2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

මාස තුනේ බිළිඳිය විකුණා කුඩු ගැසූ ජෝඩුව

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 23

දරු පැටවුන් පස්දෙනකු කැලයක අතරමං කර අනියම් සැමියකු සමඟ පලාගිය මවක ගැන වාර්තා වූයේ දෙසතියකට කලිනි. ඒ සිදුවීම යට වූ අඳුරු කතාව නම් දරුවන්ගේ පියා මතට ඇබ්බැහි වූ බේබද්දකු වීම නිසා බිරිය සැමියා හැර යාමය. මාස තුනක් වයසැති බිළිඳියක ලක්ෂ ගණනකට විකුණා ඒ මුදල්වලින් හෙරොයින් පානය කළ පියකු ගැනද වාර්තා විය. ඒ පසුපස අඳුරු කතාව වන්නේ පියා කුඩු පානයට ඇබ්බැහි වීමත් මව ඊට රුකුල් දීමත්ය. මේ සිද්ධීන් දෙකම කුරුණෑගල හා ඊට නුදුරු වාරියපොල ආශ්‍රිතව සිදුවීම විශේෂයකි.

මාස තුනක් වයසැති බිළිඳියක රුපියල් ලක්ෂ හතකට විකුණා එම මුදල්වලින් මත්කුඩු පානය කරමින් සිටි අඹුසැමි යුවළක් පිළිබඳ ප්‍රවෘත්තියක් පළ කර තිබුණේ ජාතික පුවත්පතකය. අදාළ ප්‍රවෘත්තියට පාදක වී තිබුණේ කුරුණෑගල නගරය ආශ්‍රිත ප්‍රදේශයකි. එම හෙළිදරව්ව අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලීසිය වෙත බරපතළ වගකීමක් බැර වී තිබිණ. ඒ අනුව කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක් කඩිනමින් සිදු කරන ලෙසට කුරුණෑගල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව එම කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විමර්ශනය කොට තිබුණි. එහි හෙළි කර තිබූ තොරතුරු ආශ්‍රිතව විමර්ශනයේදී සැකකාර යුවළක් හඳුනා ගැනීමට පොලීසිය සමත් විය. මේ ආකාරයට සැකකාර යුවළ හඳුනාගෙන ඔවුන් සොයා ගිය පොලීසිය කුරුණෑගල නගරයේ පුත්තලම පාර හා කුරුණෑගල වැව අතර යම් ස්ථානයක් වෙත ගොස් තිබුණි. එසේ ගිය ස්ථානය නිවෙසක් නොව යන්තමට වහළක් ඇටවූ පැල්පතකි. අවට වූයේද වතු නිවාස හා පැල්පත් පෙළකි.

කෙසේ වෙතත් සැකකාර අඹුසැමි යුවළ එම පැල්පතේ නොසිටි අතර තොරතුරුකරුවන්ගේ සහාය මත සැකකාර කාන්තාව නැතිනම් මාස තුනක දැරියගේ මව සොයාගැනුණේ නගරයේ වීදියක ඇවිද යමින් සිටියදීය. වැහැරී ගිය කෙසඟ සිරුරකින් හා අපිළිවෙළට වූ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටි ඇය අත කාන්තා ගමන් බෑගයක්ද විය. පෙනුමින් ඇය තරමක මානසික ආතතියක පසුවන්නියක බවද දකින්නට  තිබිණි. මේ නිසා ඇය අසලට ළං වී තිබුණේ කුරුණෑගල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකි.

ඒ සමඟ තවත් නිලධාරිනියන් කිහිප දෙනකු ඈ අවටින් රැඳී සිටීමට කටයුතු කරන අතරතුර පිරිසක් ඇයව සෝදිසි කිරීමට ලක්කර තිබුණේ පැන යාමට හෝ ඉඩක් නොතබාය. ඇය සතුව තිබූ අත්බෑගය තුළ රහසිගතව අසුරා තිබූ කුඩා පාර්සලයක් විය. එහි අඩංගුව තිබුණේ හෙරොයින් බවට හඳුනා ගැනිණ. ඊට අමතර කුඩා අතදරුවකුගේ යැයි හැඟෙන හුරුබුහුටි ඇඳුමක් එහි විය. ඒ වන විටත් බරපතළ සැකයක පසුවූ පොලිස් නිලධාරිනියන් ඇතුළු පිරිස ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විමසා තිබුණි. &මගෙ දුවගේ මගේ චූටි දුවගේ.. ඇයි අහන්නේ..?* යැයි ඇය පෙරලා පොලීසියෙන් විමසුවේ ඒ හුරුබුහුටි ගවුම පිළිබඳ රහසක් සඟවාගෙන සිටින බව පොලීසියට මනාව තහවුරු කරමිනි.

මේ අතර කලබලයට පත් එම සැකකාර කාන්තාව &දුව මගේ මම කුඩු බොන්නෙ නෑ කුඩු මහත්තයාගේ..* යැයිද කියා තිබුණි. කාන්තාව එවැනි ප්‍රකාශ කරන අතරතුර ඇය අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමට එම නිලධාරීහු සමත් වූහ. ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇයගේ සැමියා පිළිබඳව කරුණු කියා ඇත. සැකකාර කාන්තාව කුරුණෑගල නගරය මැද පිහිටි වතු නිවාස පෙළක උපන් තැනැත්තියකි. මව පියා හෝ ඥාතීන් පිළිබඳවද ඇයට එතරම් උනන්දුවක් නැත. ඇය හැදී වැඩුණු පරිසරයේ දන්නා කියන කාන්තා පිරිමි හැමෝම කුරුණෑගල නගරයේ සුළු ව්‍යාපාර, කම්කරු හා නාටාමිවරුන් නැතිනම් කුමක් හෝ අයුතු මාර්ගයකින් ආදායමක් ලැබුවෝ වෙති. ඒ අතරතුර කුඩු ගංජා හොර අරක්කු ජාවාරම්කරුවෝ ද කොතෙකුත් වෙති. ඇයගේ වැඩිමහල් සහෝදරිය කලකට ඉහතදී විවාහපත් වනවිට ඇය පාසල් වයසේ පසුවූවාය. එහෙත් ඇයට හෝ හිතවත් සම වයසේ අයට මෙන් ඇයට පාසල් ගමනක් තිබුණේ නැත. අක්කා විවාහ වූවා යැයි කියා පුරුෂයකු සමඟ ගියද විවාහ සහතිකයක් හෝ නීතියෙන් වගකීමක් ද නොතිබිණි. එහෙව් පිරිසක් සමඟ උන් පැල්පත් පෙළේ කාටවත් උප්පැන්නයක් හෝ ජාතික හැඳුනුම්පතක් තිබී නැත. ඒ තත්ත්වය මේ දක්වා ද එසේමය.

එදා ඇගේ වැඩිමහල් සොයුරිය දීග ගිය සැමියා මත්කුඩු පානයට ඇබ්බැහි වූවෙකි. එම දීගයෙන් වැඩි කලක් යන්නට මත්තෙන් එම පුරුෂයා හෙරොයින් සමඟ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත විය. මේ අතරතුර එම සැමියා අමතක කර දැමූ බිරිය වෙනත් පුරුෂයකු සමඟ පලා ගොස් ඇතැයි පැවසේ. කලකට පසුව හිරෙන් නිදහස්ව පැමිණි සැමියාට අඹුවක නොවීය. එදා පටන් ඔහු බිරියගේ නැගණිය අඹුකමට ගත්තේ ඇයගේද අකැමැත්තකින් තොරවය. එම සිදුවීම මීට වසර අට නමයකට එපිට එකකි.

පසු කලෙක මේ දෙදෙනාට දාව උපන් දියණියන් දෙදෙනෙකි. ඔවුහු මේ වනවිට අවුරුදු පහ හා හත වයසේ පසුවෙති. වතු නිවාස අතර වූ පැල්පතක උන් අඹුසැමියන්ට ස්ථිර ආදායමක් නොවීය. විටෙක අම්මා සමඟ ද තවත් විටෙක තාත්තා සමඟ ද කුරුණෑගල නගරයේ සිඟමන් යදිමින් කල්ගෙවූ දරුවන්ට හරි හමන් අධ්‍යාපනයක් හෝ ආහාරපානද නොවීය. සිඟමන් ගන්නා මුදලින් දරුවන්ගේ පියා සිදු කර තිබුණේ හෙරොයින් පානය කිරීම පමණි. අහිංසක දරුවන් දෙදෙනකු සිඟමනේ යොදවන බවට ලද තොරතුරු අනුව පොලීසිය හා පරිවාස නිලධාරීන් මැදිහත්ව දැරියන් දෙන්නා ළමා නිවාසයක් වෙත බාර කර තිබුණේ වසරකට පමණ ඉහතදීය.

මේ අතර කාලයේ දරුවන් යොදවා සිඟමන් යෙදීමට නොවූයෙන් සැමියා පසුවූයේ කලකිරීමකය. වැඩිකල් යන්නට මත්තෙන් බිරිය ගැබිනියක් බවට පත්වූ අතර ඒ රුව පෙන්වා සිඟමන් යැදීම තවත් අවස්ථාවකි. එම ගැබිණි මව හා ඇගේ සැමියා එක්ව කුරුණෑගල නගරයේ සිඟමන් ඉල්ලීම පසුගිය සමයේ සුලබ දසුනක්ව තිබිණ. කල් ගතවෙත්ම එම ගැබිණිය දැරියක ප්‍රසූත කොට තිබුණේ සැප්තැම්බර් මාසය අවසානයේදීය. එතැන් සිට වැඩි දිනක් යන්නට මත්තෙන් ඇය දැරිය රුගෙන කුරුණෑගල නගර මධ්‍යයේ සිට යළිත් සිඟමන් යැද්දාය. උපයා ගන්නා ආදායම සුපුරුදු ලෙසම ඇය සැමියාගේ මත්කුඩු ඇබ්බැහියට යෙදවූවාය. කිරිදරුවා පෙන්වා අව්වට වැස්සට සිඟමන් ඉල්ලුවා මිස දැරියගේ පෝෂණය හෝ ශරීර සෞඛ්‍ය පිළිබඳ තකා නැත. ඒ නිසාම දැරිය නහර පේන තරමට ඇය කෙට්ටු වී මන්දපෝෂණ තත්ත්වයක පසුවූවාය. එසේම දැරියගේ සම ආසාදනයට ලක්ව චර්ම රෝගී ලක්ෂණද මතුව තිබුණු බව දැරිය දුටුවෝ ප්‍රකාශ කළහ.

මෙවැනි තත්ත්වයක් තුළ හිටිහැටියේ බිළිඳිය ඉදිරියට තබා සිඟමන් යැදි කාන්තාව පසුවූයේ තනිවමය. ඇයගේ දැරිය ආ ගිය අතක් නොවූ නමුත් ඒ පිළිබඳ සෙවීමට කෙනකු ඉදිරිපත් වූයේද නැත. මේ අතරතුර පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් හෙළිකර තිබුණේ බිළිඳියක මුදලට අලෙවි කර අඹුසැමි යුවළක් මත්කුඩු පානය කරන බවය.

මේ ප්‍රවෘත්තිය අනුව විමර්ශන සිදුකිරීමේදී දරුවන් නොමැති අඹුසැමි යුවළක් පිට පළාතක සිට ඇති බව හඳුනාගෙන ඇත. එම තරුණ යුවළට අවස්ථා කිහිපයකදී දරුවන් ලැබීමට සිට ඇතත් අවාසනාවකට එය ගිලිහී තිබුණි. එබැවින් වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ නැවත දරුවන් වෙනුවෙන් උත්සාහ නොගන්නා ලෙසය. එසේ සිටියදී යහමින් අතමිට ඇති ඔවුන්ට කුරුණෑගල නගරයේ සිටින බිළිඳියක පිළිබඳ තොරතුරු ලැබී ඇත. එම යුවළ මනා සද්භාවයකින් එම බිළිඳිය හදාවඩා ගැනීමට කැමැති වී ඇත්තේ නීත්‍යානුකූලව කුලවද්දා ගැනීමේ නීති ප්‍රකාරව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවය. ඒ සඳහා කුරුණෑගල දිසා අධිකරණයේ අවශ්‍ය කටයුතු සිදුවෙමින් පැවති බවද අනාවරණය වී ඇත. ඒ වන තෙක් බිළිඳිය හදාවඩා ගන්නා පාර්ශ්වය වෙත බාර කර ඇති අතර දැරිය මනාව පෝෂණය කර රුක බලාගෙන තිබෙන අයුරුද පෙනී ඇත. වැදූ මවට පියාට වඩා එවැනි හදාගන්නා මාපිය යුවළක් දැරියට හිමිවීම ඇගේ වාසනාවක් වැනිය.

කෙසේ වෙතත් දැරිය ලබාදීමේදී යම් පාර්ශ්වයක් හරහා ජාවාරමක් සිදුව ඇතිදැයි සෙවීමට හා සැකකාර අඹුසැමි යුවළ සතුව බැංකු ගිණුම් ඇතිදැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මකය. ඒ අනුව ලබාගත් මුදලින් හෙරොයින් පානය කළ බව කියන කතාව ගැනද සෙවීමට විමර්ශන සිදු කෙරේ. ඒ වන තෙක් සැකකාර අඹුසැමි යුවළ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටී. එමෙන්ම බිළිඳිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබාගැනීමට පොලීසිය කටයුතු කර ඇත. මේ වන තෙක් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අනාරක්ෂිතව සිටි බිළිඳියක ආරක්ෂිතව දරුකමට හදාගැනීම සඳහා රහසිගතව නමුත් නීත්‍යානුකූල ආකාරයට දරුවකුට හිතැති මව හා පියකු කාරුණික ලෙස කටයුතු කර ඇති බවය. මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05