2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

හුංගම පොලීසිය ඇතුළේ මැරුණු පුංචි ආණ්ඩු මන්ත්‍රී

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 170

පොලිස් ස්ථානය වෙත රැගෙන ආ සැකකරුවෙකි. එසැණින්ම ඔහු ඇතුළු කෙරුණේ පොලිස් සිරමැදිරිය වෙතය. තවත් සැකකරුවකු ඒ වන විටත් සිටියේ සිරමැදිරිය තුළය. එතැන අලුතින් රැඳවූ සැකකරු එහි බිත්තිය කෙළවරක සිටගෙන සිටියේ මිනිත්තු කිහිපයකි. කපා හෙලූ කඳක් සේ හදිසියේ බිම ඇදවැටුණු සැකකරුවා ඔසවා එළියට ගන්නට කඩිනමින් යකඩ දොර හැර ක්‍රියා කළේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකි.

මේ දර්ශන පෙළ සිරමැදිරිය ඉදිරිපිට වූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණේ හුංගම පොලිස්ථානයේදීය. පොලිස් අත්අඩංගුවේ සිටියදී සිරමැදිරියේ ඇදවැටීමෙන් පසු රෝහල්ගත කළ සැකකරු ජීවිතක්ෂයට පත්වූයේ එම මරණය පසුපස සැකයක්ද ඉතිරි කරමිනි.

පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුවන් පිළිබඳ සිදුවීම් ගණනාවකි. සමහර සැකකරුවන් අවිආයුධ හෝ සැඟවූ භාණ්ඩ පෙන්වීමට ගිය අවස්ථාවල වූ සිදුවීම්ය. තවත් ඒවා එවැනි මොහොතක පොලීසියට ප්‍රහාර එල්ල කිරීමේ විපාකය. නැතිනම් පොලීසිය හමුවේ පලා යාමට තැත් කිරීමය. තවත් විටෙක පොලිස් පහරදීම් බවට ඉතිහාස සාධක කොතෙකුත්ය. ඒ නිසාම හුංගම පොලීසියේ සිදුවීම සැකයක් වීම කම් නැත. මේ කතාව ඒ ගැන විමසා බැලීමකි.

හුංගම පොලීසියේ සිරමැදිරිය තුළ සිටියදී බිම ඇදවැටී මරණයට පත්ව සිටියේ හුංගම හා අවට ප්‍රසිද්ධ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. ප්‍රේමතිලක අමරවීර (62) නැමැති ඔහුගේ මරණයට පසුව මරණකරුගේ ඥාතීන් හා ආධාරකරුවන් පිරිසක් කලහකාරී ලෙස විරෝධතාවයේ නිරත වූහ. මේ හේතුවෙන් එම පිරිස රන්න රෝහල් භූමිය තුළද විරෝධතා දැක්වූහ.

මේ වසරේ අවසන් පොහොය හෙවත් උඳුවප් මස පුර පසළොස්වක පොහොය යෙදී තිබුණේ පසුගිය 18 වැනිදාය. දිවයින පුරා වෙහෙර විහාර ආශ්‍රිතව පින්කම්, සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී රට පුරා සියලු සුරා සැල් වසා දැමුණේ පවතින නීතිය අනුවය. මේ අතරතුර මොහොතක හුංගම පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරියකු වෙත ලැබුණු තොරතුරකි.

“තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ප්‍රේමතිලක අමරවීරගේ හෝටලය දන්නවා නේද? අර රන්න ටවුමේ ගෑනු නමකින් තියෙන බත් කඩේ... පෝය කියලා නෑ අදත් කඩේ ඇරලා බත් විකුණනවාට වඩා හොර අරක්කු විකුණනවා. මීට කලිනුත් වැඩේ කරලා තියෙනවා. අද පෝය දවසේ ලොකුවටම බිස්නස් එක යනවා.”

පොලීසිය හමුවේ තොරතුරු කී ඔත්තුකරු බොහෝ තොරතුරු දැනගෙන තිබුණි. එකිනෙක විස්තර නොකළත් ලබාදුන් තොරතුරු පොලීසියට ප්‍රමාණවත්ය. මේ කියන සැකකාර මන්ත්‍රීවරයා හා එම පොලීසියේ නිලධාරීන් අතර වූයේද සුහදතාවකි. එහෙත් මන්ත්‍රීවරයා පොලීසියට වැලි ගසා හොර අරක්කු ජාවාරමේ නිරත බව ඊට පෙර වාර්තා වී නොතිබිණි. එබැවින් හුංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ අවසරය මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම අනුව නිලධාරීන් පිරිසක් රන්න නගරය වෙත ගොස් තිබුණි. කාටත් රහසේ ඇසගසා සිටි නිලධාරීන් එක් මොහොතක සැකකාර මන්ත්‍රීවරයාට අයත් හෝටලය වෙත ඇතුළු වී තිබුණේ ක්ෂණිකවය. ඒ වන විටත් මත්පැනින් සප්පායම් වූ කිහිප දෙනකු හෝටල් පරිශ්‍රය තුළද නිලධාරීන් ආවේක්ෂණය කරමින් සිටින මොහොතේ මත්පැන් පානය කර යන කිහිප දෙනකුද නිරීක්ෂණය විය.

පොලීසිය හා හෝටලය හිමි මන්ත්‍රීවරයා අතර පැවති ඇයි හොඳයිය කෙසේ වෙතත් නීතියට එය බාධාවක් නොවීය. පොලීසිය හමුවේ චාටු බස් කියන්නට මන්ත්‍රීවරයා උත්සාහ ගත්තද ඊට ද ඉඩක් නොලැබිණි. අමරවීර මන්ත්‍රීගේ හෝටලය ලෙස ප්‍රසිද්ධ බත් කඩය ඇතුළත රහසිගතව සඟවා තිබූ රජය අනුමත අරක්කු බෝතල කිහිපයක් විය. ගබඩා කිරීමට හෝ අලෙවි කිරීමට නියමිත බලපත්‍රයක් නොමැතිව වැඩි මිලකට අරක්කු විකුණා තිබුණේ අධික ලාභයක්ද තබා ගනිමිනි.

කාලයක පටන් මත්පැනට ඇබ්බැහි වී සිටි සැකකාර මන්ත්‍රීවරයා බත් කඩයක් සහිත හෝටලය පවත්වාගෙන යන මුවාවෙන් හොර අරක්කු ජාවාරම සිදු කර තිබුණේ අධික ලාභ ලැබීමටය. ඒ සඳහා උඳුවප් පොහෝ දිනය තෝරාගෙන තිබුණේ ඔහුගේ උපායක් අනුවය. බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟ පොලිස් අත්අඩංගුවට පත් සැකකාර මන්ත්‍රීවරයා හුංගම පොලීසිය වෙත රැගෙන යන්නට වැඩි වේලාවක් ගත නොවීය. එසේ රුගෙන ගිය සැකකරු පොලිස් ස්ථානය මධ්‍යයේ පිහිටි සිරමැදිරිය වෙත ඇතුළු කෙරුණි. ඒ සමඟ යකඩ දොරට ඉබි යතුරු දමා පොලිස් නිලධාරීහු සෙසු රාජකාරිවල නිරතවීමට සූදානම් වූහ. ඒ වනවිට සිරමැදිරියේ වෙනත් සැකකරුවකු සමඟ සැකකාර අමරවීර මන්ත්‍රීවරයා බිත්තිය අසලට වී සිටගෙන සිටියේ යැයි පැවසේ. සැණෙකින් සැකකාර මන්ත්‍රීවරයා සිරමැදිරියේ බිම ඇදවැටෙන්නේ නොසිතුව ලෙසිනි. මෙය දුටු පොලිස් නිලධාරීහු යුහුසුළුව සැකකරු රෝහල්ගත කිරීමට පියවර ගත්හ.

මේ ආකාරයට පොලිස් නිලධාරීන් විසින් සැකකරු ඇතුළත් කොට තිබුණේ රන්න රෝහල වෙතය. එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු කියා තිබුණේ ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවය. සිදුවීමත් සමඟ මියගිය මන්ත්‍රීවරයාගේ ඥාතීන් හා හිතවතුන් ප්‍රකෝප වී චෝදනා කළේ මරණයට පොලීසියේ සබඳතාවක් ඇති බවත් සිදුවීම පිළිබඳ සැකයක් පවතින බවත්ය. එහිදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් රන්න ප්‍රදේශයෙන් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය දැක්වූහ. එහිදී රථවාහන ධාවනයට ද දැඩි බාධා එල්ල විය. මෙම පිරිස් මරණය සැකසහිත බව කියමින් රෝහල් භූමියේද විරෝධය පළ කළහ.

මේ අතර මියගිය මන්ත්‍රීවරයාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී දිල්හානි අමරසිංහ මහත්මිය විසින් පසුදා හම්බන්තොට රෝහලේදී සිදු කර තිබිණි. එහිදී හෙළිව තිබුණේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බවය.

මේ අතර අප කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ සැකකරු මියයාමට දින කිහිපයකට පෙර ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා රෝහලක ප්‍රතිකාර ලබා ඇති බවය. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයක දින කිහිපයක් ප්‍රතිකාර ලබා ඇති ඔහුට හදවත ආශ්‍රිතව රෝගී තත්ත්වයක් පැවති බවද වාර්තා විය. එසේ තිබියදී එම මරණය පිළිබඳව පොලීසිය වෙත චෝදනා කිරීමට ඇතැමුන් පෙළගැසී සිටි බවද කිව යුතුය. ඒ සඳහා වෛද්‍ය වාර්තාව මෙන්ම පොලීසියේ සී.සී.ටී.වී. දර්ශනයද සාක්ෂි සැපයීය. මේ නිසා එම දර්ශනය මාධ්‍ය වෙත නිකුත් කිරීමට පොලීසිය පියවර ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මරණයට හේතුව හෘදයාබාධයක් බව සනාථ වී ඇති බවය. එබැවින් සිදුවීම සම්බන්ධව පොලීසියට චෝදනාවක් නොමැති බවද ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05