මානවයාගේ උපත සහ විපත අතර සිය අහිමතය පරිදි ගනු ලබන වැදගත්ම සහ තීරණාත්මක තීන්දුව විවාහය පිළිබඳ තීන්දුවයි. එහෙත් ඊට සමාජ අනුරූපීව විවිධ සංස්කෘති සීමා මායිම් තිබේ. නූතන ලෝකය ඊට නෛතික අගයන් ද එක්කර ඇත. කෙසේ නමුත් එම සංස්කෘතිමය නීතිමය මැදිහත්වීම හරහා සිය සහකරුවා සහකාරිය සොයා ගැනීමට ඇති නිදහස සිමා කිරීම යුක්ති යුක්ත නොවේ.
පසුගියදා ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකිකයන්ගේ විවාහ වීම පිළිබඳ නව රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කළේය. එම නව රෙගුලාසි සහ ඒ හා සම්බන්ධ සමාජ බලපෑම ගැන අපි සාකච්ඡා කීරීමට සැරසෙමු.
පසුගිය ඔක්තෝබර් 18 වැනිදා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛයකට අනුව මෙම රෙගුලාසි ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වෙයි. විදේශිකයකු හා ශ්‍රී ලාංකිකයකු අතර විවාහයේ දී මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වේ. එම රෙගුලාසි බැලූ බැල්මට එතරම් බරපතළ ලෙස නොපෙනෙන බව පළමුව කිව යුතුය. එනමුත් මේ සම්බන්ධව නිර්මාණය වී ඇති සමාජ ප්‍රතික්‍රියා බරපතළය.
මෙම චක්‍රලේඛයට අනුව විදේශිකයකු හා ශ්‍රී ලාංකිකයකු අතර විවාහයේ දී, එම විදේශීය පාර්ශ්වය කිසිදු වරදකට වරදකරුවකු නොවන බව සහතික කර ගැනීම සිදුවේ. ඒ අනුව විදේශීය පාර්ශ්වය පුරවැසිභාවය ලබා සිටින රාජ්‍යයේ ආරක්ෂක බලධාරීන් වෙතින් පසුගිය මාස හයක් තුළ ලබාගත් ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් මෙරට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට විවාහයට පෙර ඉදිරිපත් කළ යුතුය. ආරක්ෂක නිෂ්කාශන වාර්තාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් එම විවාහය ලියාපදිංචි කිරීම සඳහා අවසර පත්‍රයක් නිකුත් කරනු ඇත. ඒ අනුව විවාහය සිදුවන්නේ අදාළ ක්‍රියාදාමය සම්පූර්ණ වීමත් සමඟයි. සරලව විස්තර කළ හැකි නමුත් මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.
මීට අමතරව නව චක්‍රලේඛයට අනුව "වරදකට වරදකරුවකු නොවන බවට වූ" නිෂ්කාශන සහතිකයේ මුල් පිටපත දේශීය පාර්ශ්වකරු හෝ දේශීය පාර්ශ්වකරුගේ නියෝජිතයකු මගින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ද සාමාන්‍ය රෙජිස්ට්‍රාර්වරයකු යටතේ විවාහ ලියාපදිංචිය සිදුකිරීමට ඉඩකඩ නොමැත. නව රෙගුලාසි අනුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරුන් හරහා පමණක් මෙවැනි විවාහ ලියාපදිංචි කිරීම සිදු කළ යුතු වේ. චක්‍රලේඛයට අනුව අදාළ අවසර පත්‍රයේ පිටපතක් දැනගැනීම සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම්/ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත යොමු කරනු ඇති බවද කියැවේ.
මෙම නව ක්‍රමවේදයට සැලකිය යුතු විරෝධතාවක් මේ වන විටත් එල්ල වෙමින් තිබේ. සමාජ මාධ්‍ය තුළ අදාළ තීරණය උපහාසයට ලක්කර ඇති බව ද අප හට නිරීක්ෂණය විය. එසේම සිවිල් සංවිධාන කිහිපයක් ද සිය විරෝධය ඉදිරිපත් කරමින් සිටියි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරෑ ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් මීට සිය විරෝධය පළකිරීම ද කැපීපෙනෙන සිදුවීමකි. විදේශීය පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධවීම සඳහා රටේ ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගැනීමට තරම් තම බලය උපරිම අන්දමින් යොදාගත් පාලකයන් විසින් ගෙන ඇති මෙම තීරණය කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන බව ජයසූරිය මහතා පෙන්වා දී තිබේ. ඔහුට අනුව රටේ පුරවැසියන්ට විවාහ වීමට ඇති අයිතියට සීමා පැනවීම පිළිකුල් සහගත මෙන්ම හාස්‍යජනක ක්‍රියාවකි.
කෙසේ වෙතත් නව රෙගුලාසි පැනවීමට හේතු පැහැදිලි කරන බලධාරීන් ඉස්මතු කරන්නේ වෙනත් කරුණකි. නීතිවිරෝධී ක්‍රියා සිදු කිරීම සඳහා සහකරු වීසා මත මෙරට රුඳී සිටීමට විදේශිකයන් උත්සාහ දැරීම වැඩි වී ඇති බව ඔවුහු කියා සිටිති. එහි යම් සත්‍යතාවක් ඇති බව අප කළ සොයා බැලීම් අනුව ද තහවුරු කරගත හැකිවිය. විශේෂයෙන්ම ආසියාතික මත්ද්‍රව්‍ය සහ වෙනත් ජාවාරම් සිදු කරන ජාවාරම්කරුවන් සේම කොළඹ නගරය ආශ්‍රිත ජීවත් වන විදෙස් ලිංගික ශ්‍රමිකයන් මෙම ක්‍රමය භාවිත කොට වීසා ලබාගන්නා බවට තොරතුරු ලැබේ. එහෙත් මෙම නව ක්‍රමවේදය හරහා පීඩාවට පත්ව ඇත්තේ යුරෝපය, ඔස්ට්‍රේලියාව, කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල පුරවැසියන් විවාහ කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස්ය.
රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර මේ වන විටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකොට තිබේ. ඔහු ද ප්‍රකාශ කොට ඇත්තේ විදේශීය ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචි කිරීමේදී "ජාතික ආරක්ෂාවට ඇතිවිය හැකි බලපෑම සහ උද්ගත විය හැකි සමාජයීය ගැටලු" සැලකිල්ලට ගනිමින් නව චක්‍රලේඛය නිකුත් කළ බවය. එසේම අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සාකච්ඡා කළ බවද ඔහු කියා සිටියි. එම සාකච්ඡා හරහා ඇතිකරගත් එකඟතාවකට අනුව චක්‍රලේඛය නිකුත් කළ බවද රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් විවාහ සම්බන්ධ රෙගුලාසි හරහා අපහසුතාවට ලක්වන පාර්ශ්වයන්ගේ චෝදනා සම්පූර්ණයෙන්ම බැහැර කිරීමට කිසිවකුට නොහැක. එසේම රජයේ තර්කය ද අසාධාරණ නොවේ. මෙහිදී සිදුවිය යුත්තේ ආදාළ රෙගුලාසි හරහා පුරවැසියන් අපහසුතාවට ලක්නොවන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. සියලු කටයුතු මනා සම්බන්ධීකරණයෙන් යුතුව කාර්යක්ෂමව සිදුවන්නේ නම් කිසිදු ගැටලුවක් නැත.
ලාංකිකයකු සමඟ විවාහ වීමට විදේශිකයකුට අවශ්‍ය ලියකියවිලි
වලංගු විදේශ ගමන් බලපත්‍රය (විදේශීය පාර්ශ්වය)
සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය (අවශ්‍යතාවය අනුව දික්කසාද ලියකියවිලි/ වැන්දඹු බව සනාථ කිරීමේ ලියකියවිලි)
උප්පැන්න සහතිකය (උපන් දිනය සනාථ කර ගැනීමට අවශ්‍ය වුවහොත් පමණක්)
විදේශීය පාර්ශ්වය සඳහා ආරක්ෂක නිෂ්කාශන වාර්තාව
විදේශීය පාර්ශ්වය මාස 06ක් තුළ තම රටේ ආරක්ෂක බලධාරීන්ගෙන් ලබාගත්, වරදකට වරදකරු නොවන බවට තහවුරු කළ සහතිකයේ මුල් පිටපත
විදේශීය ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා ස්වයං සෞඛ්‍ය ප්‍රකාශයක්.
විදේශිකයකු සහ ශ්‍රී ලාංකිකයකු අතර විවාහයක් සඳහා විවාහ දැන්වීම් බාරගැනීමට අවශ්‍ය ලියකියවිලි
ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවශ්‍ය වීසා සහිත වලංගු ගමන් බලපත්‍රය සහ ඡායා පිටපතක්
විවාහක/ අවිවාහක තත්ත්වය සනාථ කිරීමේ සහතිකයේ මුල්පිටපත
රෙජිස්ට්‍රාර් ජනරාල් නිකුත් කරන අවසර පත්‍රයේ මුල්පිටපත
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ස්වයං ප්‍රකාශය
උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්
► චමිඳු නිසල් ද සිල්වා