2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

උපාධිධාරීන් 51,000කට රජයේ රැකියා

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 146

රජයේ රැකියාවක් යනු ශ්‍රී ලංකික පුරවැසියා සතු සර්වකාලීන අපේක්ෂාවක් යැයි කීම සාධාරණය. අධ්‍යාපනික වශයෙන් අට සමතුන් සේම උපාධිධාරීන් බහුතරය ද රජයේ රැකියා සිහිනයක ගිලී සිටිති. එනිසාම රජයේ රැකියා යනු මෙරට දේශපාලන මෙවලම්ක් වේ. පසුගිය සතියේ අසන්නට ලැබුණු පුවතක් මෙම ලිපියට නිමිත්ත සැපයුවේය. එම පුවතට අනුව දැනගැනීමට ලැබුණේ එළඹෙන ජනවාරියේ දී රැකියා විරහිත උපාධිධාරීන් 51,000කට රජයේ ස්ථීර පත්වීම් ලබා දීමට ආණ්ඩුව සූදනම් වන බවයි.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමේ වැඩසටහන ඇරඹෙන්නේ 2020 වසරේදීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ විගසම මෙම කටයුත්තට අත ගැසුවේය. අභ්‍යාසලාභීන් ලෙස පළමුව මෙම පිරිස රාජ්‍ය සේවයට ඇතුළත් කොටගෙන පුහුණුවෙන් පසු සේවය ස්ථිර කරන බව කියැවිණි. ආරම්භයේදීම මෙම වැඩසටහන මහ මැතිවරණය හේතුවෙන් ඇණ හිටියේය.

වගකිව යුතු රජයක් ලෙස මේ රටේ උගත් තරුණ කොටස රටේ සංවර්ධනයට සක්‍රිය ලෙස දායක කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩුව කියා සිටියේය. මැතිවරණ සමයේදී මෙම පත්වීම් පිළිබඳ දේශපාලන වාද විවාද පවා ඇතිවිණි. විපක්ෂය කියා සිටියේ මෙම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් බවයි. මේ හරහා මැතිවරණ නීති උල්ලංඝනය වන බවට ද දැවැන්ත චෝදනාවක් එල්ල විය. මැතිවරණ කොමිසමේ මැදිහත් වීම මත ව්‍යාපෘතිය අතරමග නතර වූයේ ඒ අනුවය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පොදුජන පෙරමුණු රජය නැවත වැඩසටහන පණගැන්වීමට කටයුතු කළේය. මැතිවරණයට ප්‍රථම පොරොන්දු වූ පරිදි සුදුසුකම් සපිරූ රැකියා විරහිත උපාධිධාරීන් 51,135ක් සේවා නියුක්ත කිරීම අනතුරුව ආරම්භ විය. ඒ අනුව තෝරාගනු ලැබූ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරිණි.

ආරම්භයේ තෝරාගනු ලබන පිරිස අධ්‍යාපන අමාත්‍යංශය (ග්‍රාමීය හා වතු පාසල්) වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල්/ කුඩා බෙහෙත් ශාලා), මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ආදී ක්‍ෂේත්‍රවල සේවාවන්හි නියුක්ත කිරීමට නියමිත විය. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් ආසන්නතාව මත මෙම පිරිස පාසල් ඇතුළු රාජ්‍ය ආයතන වෙත සේවයට වාර්තා කළ යුතු බව ආණ්ඩුව නිවේදනය කළේය.

ආණ්ඩුව කියා සිටියේ ඉතිහාසයේ උපාධිධාරීන් මෙතරම් විශාල ප්‍රමාණයකට රැකියා ලබාදීමට කටයුතු කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට උපාධිය පදනම් කොටගෙන සාමූහික වශයෙන් උපාධිධාරීන්ට රැකියා ලබාදීම ආරම්භ කළේ 1976 සමගි පෙරමුණු රජයයි. එහෙත් එය ඉතා සුළු ප්‍රමාණයක් වූ අතර 1977න් පසු ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය රැකියා බැංකුවක් ස්ථාපිත කරන බව පවසමින් දේශපාලන නිර්දේශ මත රාජ්‍ය සේවය සඳහා බඳවා ගන්නා නූතන ක්‍රමවේදය මෙරට තුළ ස්ථාපිත කළේය. අසූව දශකයේ දකුණේ කලකෝලහල හේතුවෙන් උපාධිධාරීන්ගේ තත්ත්වය භයානක විය.

තරුණ අසහනය සඳහා බලපෑ ප්‍රධානතම සාධකයක් වූයේ දේශපාලන පන්දම් ක්‍රමය මත ගමේ උගත් තරුණයන්ට රැකියා අවස්ථාවන් නොලැබීමයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම ක්‍රමය වෙනස් කිරීමට යම් පියවරක් ගත්තේය. ඔහු තරුණ අසහනය පිළිබඳ සෙවීමට කොමිසමක් පත්කළ අතර එහි වාර්තාවේ රැකියා ලබාදීමේ වූ දේශපාලන මැදිහත් වීම පිළිබඳ පැහැදිලි නිර්දේශ ඉදිරිපත් වී තිබුණි. ඒ අනුව අවසානයේ තරග විභාග ක්‍රමය රාජ්‍ය සේවය වෙනුවෙන් හඳුන්වා දීමට එකල ආණ්ඩුව කටයුතු කළේය.

අනතුරුව තරුණ අසහන කොමිෂන් සභා වාර්තාව ද හේතු කොටගෙන මෙරට උපාධිධාරීන්ට රාජ්‍ය අංශයේ ඍජු රැකියා ලබා දීම ආරම්භ වන්නේ 1999 වසරේය. එම වසරේ පත්වීම් 10000ක් පමණ ලබා දුන් බව කියැවේ. පසුව මෙම වැඩසටහන විවිධ ප්‍රමාණයන්ගෙන් සිදුවිය. 2005 ජනාධිපතිවරණයෙන් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උපාධිධාරීන් 42,000කට එකවර නව රැකියා ලබා දීම ඓතිහාසික සිදුවීමක් විය. පසුව 2011 වර්ෂයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි 50,000ක් පමණ රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබිණි. 

වර්තමාන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ පෙර කී පරිදි සෞභාග්‍යයේ දැක්ම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටුකිරීමක් ලෙසය. සේවය ස්ථිර කිරීමේ වැඩසටහන 2022 ජනවාරි 03 වැනිදායින් ආරම්භ වන බවත්, ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවත්, ඒ සම්බන්ධයෙන් පත් කර තිබූ කැබිනට් අනුකාරක සභාවේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. දැනට ඇති තොරතුරු අනුව උපාධිධාරීන් 51,000න් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42,500කට පමණ පිරිසගේ සේවය එදිනම ස්ථීර කෙරේ. 2021 පෙබරවාරි හා මාර්තු මාසවල පුහුණුව සඳහා බඳවා ගත් පිරිස, වසරක කාලය සම්පූර්ණ වීමෙන් පසු 2022 අප්‍රේල් 1 වැනිදා ස්ථීර කිරීමට නියමිතය.

“රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන” නැතහොත් “2020 බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් රාජ්‍ය සේවයට/ පළාත් රාජ්‍ය සේවයට පත්කිරීමේ වැඩසටහන” අනුව ලබා දුන් සම්පූර්ණ පත්වීම් ප්‍රමාණය 58,116කි. එහෙත් මේ වන විට සේවයේ ඉතිරිව සිටින අභ්‍යාසලාභීන් ලෙස සිටින සංඛ්‍යාව 51,000කි. එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් පාසල් තුළ සේවය කරමින් සිටිති. ඒ අනුව  ගුරු සේවය සඳහා පත්වීම් 22,000ක් ලබාදීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කර තිබුණි. අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන පරිදි ගුරු සේවයට එක්වීමට කැමැති අයට (දැනට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූවද, නොලැබුවද) ඉල්ලුම් කර, හැකිය. ගුරු සේවයට එක්වීමේ අවස්ථාව ලබා දීමට, ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සිදු කෙරෙණු ඇත.

උපාධිධාරීන් යනු මෙරට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති තරුණ ප්‍රජාවයි. ඔවුන් සම්බන්ධයෙන් ආණ්ඩුව සංවේදී වීම අත්‍යවශ්‍යය. එම නිසාම මෙම වැඩසටහනේ සාධනීය පැතිකඩ බොහෝය. මෙම උපාධිධාරීන්ගේ අධ්‍යාපන සහ ඔවුන් බහුතරයගේ රැකියා ක්ෂේත්‍රය අතර ඇත්තේ විශාල පරතරයකි. මෙරට උසස් අධ්‍යාපනයේ යාවත්කාලීන නොවීම මෙම ගැටලුවට මූලික හේතුවයි. පෞද්ගලික අංශයේ ඉහළ වැටුප් ලැබෙන රැකියා අවස්ථා ඇතත් බහුතර උපාධිධාරීන් ඒ සඳහා සුදුසුකම් සපුරා නොතිබීම විශාල ගැටලුවකි. කොතරම් සාධනීය ලෙස ගත්ත ද අවසානයේ උපාධිධාරීන් ද රජයට බරක් වී ඇත්තේ එනිසාය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05