ලද්දේ කිඹුලාපිටිය පදිංචිව සිටි කේ. ඒමිස් පෙරේරා විසිනි. මෙරටට පැමිණි චීන ජාතිකයන් දෙදෙනකු විසින් කිඹුලාපිටියේ පදිංචිව සිටි ඒමිස්ට මේ සම්බන්ධයෙන් ලබා දුන් ග්‍රන්ථයක් ආශ්‍රයෙන් ඔහු රතිඤ්ඤා නිෂ්පාදනය කර ඇති බව කියති. ඒ අනුව එතැන් සිට කිඹුලාපිටිය රතිඤ්ඤා නිෂ්පාදනකරුවන් වැඩි වශයෙන් ජීවත්වන ගම්මානයක් බවට පත්විය. බොහෝවිට මෙය පාරම්පරිකව පවත්වාගෙන යනු ලබන රුකියාවක් වුවද රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදනයේ මේ වන විට පවතින ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් තරුණ තරුණියන් මෙම කර්මාන්තයට යොමුවීමේ ප්‍රවණතාවය අඩුවෙමින් තිබේ.

වසරක් පාසා රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ යම් අඩුවක් පැවතුණද උත්සව සමය ළං වන විට ඔවුන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි. නත්තල් සමය ඇරඹුණද මහා මාර්ගය දෙපස තාවකාලිකව ඉදිකළ කුඩා වෙළෙඳ කුටිවල අලෙවි කරන ගිනිකෙළි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් පැමිණියද තවමත් ඒවායේ වෙනදා තරම් අලෙවියක් නොමැති බව ගිනිකෙළි අලෙවිකරුවෝ පවසති

ගිය අවුරුද්දේ තිබුණු අලෙවිය මේ අවුරුද්දේ නැහැ. වෙනදාට මීට වඩා හොඳ අලෙවියක් අපි කරනවා. පාස්කු ප්‍රහාරයත් එක්කම ඒ හැමදේම නැතිවුණා. ගිය අවුරුද්දේ කොරෝනා තිබිලත්, මිනිස්සු රතිඤ්ඤා අරගෙන ගියා. කොහේවත් නොගියට ඒ අය ගෙවල්වල ඉඳන් රතිඤ්ඤා පත්තු කරලා උත්සව සැමරුවා. ගෙවල්වලටම හිරවෙලා හිටපු දරුවන් වෙනුවෙන් අම්මලා තාත්තලා නිලාකූරු, අහස්කූරු අරගෙන ගියා. කොවිඩ් වැඩිපුර තිබිලත් එහෙම අලෙවියක් තිබුණට මේ අවුරුද්දෙ නම් එහෙම අලෙවියක් නැහැ. ගිය පාර අපි කිඹුලාපිටියෙන් ගත්තු බඩුවලට සාපේක්ෂව හරිම අඩුවෙන් තමයි බඩු මිලදී ගන්නෙ. ඒකත් ගණන් ගිහින්. ඒ ගන්න ටිකවත් විකුණාගන්න බැරි තත්ත්වයක් තමයි මේ උදාවෙලා තියෙන්නෙ. ගිය අවුරුද්දේ දහයට ගත්තු දේ මේ අවුරුද්දේ පහළොවක් විතර වෙනවා. දැන් මිනිස්සුන්ට රතිඤ්ඤා ගන්නවා තියා එදා වේල කන්නවත් සල්ලි නැහැ. ආර්ථිකය බින්දුවටම වැටිලා. පුරුදු රස්සාව හැම අවුරුද්දෙම කරන නිසා රතිඤ්ඤා පෙට්ටි ටිකක්, නිලාකූරු පෙට්ටි ටිකක් ගෙනත් මෙතන බිස්නස් කළාට මේකෙන් ලොකු ලාභයක් ලැබෙන්නෙ නැහැ.* යැයි පිටකෝට්ටේ රේණුකා මහත්මිය දේශයට පැවසීය.

රටේ පවතින ආර්ථිකය හේතුවෙන් ජනතාවට නිදහසේ ජීවත් වන්නට මානසිකත්වයක් ගොඩනගාගත නොහැක. උත්සව සමයේදී අහස්කූරු දල්වමින් ප්‍රීති වන්නට මේ වසරේදී ජනතාවට හිතේ සතුටක් නොමැත. රතිඤ්ඤා පිපිරීම වෙනුවට අද ඇත්තේ ගෑස් පිපිරී යාම සම්බන්ධයෙන් ඇති බියයි.

මේ පාර මොන රතිඤ්ඤාද? ගිය පාර කොවිඩ් රට පුරා තිබිලත් ඇඳිරි නීතිය වරින් වර රට පුරා තිබිලත් අපි දරුවන්ට නිලාකූරු පෙට්ටියක් රතිඤ්ඤා පෙට්ටියක් ගිහින් දුන්නා. නමුත් අවුරුද්දක් ගෙවිලා මේ අවුරුද්ද ලබද්දි හැමදේම ඉහළ ගිහින්. කන්න එළවළුවක් නැහැ. උයාගෙන කන්න ගෑස් ටික නැහැ. දරුවන්ට පිටි ටික නැහැ. එහෙම වෙද්දි නිලාකූරු පෙට්ටියක් අරගන්න එකත් දැන් හරියට හීනයක් වගෙයි. යැයි හෝකන්දර විමලාවතී මහත්මිය පැවසීය.

අපි අවුරුදු විසි පහක් තිස්සේ මේ වෙළෙඳාම කරනවා. වෙසක් එකට වෙසක් සුබ පැතුම් පත් විකුණනවා. උත්සව කාලයේදි රතිඤ්ඤා ගිනිකෙළි විකුණනවා. මේ අවුරුද්දෙ දෙසැම්බර් විසි දෙවැනිදා සිට අපි රතිඤ්ඤා අලෙවි කරන්න පටන් ගත්තා. මුල්ම දවසෙ රුපියල් එක්දාස් අටසීයක් විතර ලාභයක් ලැබුවා. වෙන වසරවල නම් මීට වඩා ආදායමක් ලබනවා. හැබැයි රටේ තත්ත්වය නිසා මිනිස්සුන්ට ජීවත් වෙන්න බොහොම අමාරුයි. ඒකයි ඇත්ත. බඩු මිල ඉහළ ගිහින්. ගිය පාර ගත්තු රතිඤ්ඤා පෙට්ටිය මේ පාර රුපියල් විස්සකින් ඉහළ ගිහින්. මේකට යට කරන්න සල්ලිවත් අපිට නැහැ. බඩු උකස් තියලා ණය අරගෙන තමයි මේ බඩු ටික ගෙනාවේ. මේ යන තත්ත්වයත් එක්ක හැමදෙයක්ම විකිණෙයිද කියලත් ප්‍රශ්නයක්. රතිඤ්ඤා පෙට්ටියක්, අහස්කූරක් මිලදී ගත්තත් වෙන වසරවලදි මෙන් මේ මිල අධික මල්වෙඩි ගිනිකෙළි මිනිස්සු මිලදී ගන්නෙ නැහැ. ඒ තරමටම මිනිස්සුන්ගේ ආර්ථිකය වැටිලා.* යැයි මිරිහාන ගිනිකෙළි අලෙවිකරු නිහාල් මහතා දේශයට පැවසීය.

බොහෝවිට අලෙවිකරුවන් මෙම නිෂ්පාදන මිලදී ගනු ලබන්නේ කිඹුලාපිටියෙනි. අලෙවියෙන් පසු ඉතිරි වන ඇතැම් නිෂ්පාදන නැවතත් නිෂ්පාදන ආයතනවලට බාරදිය හැකි වුවද ඇතැම් ඒවා නැවත බාරදිය නොහැක. මේ හේතුවෙන් බොහෝවිට අලෙවිකරුවන් මිලදී ගනු ලබන්නේ ඉතා අඩු භාණ්ඩ ප්‍රමාණයකි. තාවකාලිකව ඉදි කළ අලෙවි කුටිවල අලෙවි කරනු ලබන රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළිවල අඩුවක් වෙන වසරවලට සාපේක්ෂව පවතින බව මේ අනුව පෙනී යයි.

අපි හතර දෙනෙක් එකතුවෙලයි මේක කරන්නෙ. දවස් ගාණක් තිස්සේ මෙතන ලීවලින් හදලා තමයි මේ අලෙවි කුටිය කරගෙන යන්නේ. ජනවාරි පළවැනිදා වෙනතුරු අපි ගෙවල්වලට යන්නෙත් මාරුවෙන් මාරුවටයි. සමහර දවස්වලට රූට නිදාගන්නෙත් මෙතනයි. ඇත්තම කිව්වොත් නිදාගන්නවත් බැහැ. කවුරු හරි කෙනෙක් සිගරට් කොටයක් එහෙම මෙතනට විසි කළොත් ඔක්කොම ඉවරයි. මේක ආසාවට කරන රස්සාවක් නෙමෙයි. ජීවත් වෙන්න කරන රස්සාවක්. දැන් මේ අවුරුද්දේ මේ රස්සාවෙන් ජීවත් වෙන්න බැරි තත්ත්වක් තමයි උදාවෙලා තියෙන්නෙ. තුන් වේල කන්නවත් බැරි තත්ත්වයක රතිඤ්ඤා මිලදී ගන්න මිනිස්සු එන්නෙ නැහැ. රටේ තත්ත්වය මිනිස්සුන්ට අමාරුයි. ඒ නිසා මේ රස්සාව මෙහෙම ගියොත් නම් නතර කරන්න තමයි සිදු වෙන්නෙ. අඩුම ගාණේ දවසකට රුපියල් එක්දාස් පන්සීයක්වත් එක්කෙනෙක්ට දෙන්න ඕනෙ. අපි සූර්යා කම්පැනියට ගිහිල්ලම තමයි මේ බඩු ටික ගේන්නෙ.* යැයි ගිනිකෙළි අලෙවිකරුවෙක් වන ශර්ලි මහතා පැවසීය.

මීට අවුරුදු තුනකට පමණ පෙර උදා වූ වසන්ත කාලයේදී වීදියක් පුරා තැනින් තැන දක්නට ලැබුණු රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි අලෙවි කුටි අද දක්නට නැත. මහා පරිමාණයෙන් දක්නට ලැබුණු කුටි වෙනුවට දකින්නට ඇත්තේ ඉතා කුඩාවට පවත්වාගෙන යන අලෙවි කුටි පමණි. ඇතැම් සිල්ලර වෙළෙඳසල්වල කුඩා කොටසක පවත්වාගෙන යන අලෙවි කුටිද මේ අතර දක්නට ඇත. වෙනදා නුගේගොඩ නගරයේ බොහෝ අලෙවි කුටි පැවතුණද මෙවර දක්නට ඇත්තේ ඉතාමත් සීමිත අලෙවි කුටි ප්‍රමාණයකි. ඒවායේද වෙනදා තරම් පාරිභෝගිකයන් දක්නට නැත.

මේ අවුරුද්දේ තාම හිතුව තරම් බිස්නස් එකක් නැහැ. ගිය අවුරුද්දෙත් අපි මෙතන බිස්නස් කළා. කොවිඩ් රට පුරා තිබුණත් ගිය අවුරුද්දේ මේ අවුරුද්දට සාපේක්ෂව බිස්නස් හොඳයි. වසංගතයක් රට පුරා තිබුණට මිනිස්සු අතේ සල්ලි තිබුණා. අද පවතින ආර්ථිකයත් එක්ක මිනිස්සුන්ට සල්ලි නැහැ. අපි මේ ගිනිකෙළි ගේන්නෙ කිඹුලාපිටියෙන්. ගිය අවුරුද්දට වඩා මේ පාර බඩු ගණන් වැඩියි. ගිය අවුරුද්දේ රුපියල් සීයට ගත්ත දේ මේ අවුරුද්දේ රුපියල් එකසිය තිහක් වෙනවා. මම ඉන්නෙ කොට්ටාවේ. මම වෙළෙඳසලකුත් කරන ගමන් තමයි උත්සව කාලයෙදි මේ බිස්නස් එක කරන්නෙ. මේක විතරක් අවුරුද්දකට සැරයක් කරලා ජීවත් වෙන්න බැහැ. ඉතුරුවෙන සමහර දේවල් අපිට ආපහු නිෂ්පාදන ආයතනවලටම දෙන්නත් පුළුවන්. එහෙම ආයෙත් බාරගන්නෙ නැති දේවල් අපි පරිස්සම් කරලා තියාගෙන සිංහල අවුරුද්දට ආයෙත් විකුණනවා. මේ පවතින තත්ත්වයත් එක්ක බිස්නස් නම් සතුටුදායක තත්ත්වයක තියේවි කියලා හිතන්න අමාරුයි.* යැයි නුගේගොඩ ගිනිකෙළි අලෙවිකරු නිහාල් මහතා දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ