2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 58

පාර්ලිමේන්තු වාරාවසාන තීන්දුව: ලසසප කෙඳිරි ගායි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකත්වය දෙන ආණ්ඩු පක්ෂ සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ රජය තීන්දුවක් ගැනීමේදී සාකච්ඡා නොකිරීමත් ඔවුන්ගේ අදහස් ලබා නොගැනීමත් වැඩි දෙනකු නොදන්නා කරුණකි.

මේ බොහොමයක් පක්ෂවලට රජයේ ඇතැම් තීන්දු දැනගැනීමට ලැබෙන්නේ හදිසියෙනි. ඒ එක්කෝ මාධ්‍ය හරහාය. නැතහොත් වෙනත් අයකු සමඟ සිදු කරන කතාබහකිනි. එහි අලුත්ම තීන්දුව පාර්ලිමේන්තුවේ වාරාවසානයයි.
ජනාධිපතිවරයා විසින් දෙසැම්බර් 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ජනවාරි 18 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ සැසිවාරය අත්හිටුවනු ලැබීය. කලින් සඳහන්ව තිබුණේ ජනවාරි 11 වැනිදා පාර්ලිමේන්තුව ආරම්භ වනු ඇති බවය. එම දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටුව මගින් නියම කර තිබිණි.

ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පවා මේ තීන්දුව පිළිබඳව නොදැන සිටි අතර ඔවුන් මේ බව දැනගෙන තිබුණේ වෙනත් ආරංචි මාර්ග ඔස්සේය. හවුල්කාර පක්ෂයක පෙරමුණේ සිටින එක් සාමාජිකයකු ප්‍රකාශ කර තිබුණේ කැබිනට් කටයුතු ක්‍රියාත්මක වන්නේ මේ මට්ටමින් නම් වරින්වර ආණ්ඩුව සමඟ ගැටුම් ඇතිකරගන්නා හවුල්කාර පක්ෂ මහජනතාව හමුවට ගොස් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට කාලය පැමිණ ඇති බවය.
තලවකැලේදී පසුගියදා පැවැති රුස්වීමකදී ලංකා සමසමාජ පක්ෂ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා හවුල්කාර පක්ෂවල අදහස් විමසීමකින් තොරව තීරණ ගැනීම සම්බන්ධයෙන් විවෘතව තම අදහස් දැක්වීය. මෙවැනි ඒකපාර්ශ්වික තීන්දුවල අඩුපාඩුකම් පෙන්වා දීමට අවස්ථාවක් නොලැබීම එහි ප්‍රතිඵලය බව ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය පිළිබඳ සිහිපත් කළ එවකට කැබිනට් ඇමැතිවරයකු වූ මහාචාර්ය තිස්ස විතාරණ පෙන්වා දුන්නේ සියලු වැදගත් කරුණු ගැන සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ මහින්ද මහතා සවිස්තරව සාකච්ඡා කළ බවය. මේ දවස්වල ඒ වගේ සාකච්ඡා කෙරෙන්නේ නෑ* යැයිද ඔහු සඳහන් කළේය.

 සන්ඩේ ටයිම්ස්

අපනයනයෙන් ශ්‍රී ලංකාව වාර්තා තියයි

ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අඳුරු වලාවේ එකම රිදී රේඛාව බවට පත්වෙමින් අපනයනය වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් තිබේ. එය රට මුහුණදෙන දරුණු විදේශ විනිමය අර්බුදය යම්තාක් දුරකට මගහරවා ගැනීමට උදව්වකි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම දත්ත පෙන්වා දෙන්නේ පිටපිටම ඩොලර් බිලියනය ඉක්මවා අපනයන ආදායමක් ලැබූ පස්වැනි මාසය බවට නොවැම්බරය පත්වී තිබෙන බවය. ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 1.199ක ආදායමක් ලැබුණු අතර නොවැම්බරයේදී එය ඉක්මවා යමින් ඩොලර් බිලියන 1..215ක් උපයා තිබේ. ඉන් පෙර ඉපැයූ උපරිම ආදායම බිලියන 1.137ක් විය.

මෙවර නොවැම්බරයේදී ලැබූ ආදායම පසුගිය වසරේ නොවැම්බර් ලැබූ ආදායමට සාපේක්ෂව 55%ක වැඩිවීමකි. ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කෙරුණු දත්ත අනුව එම වැඩිවීම පෙන්නුම් කර තිබිණි. මේ වසරේ පළමු මාස 09 තුළදී ලැබූ අපනයන ආදායම ඩොලර් බිලියන 11.14කි. එය කලින් වසරට වඩා 22.4%ක ඉහළ යාමකි.

අපනයන ආදායම මෙසේ වැඩිවීමට හේතුව කොවිඩ් වසංගතය කාර්යක්ෂම ලෙස වැළැක්වීම සහ පාලනය කිරීම පමණක් නොව අපනයන ප්‍රජාවේ කැපවීම බවද අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

ඇඟලුම් සහ රෙදි අපනයනය පසුගිය වසරට වඩා 52.8%කින් ඉහළ ගොස් තිබෙන අතර රබර් සහ රබර් නිමි නිපැයුම් 46.9%කින් වර්ධනය වී තිබේ. මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා යුරෝපා සංගමයේ රටවලට සමස්ත අපනයනයෙන් 24%ක් යවා තිබෙන අතර එයින් ලද ආදායම ඩොලර් මිලියන 2680.78කි.

 ඩේලි එෆ්.ටී

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.9ක්?

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඩොලර් බිලියන 1.9ක ආර්ථික පැකේජයක් ලබාදීමට ඉන්දියාව කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ කරුණු දැන සිටින පිරිස් ප්‍රකාශ කරන්නේ එරට විදේශ සංචිතය ගොඩනැංවීමේ බරපතළ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවය. ඔවුන්ගේ විදේශ සංචිතය ප්‍රමාණවත් වන්නේ මාසයකට පමණක් බවද සඳහන්ය.

මේ ආර්ථික පැකේජයට අනුව ආහාර සහ ඖෂධ ගෙන්වා ගැනීමට කොටස් දෙකකින් ඩොලර් බිලියන 01ක් ලබාදීමට නියමිතය. එය ලබන මාසයේදී ලබාදීමට සලකා බලා ඇති අතර ඉන්ධන ඉන්දියාවෙන් ආනයනය කිරීමට ඩොලර් මිලියන 500ක් ලබා දීමටද සාකච්ඡා වී තිබේ. මේ කරුණු අනාවරණය කළ පුද්ගලයන් සඳහන් කළේ මේ සාකච්ඡා පෞද්ගලික මට්ටමින් සිදුවන ඒවා බැවින් තමන්ගේ නම් සඳහන් නොකරන ලෙසටය.

මේ අතර ඉන්දියාවේ &රිසර්ව්* බැංකුව ඩොලර් මිලියන 400ක ඩොලර් නෝට්ටු හුවමාරුවකටද සාකච්ඡා කරමින් සිටී. එම මුදල ශ්‍රී ලංකාවේ සංචිතය ගොඩනැංවීම සඳහා කාලය ලබාගැනීමට උදව් වනු ඇත.

මේ මාසය මුලදී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ විදේශ ඇමැති එස්. ජයශංකර් හමුවී සාකච්ඡා පැවැත්වීය.

 බ්ලූම්බර්ග්