2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

තෙල් වැඩිවුණාම ඊළඟට වෙන දේ

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 71

ඉන්ධන ඇවිලෙන සුළුය. එපමණක් නොව ඇවිලී ගිය විට නිවීමට අපහසුය. මේ වනවිට ඉන්ධන මිල පිළිබඳ ගින්න රටපුරා පැතිර යමින් ඇත. ඉන්ධන මිල ඉහළ දැමීම රටපුරා ක්ෂේත්‍ර රුසකට බරපතළ ලෙස බලපා තිබේ. මේ හේතුවෙන් බඩු මිල ඉහළ යෑම සම්බන්ධව තවදුරටත් පාලනය කළ නොහැකි සීමාවක් වෙත ළඟා වෙමින් ඇත. මගී ප්‍රවාහන ක්ෂේත්‍රය ප්‍රමුඛ ක්ෂේත්‍ර කිහිපයට මේ වනවිට එල්ල වී ඇති බලපෑම පිළිබඳ විමසා බැලීමට අප තීරණය කෙළෙමු. ඒ සඳහා වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙකු අප ඔබ හමුවට කැඳවමු.

බස් ගාස්තු මිල සූත්‍රයක්

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඉදිරි සතියේදී බස් ගාස්තු මිල සංශෝධනය සිදුවේවි. සංශෝධන සිදුවන්නේ පූර්ව එකඟතාවයකට පැමිණ ස්ථාපිත කරලා තියෙන මිල සූත්‍රයට අනුව. මිල සූත්‍රයේදී මහජනතාවගේ පැත්ත පිළිබඳවත් සංවේදී වෙයි. ඒ සියලු කාරණා එකතු කරලා තමයි ඔය සූත්‍රය හදලා තියෙන්නේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා තමා මෙය සිදුවන්නේ. අපි ඉල්ලීම් කරලා තියෙන්නේ එහෙම කරන්න කියලා.

ඉන්ධන විතරක් නෙවෙයි හැමදේම වැඩිවුණා. ටයර් ඇතුළු අනෙකුත් සියලු අමතර කොටස් මිල වැඩිවුණා. කර්මාන්තය තාමත් යථා තත්වයට පත්වෙලා නෑ. බස් දුවන්නේ සියයට පනහක් විතර. මේ යන විදිහට කොතැනින් නතර වෙයිද කියලා කියන්න බෑ. හැමදේම මිල ඉහළ ගිහින්. බස් ගාස්තු වුණත් ඕනෑවට වඩා ඉහළ දාන්න අමාරුයි. ජනතාවට දරාගන්න පුළුවන් විදිහට තියෙන්න ඕනෑ.

අච්චර - මෙච්චර වැඩි කරන්නැයි කියන්න බෑ

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන 

කෙනෙක් හිතන්න පුළුවන් ඉන්ධනවලින් පාන් හදනවද කියලා. ජනතාවට අපි ඒ පිළිබඳව පැහැදිලි කරන්නම්. ලංකාවේ සියයට අනූවක් තියෙන්නේ අවන්. සියයට දහයක් විතරයි දර පෝරණු තියෙන්නේ. අවන්වලින් සියයට පනහක් හැටක් ගෑස්. අනෙක් අවන් ඩීසල් භූමිතෙල් සහ විදුලි බලය භාවිතා කරන ඒවා. ඒ නිසා බේකරි නිෂ්පාදනවල මිලට ඉන්ධන මිල සෘජුව බලපානවා.

අනෙක් අතට ලංකාවෙ චූං පාන් රථ ඔක්කොම දුවන්නෙ පැට්‍රල් වලින්. එතැනින්ම ඉන්ධන මිල වැඩිවීම දරුණුවට බලපෑමක් සිද්ධ වෙනවා. ගෑස් හිඟය නිසාබේකරි සියයට පනහක් විතර වහලා දාලා තියෙන්නේ. ගොඩක් වෙලාවට වැඩකරන්නේ දිනයක් හැර දිනයක්. පිටි මිල මාසයක් තුළ අධික ලෙස ඉහළ ගියා. ඒ වගේම ඉල්ලුමට සරිලන පිටි ලැබෙන්නේ නෑ. සියයට පනහයි අපිට ලැබෙන්නේ.

පසුගිය සතියේ අපේ සංගමය තීරණය කළා තාවකාලිකව බේකරි නිෂ්පාදනවල මිල තීරණය කිරීම නතර කරන්න. අපි සංගමයෙන් කියන්නේ නෑ අච්චර වැඩි කරන්න මෙච්චර වැඩි කරන්න කියලා. අද මාළු පාන් හදන මිලට හෙට හදන්න බෑ.

කිලෝමීටරයකට අවම මිලක් ඕනෑ

සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර

ත්‍රීරෝද රථ ක්ෂේත්‍රයේ තිබෙන ගැටලුවට ගාස්තු ඉහළ දැමීම විසඳුමක් නෙවෙයි. අපි කියන්නේ රාජ්‍ය මැදිහත් වීමෙන් ත්‍රීරෝද නියාමනයක් සිදුකරලා ගාස්තු සමාලෝචන කමිටුවක් තුළින් ගාස්තු ක්‍රමවේද අනිවාර්ය කරන්න ඕනෑ. එක එක සංගම්, එක එක අය, එක එක මිල ගණන් තමයි මේ වෙද්දී තීරෝද රථ ගාස්තු විදිහට අය කරන්නේ.

අපේ වර්තමාන මිල තීරණය වුණේ ෙපට්‍රල් මිල රුපියල් එකසිය දාහතේ තියෙද්දී දැන් පෙට්රල් රුපියල් එකසිය හැත්තෑහතයි. රුපියල් 60ක වැඩිවීමක් ෙපට්‍රල් වලට විතරක්. මේ මොහොතේ රටේ සහ ලෝකයේ අනෙකුත් භාණ්ඩ සියල්ලම මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.

මම දැක්කා සමහරු දාලා තියෙනවා සමාවෙන්න අවම ගාස්තු රුපියල් සීයයි කියලා. මීටර් නැති සමහර ත්‍රීරෝද රථවල යන්න එකසිය විස්සයි, එන්න එකසීය පනහයි. මීටර් තියෙන ත්‍රීරෝද රථවල අවම ගාස්තුව රුපියල් පනහේ සිට හැත්තෑව දක්වා වෙනවා. පොදු මිලක් නෑ. අපි මේ මොහොතේ යෝජනා කරනවා මැද තැනකට ඇවිල්ලා පළවෙනි කිලෝමීටරයට රුපියල් අසූවයි දෙවැනි කිලෝමීටර් ඉඳලා රුපියල් හතළිස් පහයි පනවන්න කියලා.

අපිට පාඩු වෙන්නේ ලක්ෂ ගණන් වලින්

බහුදින ධීවර යාත්‍රා හිමි ධීවර වෙළඳ ව්‍යාපාරික රුවන් කුමාර - බේරුවල

සාමාන්‍යයෙන් අපේ බෝට්ටුවලට තෙල් ලීටර් දහයක් දොළහක් ගහනවා. රුපියල් 10කින් තෙල් මිල ඉහළ ගියොතින් අපිට රුපියල් ලක්ෂයකට වඩා පාඩුවක් වෙනවා. ඒක බෝට්ටු හිමියන්ට මුහුදු යන ධීවරයන්ට වගේම කර්මාන්තයේ නියුතු සියලුදෙනාටම බලපානවා. මාළු මිල ඉහළ යන්නත් පුළුවන්.

අපේ බෝට්ටු හැමදා ලාභ ලබන්නෙ නෑ. සමහර අවස්ථාවල තෙල් වියදම පවා උපයාගන්න බැරිව ගොඩට එනවා. තෙල් මිල ඉහළ යාමත් එක්ක මේ වගේ අවස්ථාවල නැවත බෝට්ටු පිටත් කරන එක විශාල අභියෝගයක්. ධීවරයන්ට සහන මිලට ඉන්ධන ලබාදීම සම්බන්ධ කතා හැමදාම තිබුණත් ඒව කවදාවත් හරියට ක්‍රියාත්මක වුණේ නෑ.

තෙල් කියන්නේ ප්‍රධානම දේ. තෙල් සම්බන්ධව මිල ඉහළ යාමට අමතරව ප්‍රශ්න රුසකින් ධීවරයෝ මේ වෙද්දී බැට කනවා. මේ වෙනකොට මාළු වෙනුවෙන් සෑහෙන්න දියඹට අපිට යන්න වෙනවා. ඒත් අමතර තෙල් ගෙනියන්න දෙන්නේ නෑ ආරක්ෂක අංශය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධ විවිධ ප්‍රශ්න නිසා. ඒත් සාමාන්‍ය ධීවරයන් තමයි මේ දේවල් නිසා පීඩාවට පත්වෙන්නේ.

 චමිදු නිසල්