2022 ජනවාරි 01 වන සෙනසුරාදා

යාපනේදී සරුංගලයෙන් අහසට ගිය මනෝහරන්

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 66

පුද්ගලයකු විශාල සරුංගලයක් සමඟ අඩි 40ක් පමණ අහසට ඇදී ගිය අහඹු සිදුවීමක් යාපනය, පේදුරුතුඩුව, පුලෝලි ප්‍රදේශයෙන් වාර්තා විය. ප්‍රදේශවාසීන් පැවසුවේ විශාල සරුංගලයක් උඩ යැවීමට පිරිසක් උත්සාහ කිරීමේ දී අදාළ අහඹුව සිදුව ඇති බවයි.
සරුංගලය ඉහළ යැවීමේ දී එම පුද්ගලයා සරුංගලයේ ලණුව අතහැර නොමැති අතර, එනිසා එලෙස ඉහළට ඇදී ගොස් ඇති බවත්, අනතුරුව සරුංගලය පහළට පැමිණීමේ දී පොළොවේ සිට අඩි 15ක පමණ උසක දී ඔහු බිමට පැන ඇති බවත් ප්‍රදේශවාසීහු පැවසූහ.

සරුංගලය ඉහළ යවන්නට යොදාගත් ලණුව ඝනකම්, ශක්තිමත් ලණුවක් වීම හේතුවෙන්, අදාළ පුද්ගලයා එලෙස ලණුව නොකැඩී ඉහළ යන්නට ඇති බව විශ්වාස කෙරේ.

සරුංගලයේ ලණුව අතහැර බිමට වැටුණු අවස්ථාවේ ඔහුට සුළු තුවාල සිදුව ඇති නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද ප්‍රදේශවාසීහු සඳහන් කළහ.

සිදුවීම සම්බන්ධයෙන් පේදුරුංතුඩුව පොලීසියෙන් විමසූ අවස්ථාවේ ඔවුහු ද සිදුවීම තහවුරු කළහ.

“දෙයියෝ තමයි මාව බේරුවේ"

සිද්ධියට මුහුණදුන් විසිහත් හැවිරිදි නඩරාසා මනෝහරන් සිය අත්දැකීම අප සමඟ බෙදාගත්තේ මෙලෙසය.

“මම සරුංගල් අරින්න නිතරම යන්නේ නෑ. මම කඩයක වැඩ කරන්නේ. එදා නිවාඩු දවසක් නිසා මම තරුණ කට්ටියක් එක්ක සරුංගල් අරින්න ගියා. සරුංගල් අරින්න තරුණ කට්ටිය 30ක් විතර එකතුවෙලා හිටියා.

අපි ලොකු සරුංගලයක් ලණු කැරලි එකතු කරලා හදපු කඹයකින් ඉහළ යවන්න තමයි සූදානම් වුණේ. සරුංගලේ ලණුවේ මැද හරියට වෙන්න තමයි මම හිටියේ. සරුංගලේ උඩ යවන්න අපි ගොඩාක් උත්සාහ කළා. ඒ වෙලාවේ සරුංගලේ උඩ ගියා. සරුංගලේ අඩි 50ක් විතර උඩ යනකොට සරුංගලේ ලණුවේ මුල හිටපු අය ලණුව අතහැරියා. මම සරුංගලේ ලණුව මැද අල්ලගෙන හිටපු නිසා තව ටිකක් සරුංගලේ උඩ ගියාට පස්සේ තමයි ලණුව අතාරින්න හිටියේ.

ඒත් එක්කම සරුංගලේ එක පාරටම උඩ ගියා. මට හිතාගන්න බැරි වුණා මොකද කරන්නේ කියලා. බිම හිටපු අය කිව්වා ලණුව අතාරින්න එපා කියලා. මම අඩි 100ක් 120ක් විතර උඩ හිටියේ කියලා මට දැනුණා. මට කිසි දෙයක් හිතාගන්න බැරිවුණා. සිහි නැතිවෙලා වගේ දැනුණා.

මම අහසේ ඉන්නකොට හිතුණා දෙයියෝ මාව බේරගනියි කියලා. මගේ විශ්වාසය අනුව දෙයියෝ මාව බේරගත්තා. උඩ ඉන්නකොට දෙපාරක්, තුන්පාරක් විතර හයියෙන් හුළං හැමුවා. මම ලණුව අතහැරියේ නෑ. බිම බැලුවෙත් නෑ. බිම බැලුවා නම් බයටම මගේ අත අතහැරෙන්න තිබුණා. ඒත් මම බිම බැලුවේ නෑ. ඒත් ලණුව ටිකක් පාත් වෙනකොටම ලණුව අල්ලගෙන ඉන්න බැරි තත්ත්වයක් තිබුණේ. ඒ හින්දා මම ලණුව අතෑරියා. බිමට වැටෙනකොට මට පොඩි තුවාලයක් වුණා. ඊට පස්සේ ඒකට බෙහෙත් ගත්තා. ඒ අත්දැකීම මතක් වෙනකොටත් හිතට බයක් දැනෙනවා,” මනෝහරන් අප සමඟ ප්‍රකාශ කළේය.

පුලෝලි ප්‍රදේශවාසීන් පවසන්නේ සරුංගලයක එල්ලී පුද්ගලයකු ඉහළ ගිය සිදුවීමක් මෙරටින් වාර්තා වුණු පළමු අවස්ථාව මෙය විය හැකි බවයි. මේ සරුංගලය අඩි පහළොවක් පමණ උස, අඩි අටක් පමණ පළල එකකි.

සෑම වසරකම යාපනය වැල්වැටිතුරෙයි වෙරළ ප්‍රදේශයේ දී සරුංගල් වසන්තයක් පැවැත්වීමට උතුරු පළාතේ තරුණ ප්‍රජාව කටයුතු කරති.

හින්දු ජනතාවගේ සංස්කෘතික මංගල්‍යයක් වන තෛපොංගල් සැමරීම සිදුවන කාලය තුළ අදාළ සරුංගල් වසන්තය සෑම වසරකදීම පැවැත්වීම යාපනයේ සාම්ප්‍රදායයි.

සරුංගල් වසන්තය සඳහා ඉදිරිපත් කිරීමට විශාල සරුංගල් සැකසීම සිදු කරන අතර, විවිධ සත්ත්ව රූප, වාහන අනුරූ වැනි විවිධ හැඩතල සහිත සරුංගල් 200ක් පමණ සරුංගල් වසන්තය තරගයට ඉදිරිපත් කෙරේ.

අදළ තරගය පැවැත්වෙන්නේ උතුරු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේය.

සාමාන්‍යයෙන් උතුරේ ගොවි ජනතාව හා ධීවරයන් සිය මහන්සිය අමතක කොට වෙහෙස නිවාගැනීම සඳහා සරුංගල් යැවීම සිදු කරන බව ද ප්‍රදේශවාසීහු පවසති.

( B B C අනුග්‍රහයෙනි )

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05