2022 ජනවාරි 01 වන සෙනසුරාදා

2021 නිමා නොවූ කොවිඩ් හටන!

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 108

2021 ගෙවී ගියේ කොවිඩ් සම්බන්ධ අමිහිරි මතක මැදය. මෙතෙක් කලක් පිටරටවල සිදුවන කොවිඩ් ඛෙදවාචක දෙස බලා “අනේ, අපොයි!” කී අපේ ජනතාවට තමන්ගේ නිවසේම නැතිනම් අසල්වැසි නිවසේ කොවිඩ් නිසා සිදුවූ අකරතැබ්බ ගැන විස්සෝප වන්නට සිදුවිය. රට නොසිතූ කාලයක් වසා තබන්නට සිදුවූ අතර ආසාදිතයන් රටපුරාම වාර්තා වන්නට වැඩි දිනයක් ගත නොවීය. කොවිඩ් නිසා සිදුවන ජීවිත හානි දිනෙන් දින ඉහළ ගියේය. ආර්ථිකය ඇද වැටිණි. සමහරුන්ට රැකියාද අහිමිව ගියේය.

2020 ජනවාරි 27 මේ රටේ පළමු කොවිඩ් ආසාදිතයා ලෙස වාර්තා වූයේ ලියු යැං නමැති සංචාරක චීන ජාතික කාන්තාවකි. ඒ සිද්ධියට හරියටම වසරක් සපිරුණ දිනයේ මෙරට ආසාදිතයන් ගණන 60,000+ ආසන්න (59,922+) විය. මරණ සංඛ්‍යාව 300+ට ආසන්න (290 +) වෙමින් තිබුණි. ඒ වනවිට ලංකාවට මුල්ම කොවිඩ් එන්නත් තොගය ලැබෙන්නටද මූලික කටයුතු සම්පාදනය වී තිබුණි. මේ අව්අස්සේ නරක ආරංචියද ආවේය. ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අලුත්ම කොවිඩ් - 19 වෛරස මාදිලි 2ක් වාර්තා වූ බවටය. 2021 කොවිඩ් ප්‍රහාරය සහ එයට එරෙහි සෞඛ්‍ය අංශ සටන ඇරඹුණේ මෙතැන් සිටය. සුනාමියෙන් වූ විපතටත් වඩා මහ විපතකට රට ඇදවැටීමට ගියේ 2021 වසරේ සුළු කාලයකි. සියල්ල කනපිට හැරුණේ අවුරුදු උත්සව සමය ගතවූ පසුවය‍.

කොවිඩ් වසංගතයේ පළමු රැල්ල පාලනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුවද, වසංගතයේ දෙවැනි සහ තුන්වැනි නැගීම් පාලනය කිරීමට රජය අසමත් වීම නිසා 2020 නොවැම්බර් මාසයේ සිට COVID-19 මරණවල හදිසි වැඩිවීමක් ඇති විය. එතැන් සිට රට තුළ සෞඛ්‍ය සීමා ක්‍රියාත්මක වන්නට විය. නමුත් අමුතු තීන්දුවක් අනුව 2021 අප්‍රේල් මාසයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය සීමාවන් ලිහිල් කිරීමෙන් පසු COVID-19 රෝගීන්ගේ හදිසි වැඩිවීමක් ඇති විය.

වසංගතය නොතකා අවුරුදු කෙළි - කෙළ ආ අපේ ඇත්තන්ට සිදුව තිබුණේ කුම්බලා මාළු කෑ බළලාට වූ සැන්තෑසියමය. ගිය වසරේ අතපසු වූ අවුරුදු බාල්වලටත් හරියන්නට කෝච්චි - බස්වල පොදි කකා ගම් පළාත්වලට ගොස් නැටුම් නටා කොළඹට සේන්දූ වූ පිරිසට සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් කලින් අනතුරු ඇඟවූ නරකම ආරංචිය නොසිතූ විරූ විලසකින් අසන්නට ලැබී තිබේ.

ඒ රට තුළ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බවටය. දැඩි සත්කාර ඒකක දැරිය නොහැකි මට්ටමට පිරී යන බවටය. තරුණ අයට කොවිඩ් වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් මතුවී ඒම ගැනය. කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය 4 ගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවටය. ඒ නිසාම මැයි බජව් පස්සට දමා පෙළපාළි තහනම් කිරිමට සිදුවන බවටය. කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමුනොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළදී වාර්තා වී ඇති බවටය. මෙකී නොකී කරුණු කාරණා හමුවේ අවසානයේ සෞඛ්‍ය බලධාරීන්හට කොවිඩ් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කරන්නට පවා සිදුවිය. දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කෙරුණේද මේ සතියේදීමය.

අපේ රටේ පමණක් නොවේ මේ වනවිට ලෝකයෙන්ම කොවිඩ් සම්බන්ධයෙන් එන ආරංචි අසුබ අතට හැරී තිබුණි. ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 03 ඉක්මවා ගියේ අවුරුදු සතියේදීමය. ඉන්දියාවෙන් ඊට පෙර වසරේ දෙසැම්බර් මාසයේදී පළමුවරට හඳුනාගත් ඩෙල්ටා වෛරස් ප්‍රභේදය මේ වනවිට ලංකාවද ඇතුළුව ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගියේය.

ලංකාවේ  දෙමටගොඩ  ප්‍රදේශයෙන්  මෙම ප්‍රභේදය වැළඳුණු පුද්ගලයන් 5දෙනෙක් මෙරට සමාජයෙන් මුල්වරට හමුවූ බවට ආන්දෝලනාත්මක ජාන විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් වීමත් සමග රට නැවත විවෘත කරන දිනය කල්දැමීම ගැන සෞඛ්‍ය අංශ තුළ ප්‍රබල සංවාදයක් මතුවූයේය.

එය ලෝකයේ ප්‍රමුඛම කොවිඩ් වෛරස් මාදිලිය බවට ඉතා ඉක්මණින්ම පරිවර්තනය විය. 2021 ජනවාරි 22 දින, ශ්‍රී ලංකාවේ ජාතික වෛද්‍ය නියාමන අධිකාරිය විසින් Oxford-Astra-Zeneca එන්නත මෙරට භාවිතයට අනුමත කළ බව නිවේදනය කළේය. එතැන් සිට ඇරැඹි එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන නොනිසි සුබවාදී හැඟීමකින් කටයුතු කරන්නට වීම නිසා ඩෙල්ටා ඇතුළු භයානක මාදිලි මේ රට තුළද හිස ඔසවා එන බවට අනතුරු සීනුව වෛද්‍ය අංශ වෙතින් හැඬවිණි.

මේ වසරේ ජනවාරි මස මුලසිටම රට තුළ භයානක විදේශ මාදිලි දක්නට ලැබෙන බවට වෛරස ජාන අනුපිළිවෙළ හඳුනාගැනීමේ ජාන අනුක්‍රමිකතා හෙවත් Genetic sequencing -  පරීක්ෂාව සිදුකළ හැකි අපේ රටේ එකම සහ හොඳම විද්‍යා පර්යේෂණාගාරය අයත්වන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබුණි. දැන් මේ දරුණු මාදිලි 06ක්ම රට තුළින් හමුව ඇති බවට තැති ගැනෙන සුළු නරක ආරංචියද රට කළඹමින් ඉදිරිපත් විය.

ඒ අතර දෙහිවල සත්වෝද්‍යානයේ 2012 වසරේ සිට ජීවත් වූ Thor නම් සිංහයා COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව 2021 ජූනි මාසයේදී වාර්තා විය. 2021 ජූලි 8 වැනි විට, වාර්තා වූ මුළු COVID-19 රෝගීන් සංඛ්‍යාව 268,000 ඉක්මවා ගිය ඇති අතර, මරණ සංඛ්‍යාව 3,300 ඉක්මවා තිබුණි.

2021 අගෝස්තු මාසයේ සිට රටෙහි සැලකිය යුතු ලෙස ඉහළ ගිය කොවිඩ් මරණ අනුපාතය සඳහා අතිශයින් බෝවන ඩෙල්ටා ප්‍රභේදය වගකිව යුතුවිය. 2021 අගෝස්තු, ශ්‍රී ලංකාව, ජෝර්ජියාව, ටියුනීසියාව සහ මැලේසියාවට මඳක් පිටුපසින් ජනගහනය අනුව ලොව සිව්වැනි විශාලතම දෛනික මරණ සංඛ්‍යාව ඇති රට බවට පත්විය.

අගුලු දැමීමක් ක්‍රියාත්මක කිරීමේදී රජයේ පැත්තෙන් සිදුවූ නොසැලකිලිමත්කම, මෙන්ම සාමාන්‍ය ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම් සහ විශේෂයෙන් මෙදිනවල පණගැහී පැමිණි ගුරුවරුන්ගේ විරෝධතා යන සියල්ලම රට තුළ වාර්තාගත COVID-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමට දායක වී තිබුණි.

අන්තිමේ 2021 අගෝස්තු 20 දින, COVID-19 රෝගීන් පැතිරීම මැඩපැවැත්වීම සඳහා රජය දිවයින පුරා දින දහයක අගුලු දැමීමක් පනවන ලදී. දින අටක් තුළ ශ්‍රී ලංකාව මරණ 1,000 ඉක්මවා යාමෙන් පසු සම්පූර්ණ අගුලු දැමීමක් ඉල්ලා සිටි සෞඛ්‍ය බලධාරීන් සහ දේශපාලන පක්ෂවල දැවැන්ත පීඩනයෙන් පසුව රට මුළුවණින්ම අගුලු දැමීමට තීරණය විය. රට තුළ සිටින COVID-19 රෝගීන් නිලධාරීන් විසින් අඩුවෙන් වාර්තා කර ඇති බවට විශ්වාස කෙරෙන තොරතුරු එළියට ආ අතර COVID-19 වසංගතය සම්බන්ධයෙන් ලැබෙන  තොරතුරු හැසිරවීම පිළිබඳ චෝදනාද මතුවිය. සෞඛ්‍ය අංශයේ ලොකු පුටු පෙරැළියකටද මෙයින් මංපෑදිණි. 

ආර්ථිකය නරක අතට හැරෙන තත්ත්වය හේතුවෙන් රජය විසින් රට අගුලු දැමීම ප්‍රතික්ෂේප කළ විට සමහර ව්‍යාපාර අගෝස්තු මස මුල් භාගයේදී දින 10 සිට 14 දක්වා කාලයක් සඳහා ස්වේච්ඡාවෙන් අගුලු දමන්නට ක්‍රියා කළහ. මේ නිසා පසුව රජය රට අගුලු දැමීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකා මහ බැංකුව 2021 අගෝස්තු මාසයේදී පොලී අනුපාත ඉහළ දැමූ අතර, වසංගත යුගය තුළ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කළ ආසියාවේ පළමු ජාතිය බවට ශ්‍රී ලංකාව පත් විය. අගෝස්තු 27 වැනි දින, වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට දෛනික මරණ සංඛ්‍යාව 200 ඉක්මවූ බැවින් රජය විසින් අගුලු දැමීම 2021 සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කරන ලදී.

2021 අවසන් කාලය වනවිටද රට තුළ කොවිඩ් පැතිරීම පාලනයක් සහිතව වුවද ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොස් තිබුණි. ඔක්තෝබර් 09 වැනිදායින් අවසන් වූ සති දෙකක කාලය තුළ පමණක් කොවිඩ් රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. ඔක්තෝබර් 29 සිට සැප්තෑම්බර් 09 දක්වා දින 14 තුළ මෙසේ අලුතෙන් එක්ව ඇති රෝගීන් +9,452ත් සමඟ එදින වනවිට රටේ සමස්ත රෝගීන් ගණන 546,653ක් දක්වා ඉහළ ගොසිනි. ඒ  අතර ඔක්තෝබර් 05 වැනිදායින් ඇරඹුණු සතිඅන්තය තුළදි දිනකට 700 ඉක්මවා රෝගීන් වාර්තාවීම නැවත ඇරඹී තිබුණි. මේ අනුව කොවිඩ් රොගය නැවත හිස ඔසොවා ඒ මේ භයානක ප්‍රවණතාවයක ලකුණු පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධණ කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව අණතුරු අඟවා තිබුණි.

දෙසැම්බර් උත්සව සමය ආසන්න වනවිට මේ රට තුළින් ඔමික්‍රෝන් විශේෂය ආසාදිත කතක් හමුව තිබූ අතර රට පුරා ඔමික්‍රෝන් හඳුනාගැනීමට පර්ෙය්ෂණ අරඹා තිබුණි. ඒ වනවිට මෙරට  සමස්ත දෛනික ආසාදිතයින් ගණනේ සාමාන්‍යය 838ට ආසන්නය.  සමස්ත ආසාදිතයින් ගණන 560,000ද පන්නා ඉහළ ගොස් තිබුණි. ඒ පමණක් නොව මෙවර පාසල් දරුවන් අතරින්ද රෝගීන් වැඩි වැඩියෙන් වාර්තා විය. මේ වනවිට ජනගහනයෙන් සියයට 62.5කට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්ව සිටියහ. එය සංඛ්‍යාත්මක වශයෙන් 13,707,520+කි. ඒ අන්දමට එන්නත් සෑහෙන පිරිසකට ලබාදී තිබූ පසුබිමක ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වැඩිවීමක් ප‍්‍රමාණය වැඩි වී තිබෙන්නේ ඇයිද යන්න  වසංගත රෝග විද්‍යා අංශය විශ්ලේෂණ අරඹා තිබුණි. වසර අග උත්සව සමයේ දැඩි ලෙස පාලනයකින් යුතුව කටයුතු කරන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමට කටයුතු කළහ. ඒ ඉල්ලීමේ සැබෑ ප්‍රතිඵලය අපට දකින්නට හැකිවනු ඇත්තේ 2022 ආරම්භක සති කිහිපය තුළදීය.
වසංගත සමය තුළ නොයෙකුත් නවොත්පාදන කිහිපයක්ම රට තුළ බිහිවීමද සිදුවිය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්ෙය්ෂණ හා සංවර්ධන ඒකකය විසින් Medi Mate නම් දුරස්ථ පාලක ස්මාර්ට් උපකරණයක් නිපදවන ලද්දේ සෞඛ්‍ය සේවකයින්ට පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමේදී රෝගීන්ගෙන් දුරස්ථව සිටීමට ඉඩ සැලසීම සඳහාය. එය රෝද සහිත සහ දුරස්ථ පාලකයක් වන අතර එමඟින් සේවකයින්ට රෝගීන් සමඟ සන්නිවේදනය කිරීමට, ඖෂධ සහ ආහාර ප්‍රවාහනය කිරීමට සහ ස්වයංක්‍රීය තුණ්ඩයක් හරහා විෂබීජ නාශක ඉසීමට ඉඩ සලසන්නක් විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන ඒකකය විසින් කළුබෝවිල ශික්ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සහ විශ්වවිද්‍යාල රෝහලේ KDU හි තැන්පත් කරන ලද විෂබීජ නාශක කුටියක් සහ අමතර විශේෂාංග සහිත ඒකකයක්ද සංවර්ධනය කරන ලදී. C වේගා සමාගම, ඒකකයකට US$650ට අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි අඩු වියදම් Volume Controlled – Continuous Mandatory Ventilation (VC-CMV) වෛද්‍ය වාතාශ්‍ර උපකරණ නිර්මාණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.

Hemas සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Atlas Axillia PLC විසින් ස්වයංක්‍රීය මාර්ගෝපදේශක වාහන (AGV) රොබෝ යන්ත්‍රය නිපදවූ අතර එය ආහාර සහ ඖෂධ රැගෙන යාමටත්, උෂ්ණත්වය පරීක්ෂා කිරීම වැනි මූලික වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමටත්, දුරස්ථව රෝගීන් නිරීක්ෂණය කිරීමටත් වෛද්‍යවරුන්ට අවසර දීමටත් හැකියාව ඇත. ඔවුන් සමඟ සංවාද පළමු මූලාකෘතිය හෝමාගම මූලික රෝහලට තිළිණ කරන ලදී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් ඔක්සිජන් ශ්වසන පද්ධති සහ ICU ඇඳන් අලුත්වැඩියා කර සංවර්ධනය කරන ලදී. ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අරමුදල් වෙන්කරන ලද අතර ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසට ආරාධනා කරන ලදී.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පර්ෙය්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය, ඩොක්ටර් රොබෝට් නමින් අන්තර්ක්‍රියාකාරී දුරස්ථව ක්‍රියාත්මක වන රොබෝ වේදිකාවක්, විෂබීජ නාශක කොරිඩෝවක් සහ ජංගම විෂබීජ නාශක වේදිකා දෙකක් සංවර්ධනය කරන ලදී. මෙම නව නිපැයුම් වාණිජකරණයට සහ මහා පරිමාණ නිෂ්පාදන ආරම්භ කිරීමට සහය වන ලෙස අමාත්‍යංශය පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනය (SLINTEC) වසංගතයට මුහුණදීම සඳහා බහුවිධ උපකරණ නිපදවීමේ ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සමාගම් සහයෝගයෙන් කටයුතු කළේය. වෛරස් RNA හඳුනාගැනීම සඳහා අඩු වියදම් RT-LAMP කට්ටලද මෙරට නිපදවන්නට යෙදිණි. මේ සියලු ධනාත්මක ප්‍රයත්න හැලහැප්පිලි මැද තවමත් රට තුළ කොවිඩ් හටන නිමා නොවී ඇත.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05