රාජේන්ද්‍ර රාජලක්ෂ්මි ගොවිතැන ජීවනෝපාය කරගත් සැමියකුගේ ආදරණීය බිරිය වූවාය. දරුවන් පස්දෙනකුගේ මවක වූ ඇය කලක් එංගලන්තයේ ලන්ඩන් නුවර කල් ගෙවූවාය. ඒ ලන්ඩන් නුවර පදිංචිව සිටි ඇගේ එක් පුත්‍රයකුගේ නිවෙසේය. එසේ රුඳී සිටි ඈ මෙරටට පැමිණ තිබුණේ මීට වසර තුනකට පමණ ඉහතදීය.
කන කර අතැඟිලි නිරතුරුවම රන් ආභරණවලින් සරසාගෙන සිටි ඈ හැටහත් හැවිරිදි වියේ පසුවූවාය. මැයගේ උපන් ගම පරන්තන් ප්‍රදේශයේ කැමරපුරම් වුවද කුලී පදනම මත තාවකාලිකව පදිංචිව සිට තිබුණේ කිළිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ නිවෙසකය. මෙම කාන්තාව නිවෙසේ සිටියදී සැමියා හා තවත් කිහිප දෙනකු යම් ගමනක නිරතව තිබුණේ පසුගිය 27 වැනිදාය. එදින පස්වරුවේ පිරිස යළිත් නිවෙසට පැමිණියද රාජේන්ද්‍රන් රාජලක්ෂ්මි මහත්මිය නිවෙසේ පෙනෙන්නට සිටියේ නැත.
ගෙදර සහ අහළ පහළ සොයා බැලුවද ඇය ගිය මගක් හෝ ආරංචියක් නොවීය. නමුත් ඇය නිරතුරුවම භාවිත කළ රබර් සෙරෙප්පු යුවළ සුපුරුදු ලෙස නිවෙස ඉදිරියේ දොරකඩ පෙනෙන්නට තිබුණි. ඊට අමතරව ඇය පැළඳ සිටි රන් මුදුවක් නිවෙසේ නාන කාමරයේ වැටී තිබියදී සොයාගැනීමට හැකි විය.
මේ කාරණා අතරමැද වෙනත් කිසිදු හෝඩුවාවක් රාජලක්ෂ්මි පිළිබඳ නොවීය. එතැන් සිට අතුරුදන් තත්ත්වයේ පසුවූ ඇය සම්බන්ධයෙන් නිවැසියෝ කලබලයට පත්වූහ. අවසානයේ නිවැසියන් තීරණය කොට තිබුණේ සිය පවුලේ සාමාජිකාවගේ හදිසි අතුරුදන් වීම පිළිබඳ පැමිණිල්ලක් කිළිනොච්චිය පොලීසිය වෙත ඉදිරිපත් කිරීමටය.
මගේ බිරිඳ රාජේන්ද්‍රන් රාජලක්ෂ්මි ගෙදර ඉද්දි මම ගමනක් ගියා. හවස එද්දි රාජලක්ෂ්මි ගෙදර හිටියේ නෑ. සෙරෙප්පු දෙකයි ෆෝන් එකයි ගෙදර තියෙනවා. මුද්දක් නාන කාමරයේ තිබුණා. කොහේ හරි යනවා නම් ෆෝන් එකයි සෙරෙප්පු දෙකයි තියලා යන්නෙත් නෑ. කොහොම වුණත් දැන් බිරිඳ ආගිය අතක් නෑ.
මෙසේ ඉදිරිපත් කෙරුණු පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කළ කිළිනොච්චිය පොලීසියේ ස්ථානාධිපති සරත් අමරවික්‍රම මහතා එම පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. පෙරේරා මහතා වෙත උපදෙස් ලබා දී තිබුණේ අතුරුදන් වීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසය. ඒ අනුව නිලධාරීන් පිරිසක් උදයනගර් ප්‍රදේශයට පිටත්ව ගියහ.
නිවෙස හා අවට පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධාරීන්ට අතුරුදන්ව සිටි කාන්තාවගේ සෙරෙප්පු යුගළ හා භාණ්ඩ කිහිපයක් දකින්නට ලැබී තිබූ අතර ඇය නිවෙසින් බැහැරට ගිය බවට සාධකයක් දකින්නට ලැබී නැත. මේ අතර නිවෙස ඇතුළත කළ සූක්ෂම විමර්ශනයේදී නාන කාමරයේ වැටී තිබූ රන් මුදුවක් හා ඒ ආශ්‍රිත බිත්තියක වූ ලේ පැල්ලම් කිහිපයක් හඳුනාගෙන තිබුණි. මේ හේතුවෙන් අතුරුදන්ව සිටි රාජලක්ෂ්මි මහත්මිය පිළිබඳ යම් අබිරහසක් තිබෙන බව පොලීසිය සැක කළේය. මේ වන විටත් අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලීසිය එම නිවෙසට පැමිණ තිබීම සැලවීම නිසා අසල්වැසි ගම්මුන් විශාල පිරිසක් එම නිවෙසේ අවට රුස්ව සිටියහ. එම පිරිස දෙසද පොලීසිය දැඩි අවධානයකින් පසු වූයේ අතුරුදන් වීම පිළිබඳ යම් හෝඩුවාවක් සොයා ගැනීමටය. ඒ අතරතුර කලබලයෙන් තැතිගෙන යම් පීඩනයක පසුවන ආකාරයේ හැසිරීමක නිරත තරුණයකු පිළිබඳව පොලීසියේ අවධානය යොමු වූයේ නිලධාරීන් කිහිප දෙනකුටම ඔහු පිළිබඳ යම් සැකයක් මතු කරමිනි.
මේ හේතුව මත එම සැකකාර පුද්ගලයා කැඳවා ප්‍රශ්න කෙරුණේ සිද්ධිය සම්බන්ධයෙන් යම් හෝඩුවාවක් ලබාගැනීමටය. මම ඒ ගැන මොනවත් දන්නේ නෑ.. ප්‍රශ්න කිරීමේදී එම තරුණයා කියා තිබුණි. &මොනවා ගැනද දන්නෙ නැත්තේ?* පෙරළා පොලීසිය කළ විමසීමේදී &රාජලක්ෂ්මි ඇන්ටිගේ මරණය ගැන* යැයි ඔහු ප්‍රකාශ කර තිබිණි. අතුරුදන් වීමක් හැර මරණයක් පිළිබඳ නොසිතූ පොලීසියට අලුත් තොරතුරක් ලැබුණේ එසේය. නිවෙස් වූ ලේ පැල්ලම පිළිබඳවද දැඩි ලෙස ප්‍රශ්න කෙරුණේ මේ අනුවය. එමෙන්ම සැකකාර තරුණයා අදාළ අතුරුදන් වීම සිදුවූ නිවෙසට යාබද නිවෙසේ පදිංචිකරුවකු වීම කැපී පෙනුණි.
වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් ඔහු 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. විවාහකයකු වූ ඔහුගේ බිරිය 19 හැවිරිදිය. ගම්මුන්ගේ ප්‍රකාශ හා තොරතුරු අනුව සනාථ වූයේ සැකකරු දැඩි ලෙස මත්පැනට ඇබ්බැහි වූ අයෙක් බවය. ඒ සඳහා අවශ්‍ය මුදල් අගහිඟකම නිසා ඊට සහනයක් ලබාගැනීම සඳහා රාජේන්ද්‍රන් රාජලක්ෂ්මි මහත්මියගේ රන් ආභරණ සොරා ගැනීමට තැත් කළ බව පැවසුණේ ප්‍රශ්න කිරීම අතරතුරය.
ගිය 27 වැනිදා දවස පුරා නිවෙසේ රුඳී සිට තිබුණේ රාජලක්ෂ්මි මහත්මිය පමණි. ඒ බව හොඳින් දැන සිටි අසල්වැසි නිවෙසේ තරුණයා ඇය සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමට සිතා ඇත. ඒ සඳහා එම නිවෙසට ගිය සැකකරු එක එල්ලේම රාජලක්ෂ්මි දැක තිබෙන අතර ඉන් මිඳීමට හෙතෙම ඇයට පහරදීමක් කර ඇතැයි කියා තිබේ. පහරදීමත් සමඟ බිම ඇදවැටුණු ඇයගේ හිසට රටඋළු කැටයකින් පහර දුන් තරුණයා ඇය සතු රන් ආභරණ කිහිපයක් පැහැරගෙන ඇත්තේ දැඩි කලබලයකිනි. පහරදීමත් සමඟ මියගිය කාන්තාවගේ සිරුර ගෙබිම ඇදවැටී තිබීම නිසා සිරුර ඉවත් කර දැමීමට ඔහු කල්පනා කළේය. ඒ සඳහා සහායට ඔහුගේ බිරියද කැඳවාගෙන තිබෙන අතර ඇය පොහොර උර කිහිපයක් රුගෙනවිත් තිබුණේ සැමියාගේ උපදෙස් අනුවය.
වැඩි වෙලාවක් යන්නට පෙරාතුව හිසෙන් ලේ ගලමින් තිබූ මළසිරුර ඔසවා පොහොර උර කිහිපයක් හිස දෙසින් හා මළසිරුරේ කකුල් දෙසින් දමා ඔතන්නට ඔවුහු ක්‍රියා කළහ. ඉන් පසුව තරුණයා සතුව තිබූ ස්කූටි වර්ගයේ යතුරුපැදිය රුගෙන එහි ඉදිරිපස කොටසේ මිනිය රඳවාගෙන කාටත් රහසේ පිටත්ව තිබුණි. මේ ආකාරයට කෝනාවිල් පොලිස් බල ප්‍රදේශයේ ස්කන්දපුර පිහිටි මැර පාලම අසලට කිලෝමීටර් 18ක් පමණ දුර මිනිය රුගෙන ගොස් ඇතැයි කියා ඇත. දෙමළ බසින් මැර පාලම කියන ලී පාලම යන අරුතය. යුද සමයේ ලී පාලමක් ලෙස තිබූ එය පසු කලෙස කොන්ක්‍රීට් අතුරු නිම කළ එකකි. මෙම පාලම අසල ඇළ මාර්ගයේ කාලයක පටන් කිඹුලන් ගැවසෙන බව කියයි. පාලම අසලට රුගෙන ආ මළසිරුර පාලම මතින් පහළට දමා තිබුණි. එම ස්ථානයේ එතරම් වතුරක් නොවුණු නිසා සැකකරු ඇළට බැස මළසිරුර සහිත පොහොර උරය වතුරට ඇද දමා පලා ගොස් ඇතැයි කියයි.
කාලයාගේ ඇවෑමෙන් මේ ඇළ මාර්ගයේ වතුර ගැලීම අවහිර වී තිබීම නිසා වර්තමානයේදී පාලම අසලට කිඹුලන් පැමිණීම ඇහැරී ඇත. එම නිසා මළසිරුර කිඹුලන්ට ගොදුරු වීමට අවස්ථාවක් වී නැත. මේ නිසාම ඝාතනයේ වගතුග හරිහැටි හඳුනා ගැනීමට හැකිව තිබෙන අතර මරණකාරිය කුලියට සිටි නිවෙස ඝාතකයාගේ මාමා හා නැන්දාට අයත් බව හඳුනා ගැනිණි. මේ ආකාරයට මළසිරුර සොයා ගැනුණේ ඝාතනයෙන් දිනකට පසු ඉකුත් 28 වැනිදාය. අත්අඩංගුවට ගත් යුවළ ජනවාරි 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.
සමන්ත ප්‍රදීප් විල්තෙර