2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

උත්සව සමයේ පැකේජ්වලට දොර ඇරුණු සංචාරක හෝටල්

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 13

වෙනදාට දෙසැම්බර්යේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සංචාරක හෝටල් පිරී ඉතිරී යයි. එහෙත් ඉකුත් වසර දෙකේම කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක දෙසැම්බරයේ සංචාරක හෝටල් පාළුවට ගොස් තිබුණි. නමුත් වෙනදා තරම් නැතත් මෙවර උත්සව සමයේ සංචාරක කර්මාන්තයේ යම් පිබිදීමක් ඇතැයි පෙනී යයි. ඒ සම්බන්ධ යම් සොයා බැලීමක් කිරීමට අපි උත්සාහ කළෙමු.

දෙසැම්බර් නිවාඩුවට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බොහෝ දෙනා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරති. ඇති හැකි පමණ සංචාරයේ නිරතවන මෙම පිරිස් මෙම වකවානුවේ සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා විශාල දායකත්වයකි. වර්තමාන සංචාරක කර්මාන්තයේ බිඳවැටීම හමුවේ දේශීය සංචාරකයන් තම සංචාරක හෝටල් වෙත ආකර්ෂණය කර ගැනීමට හෝටල් හිමියෝ උත්සුක වෙති. පසුගිය දින කිහිපය තුළ පුවත්පත් ඇතුළු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා සේම සමාජ මාධ්‍ය අවකාශ තුළ මෙන්ම ප්‍රවර්ධන වැඩසටහන් රුසක් ක්‍රියාත්මක වූයේ ඒ අනුවය.

විශේෂ පැකේජයන් සේම වට්ටම්ද ලබාදීමට සඳහා තරගකාරී බවක් සංචාරක හෝටල් අතර ගෙවුණු සතියේ නිරීක්ෂණ විය. නුවරඑළිය සහ දකුණු වෙරළ තීරයේ බොහෝ හෝටල් ඉදිරි සතියේදී දේශීය සංචාරකන්ගෙන් පිරීයනු ඇති බව හෝටල් කළමනාකරුවෙක් අප සමඟ පැවසීය. කෙසේ වෙතත් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ක්‍රමයෙන් වැඩිවෙමින් ඇති නිසා තමන් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ විදෙස් සංචාරකයන්ට බව ඔහු වැඩිදුරටත් අප සමඟ සඳහන් කළේය. එසේ වුවද යළි ඇරඹෙන සංචාරක කර්මාන්තයට දේශීය සංචාරකයන්ගේ පැමිණීම හරහා විශාල ජවයක් ලැබෙන බවත් කලක් සේවයෙන් ඉවත්ව සිටි සිය කාර්ය මණ්ඩලයට දේශීය සංචාරයකන්ගේ පැමිණීම ඉතා හොඳ අත්දැකීමක් වනු ඇති බවත් ඔහු කීය.

මේ දිනවල සියයට හතළිහේ සිට පනහා දක්වා පැකේජ දකුණු වෙරළ තීරයේ හෝටල්වල දක්නට ලැබේ. තරු පංතියේ හෝටල්වල පවා විශ්මිත මිල අඩුකිරීම් දක්නට ඇත. බෙන්තර අලුත්ගම සුන්දර මුහුදු තීරයට යාබදව පිහිටි තරු 5 හෝටලයක දෙදෙනකු Full Board Package සහ තවත් අයකුට රු.18,000ක් වැනි මුදලකට ලබා දී ඇති බව දක්නට ලැබුණි. මේ ආසන්න තවත් සංචාරක හෝටල් වෙතින් සිදුකරනු ලැබූ සොයාබැලීම්වලට අනුව දැන ගැනීමට ලැබුණේ රු.12,000 සිට පැකේජ පවතින බවයි. රට අභ්‍යන්තර වන්නට කුඩා හෝටල් සහ සංචාරක නැවතුම් පොළවල මිල ගණන් තවදුරටත් වාසි සහගත විය. ඒ අනුව දංකොටුව මහවැව අද්දර කුඩා සංචාරක නැවතුම්පොළ රුපියල් 3,375 කට Full Board Package ලබා දී ඇති අයුරු නිරීක්ෂණ කළෙමු.
මේ අතර සංචාරක කර්මාන්ත සම්බන්ධ සමාජ මාධ්‍යයේ වෙළඳ දැන්වීම් ඉකුත් මාසය පුරා ඉතා ඉහළ මට්ටමක පැවති බව පෙනී ගියේය. විශේෂයෙන්ම දේශීය සංචාරකයන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රචාරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට තිබුණි. ඊට අමතර විදෙස් සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවිය තුළ මෙරට හෝටල් සහ නියෝජිත ආයතන වෙළඳ දැන්වීම් සැලකිය යුතු ප්‍රමාණයක් පළකර තිබෙනු දැකගත හැකි විය. ඊට අමතරව සංචාරක අමාත්‍ය සහ සංචාරක මණ්ඩලයද විවිධ ප්‍රචාරණ ව්‍යාපෘති රාජ්‍ය මැදිහත්වීම මත ක්‍රියාවට නංවා තිබුණි. සමස්තයක් ලෙස මේ සමයේ සංචාරක කර්මාන්තයේ නැවත පිබිදීමක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව කිව හැකිය.

විදේශ සංචාරකයන් සඳහා යම් සීමාමායිම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි. සංචාරක කර්මාන්ත සඳහා වන කොවිඩ් මාර්ග උපදේශනයද තවදුරටත් ක්‍රියාත්මකය. ඕනෑම සංචාරක හෝටලයක් සිය උපරිම ධාරිතාවයෙන් සියයට හැත්තෑ පහක් පමණක් විවෘත කළ යුතුය. මුළුමනින්ම සංචාරකයන්ගෙන් හෝටල් පිරවීමට තවමත් අවසර නැත. විදෙස් සංචාරකයන් තවදුරටත් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතුය. මෙම සීමා පවා නොතකා සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීමට ඇතැම් රටවල් උත්සාහ දරමින් සිටින බව මෙහිදී සිහිපත් කළ යුතු වේ. එම නිසාම විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී යම් තරගකාරී රටාවකට අවතීර්ණ වීමට නිතිපතා ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. මාලදිවයින, තායිලන්ත වැනි රටවල් අප රටට පැහැදිලි අභියෝගයකි.

කෙසේ නමුත් රට තුළ පවතින ආර්ථික අර්බුදයට එකම පිළියම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයයි. දේශීය සංචාරකයන් හරහා ගොඩනැගෙන ජවය භාවිතා කොට කර්මාන්තයේ පිබිදීමක් ඇතිකර ගැනීම අතිශය වැදගත් වන්නේ එබැවිනි. මෙරට සංචාරක කර්මාන්තයෙන් සෘජු සහ වක්‍ර ආදායම් ලබන ජනතාව මිලියන තුනක් පමණ බව තොරතුරු වාර්තා හෙළිදරව් කරයි. ඒ අනුව මේ මොහොතේ ආදායම් අහිමි වී ඇති රටේ ආදායම් අහිමි වී ඇති සියයට දහයක පමණ ජනතාවට මේ ගෙවී යන්නේ බලාපොරොත්තු සහගත සමයකි.

මේ පෙළගැස්ම හොඳ තත්ත්වයක්

ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත

දැන් ලංකාවට සංචාරකයන් පැමිණීම වර්ධනය වෙමින් පවතිනවා. එය අපි බොහොම සතුටුදායක තත්ත්වයක් විදිහට තමයි අපි සලකන්නේ. මේ සමයේ දේශීය සංචාරකයනුත් නිවාඩු ගත කරන්න වෙරළ තීරයන්ට, සිද්ධස්ථාන ඇති ප්‍රදේශයන්ට, වනගත ප්‍රදේශවලට යනවා. එයත් මේ කර්මාන්තයට ඉතා හොඳ තත්ත්වයක්. සෑම සංචාරක හෝටලයක්ම පාහේ දේශීය සංචාරකයන්ට විශාල වට්ටම් ලබා දෙනවා.

අපි කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශ සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුව. කිසිම හෝටලයකට තම ධාරිතාවයෙන් 75%කට වඩා අලෙවි කරන්න බෑ. ඒ කියන්නේ කාමර සියයක් තියෙන හෝටලයකට විකුණන්න පුළුවන් කාමර 75ක් විතරයි. මේ වගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක් අපිට තියෙනවා. ඒවාට අනුව තමයි සියලුම දෙනා කටයුතු කරන්නේ.

අපි වැඩිපුර උත්සාහ කරන්නේ විදේශීය සංචාරකයන් ලංකාවට ගෙන්වා ගන්න. රටේ ආර්ථිකය ගොඩනගන්නත් එය ඉතා වැදගත්. තවදුරටත් විදෙස් සංචාරකයන් ලංකාවට පැමිණීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. පූර්ණ එන්නත්කරණයට ලක්වෙලා තිබුණත් පී.සී.ආර්. පරීක්ෂණවලට මුහුණදෙන්න ඕනෑ. ඇතැම් රටවල් මේ දේවල් අනුගමනය කරන්නේ නෑ මේ වෙනකොට. එහෙම පසුබිමක වුණත් සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අපි සැලකිය යුතු විදෙස් සංචාරකයන් ප්‍රමාණයක් රට තුළට ආකර්ෂණය කරගෙන තිබෙනවා. එය සියලුදෙනාම සතුටු වියයුතු තත්ත්වයක්.

 චමිඳු නිසල් ද සිල්වා