මේ දිනවල කවුරුත් කෘෂිකර්මාන්තය ගැන කතාබහ කරති. ඉදිරියේදී ඇතිවිය හැකි යැයි අනුමාන කරන ආහාර හිඟය ගැනද විමසිල්ලෙන් පසුවෙති. වෙළඳපොළේ එළවළු මිල දැක හූල්ලති. ගොවියාද බිත්තියටම හේත්තු වී සිටියි. එළවළු වෙළඳසල්ද වේලි වේලි තිබේ. ගොවියා, වෙළෙන්දා පමණක් නෙවෙයි පාරිභෝගිකයාටත් පටි තදකර ගැනීමට සිදු වී ඇත. අපෙ රටේ වැඩිම එළවළු අස්වනු හුවමාරු වන්නේ ආර්ථික මධ්‍යස්ථාන මගිනි. එබැවින් විශේෂ ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳ අප සොයා බැලීමක් කළෙමු.
ලංකාවේ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමට මුල් හේතුවූයේ ගොවීන් මුහුණපාන නොයෙක් අවහිරතාය. එනම් ගොවියාගේ ශ්රමයට සාධාරණ මිලක් නොලැබීම මත ගොවීන් වගාවෙන් ඉවත්වීම, ගොවීන් අතරමැදියන්ට හා තැරුව්කරුවන්ට නිරන්තරයෙන් ගොදුරුවීම, එසේම ගොවි පවුල්වල අනාගත පරම්පරාව ගොවිතැනින් සමුගෙන නගරයේ රුකී රක්ෂාවලට පැමිණීම වැනි සමාජමය හේතු සාධක නිසාය. ඊට අමතරව නිසි ආකාරයට ඇසිරීමක් හෝ පිරිසිදු කිරීමක් නැති නිසාත් ප්‍රවාහන පහසුකම්වල අවහිරතා නිසාත් එළවළු, පළතුරු වැනි ආහාර නිෂ්පාදන කොළඹ දක්වා ප්‍රවාහනය කිරීමේදී ඉන් බොහෝ ප්‍රමාණයක් අපතේ යෑමක් සිදු වේ. මේවා සිල්ලර වෙළෙන්දන් හරහා පාරිභෝගිකයා අතට පත්වනවිට අස්වනු නෙලාගෙන දින දෙක තුනක් පමණ ඉකුත්වීම පාරිභෝගිකයාට ඉන් නිසි ඵලක් ලැබිය නොහැකි තත්වයට පත්වේ. එළවළු නිෂ්පාදනයෙන් 40%ක් පමණ පසු අස්වනු හානියක් සිදු වේ. එනිසා අතරමැදියගේ වෙළඳපොළක් වෙනුවට ගොවියාගේ වෙළඳපොළක් බිහි කිරිමේ අවශ්‍යතාවක් තදින්ම තිබුණි.
මෙවැනි ආර්ථික හා සාමාජීය හේතු රාශියකට විසඳුමක් ලෙස පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්ව සිටි බන්දුල ගුණවර්ධන මහතා 1999 වසරේ ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය හඳුන්වා දෙමින් පළමු ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ල නගරයේ ආරම්භ කළේය. වර්තමානය වනවිට ශ්‍රී ලංකා ආර්ථිකයේ කේන්ද්‍ර ස්ථානයක් බවට පත්ව තිබෙන්නේ එම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයයි. මෙම ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය තායිලන්ත සංකල්පයක් ආදර්ශයට ගෙන ක්‍රියාවට නැගුවකි. පොදුජන පෙරමුණ රජය යටතේම කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයද 1999 දී ඉදිකළ අතර ඉන්පසු බලයට පත් වූ රජයන් විසින් වරින්වර ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කරනු ලැබුණි. ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ වෙළඳ සංගම් නියෝජිතයන්ද ඇතුළු විශේෂ භාරයක් යටතේය. දැනට ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථාන වර්ග තුනකට වර්ග කළ හැකිය. එකතු කිරීමේ මධ්‍යස්ථාන, හුවමාරු කිරීමේ මධ්‍යස්ථාන සහ සිල්ලර ආර්ථික මධ්‍යස්ථාන වශයෙනි.
“එක් එක් ආර්ථික මධ්‍යස්ථානවල එක් එක් ක්‍රමවේද තමයි යන්නේ. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය ගත්තොත් අපි ගොවියා ගාවට ගිහිල්ල එළවළුවලට මිලයක් නියම කරලා එතැනින් ගන්නවා. ඒකෙන් ගොවියාට හොඳ මිලකුත් ලැබෙනවා. හොඳ ගුණාත්මක තත්ත්වයේ එළවළුත් අපි ආර්ථික මධ්‍යස්ථානයට ගෙන්වනවා. දඹුල්ල, තඹුත්තේගම ඇඹිලිපිටිය, කැප්පෙටිපොල, වැනි ආර්ථික මධ්‍යස්ථාන ගොවියාගේ නිෂ්පාදන ඇනවුම් රහිතව ආර්ථික මධ්‍යස්ථානයට ගේනවා. ඊටපස්සේ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ ඒකට යම් කොමිස් මුදලක් අය කරලා ඒ එළවළු මිලකට විකුණල දෙනවා. මේක තමයි මේ ආර්ථික මධ්‍යස්ථානවල ප්‍රධාන ලෙසම කරන්නේ. නමුත් මේකෙන් සාධාරණ මිලක් ගොවියාගේ නිෂ්පාදනවලට ලැබෙන්නේ නෑ. ඒ ආර්ථික මධ්‍යස්ථානවලට ඇණවුමකින් තොරව තමයි ගොඩක් නිෂ්පාදන එන්නේ. මැනිං මාකට් එකෙත් මේ ක්‍රමයට තමයි වෙන්නේ. මේ ක්‍රමය චුට්ටක් වෙනස් වුණා නම් හොඳයි. ඇනවුමක් අරගෙන නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානයට ගෙනාව නම් අවශ්‍ය ප්‍රමාණය විතරයි ආර්ථික මධ්‍යස්ථානයට එන්නේ. එහෙම වුණොත් ගොවියාට සාධාරණ මිලකුත් හම්බවෙනවා පාරිභෝගිකයාට යනකොට පාරිභෝගිකයාටත් සාධාරණ මිලකට එළවළු ලැබෙනවා. ඇණවුම් රහිතව ගෙනාවම සාධාරණ මිලක් ගොවියාට හම්බවෙන්නෙත් පාරිභෝගිකයාට හම්බවෙන්නෙත් නෑ. පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණය වෙළඳුන් මිලදී ගත්තට පස්සේ ඉතිරිය විසි කරන මට්ටමකුත් එනවා. මෙතන විශාල අපතේ යෑමකුත් සිද්ධ වෙනවා.” යැයි නුවරඑළි විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත මහතා පෙන්වා දෙයි.
ආර්ථික මධ්‍යස්ථානවල ව්‍යුහය හා ක්‍රියාකාරී රටාව තවම පවතින්නේ ඒවා ආරම්භක අවස්ථාවේ ඇති කළ තත්ත්වයේම වේ. එනිසා සිදුවන පාඩුව අතිවිශාලය. නවීන තාක්ෂණය සහ නිසි කළමනාකාරීත්වයක් තිබුණේ නම් කෘෂි නිෂ්පාදනය විනාශ වීම වළක්වාගත හැකිය. කෙසේ නමුත් යම් සහන මිලක් යටතේ නගරයේ ජීවත්වන ප්‍රජාවට අලුත් එළවළු, පළතුරු, මාළු හා වෙනත් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේදී ආර්ථික මධ්‍යස්ථාන විශාල මෙහෙයක් සිදුකරනු ලබයි. ආර්ථික මධ්‍යස්ථාන සමග වෙළඳසල් හිමියන් හා සිල්ලර වෙළෙන්දෝ සම්බන්ධ වෙති. ඔවුන් විසින් තොග වශයෙන් විවිධ ස්ථානවලින් ආහාර ද්‍රව්‍ය රුගෙන යනු ලබන අතර ලාභයක් සහිතව මෙම ද්‍රව්‍ය සිල්ලර ලෙස වෙළඳාම් කෙරේ. මීට අමතරව බොහෝ අවස්ථාවලදී ආර්ථික මධ්‍යස්ථානයන්ට සමීපව ජීවත්වන ප්රජාවද තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා ආහාර ද්‍රව්‍ය මිලදී ගනිති. ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම මෙන්ම යම් ආකාරයක සිල්ලර වෙළඳාමක් දක්වාද හැඩගැසී ඇත. මෙහිදී වඩා වැදගත් ලක්ෂණයක් වන්නේ තොග වෙළඳාම හෝ සිල්ලර වෙළඳාම යන කුමක් වුවද අලුත් එළවළු, පළතුරු, මාළු මිලදී ගැනීමට ප්‍රජාව, වෙළඳුන් ආර්ථික මධ්‍යස්ථාන කරා යොමු වීමයි.
එහෙත් අවාසනාවකට ආර්ථික මධ්‍යස්ථානයට රුගෙන එන එළවළු හා පළතුරු බොහෝමයක් විනාශ වේ. ගොවියාගෙන් ගන්නා මිලට වඩා දෙගුණයකට වැඩි මිලකට පාරිභෝගිකයා මිලදී ගැනීමට සිදු වේ.
“දැන් ගොඩක් ආර්ථික මධ්‍යස්ථානවල පැරණි ක්‍රමයට තමයි එළවළු ටික යවන්නේ. කිලෝ 5000ක් ගහන ලොරියක කිලෝ 10000ක් ගහනවා ප්‍රවාහනය වියදම වැඩි හින්දා. ගොවියාගේ නිෂ්පාදනය මොන තරම් හොඳ වුණත් ලොරියේ ගෙනියනකොට පොඩි වෙනවා, තැලෙනවා. ඒ නිසා කිලෝ 100ක බෑග් එකක් ගත්තොත් ඒකෙන් 20%ක් 30%ක් අයින් කරන්න වෙනවා. එතකොට අපතේ යන එළවළු මිලත් අල්ලලා තමයි වෙළෙන්දෝ විකුණන්නේ. ඒකෙනුත් යම්කිසි මිල වැඩිවීමක් වෙනවා. ඊට අමතරව ප්රවානයටත් යම් මුදලක් තියාගන්නවා. ඒ නිසා නුවරඑළිය සහ කොළඹ අතර 40%ක 50%ක මිල වැඩිවීමක් තියෙනවා. ඒකට වැඩපිළිවෙළක් විදිහට අපි පසු අස්වනු තාක්ෂණය ගෙනල්ල ගොවීන්ව සහ ව්‍යාපාරිකයන්ව දැනුවත් කළා. ඒ ක්‍රමයට එළවළු ගෙනිච්චොත්, නිෂ්පාදනයට එකතු වෙන්නේ තෙල් මිල සහ ලාභය ඇතුළුව පොඩි මිලක් විතරයි.
කෙසේ වෙතත් මේ මොහොතේ වෙළඳපොලේ එළවළු මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි තත්වයට ඉහළ ගොස් තිබේ. “පොහොර ප්‍රශ්නයි, ලංකාවේ තිබුණ දේශගුණික ප්‍රශ්නයි ලොකු බලපෑමක් වෙලා ආර්ථික මධ්‍යස්ථානයට එළවළු එන ප්‍රමාණය අඩුවීම නිසා මෑතකාලීනව එළවළු මිල ඉහළ ගිහින් තියෙනවා. දවසකට කිලෝ ලක්ෂ 20ක් විතර එන දඹුල්ලට එන ප්‍රමාණය ලක්ෂ 7කට 8කට බැහැල තියෙනවා. දවසකට ලක්ෂ 8ක් 9ක් එන කැප්පැටිපොල, ලක්ෂයකට විතර සීමාවෙලා තියෙනවා. දවසකට ලක්ෂ 15ත් 25ත් අතර එළවළු එන මැනිං මාකට් එක දැන් ලක්ෂ තුනකට හතරකට වගේ බැහැල තියෙනවා. තඹුත්තේගමට එළවළු එන්නේ සියයට තිහක් වගේ. ඒවා තමයි පාරිභෝගිකයන් අතරට යන්නේ, ඒත් පාරිභෝගිකයන් අතරට යන ප්‍රමාණය පවා විකුණගන්න අමාරුයි. මිල වැඩියි. ඉස්සර වෙළෙන්දා එක් ජාතියකින් කිලෝ 250ක් ගෙනියනව නම්, ඔහු දැන් ගෙනියන්නේ කිලෝ 100ක් වගේ. මේ පොහොර ප්රශ්නය හින්දා ලොකු එළවළු හිඟයක් තියෙනවා. ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න බැහැ. දෙන්න පුළුවන් එළවළු පවා පාරිභෝගිකයෝ ගන්නේ නෑ. මිනිස්සු ළඟ සල්ලි නැති ප්‍රශ්නයක් තියෙන්නේ. වෙනදා ග්‍රෑම් 500ක් ගන්න කෙනා දැන් ගන්නේ ග්‍රෑම් 100ක් වගේ. ඒ හැරෙන්නේ ආර්ථික මධ්‍යස්ථානවලින් කිසිම අසාධාරණ ව්‍යාපාරයක් කරන්නේ නෑ. හැම ආර්ථික මධ්‍යස්ථානයකම සාධාරණ බිස්නස් එකක් කරගෙන යනවා. මුලු ලංකාවේම තියෙන ආර්ථික මධ්‍යස්ථානවලින් පාරිභෝගිකයාට අසාධාරණයක් වෙන්නේ නෑ, සාධාරණයක් වෙනවා.” යනුවෙන් අරුණ ශාන්ත මහතා ප්‍රකාශ කරයි.
ආර්ථික මධ්‍යස්ථාන ආරම්භ කිරීම විශිෂ්ට උත්සාහයකි. එමගින් ගොවියාට, වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාට අත්වූ ප්රතිලාභ එමටය. නමුත් එහි තවමත් දියුණු විය යුතු තැන් තිබෙන බව පිළිගත යුතුය. විශාල වියදමක් දරා ආරම්භ කළ කන්දහන්දිය ආර්ථික මධ්‍යස්ථානය වසා දමා වසර ගණනාවකි. දඹුල්ල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන වාහන තදබදයට නිසි පිළියමක් තවමත් යොදා නැත. පසු අස්වනු තාක්ෂණය ආදී නවීන සංකල්ප පිළි නොපැදීම නිසා සිදුවන ආහාර නාස්තිය විශාලය. බොහෝවිට ගොවියාට වඩා ලාභ ලබන්නේ ආතරමැදි ගැණුම්කරුවන්ය. එබැවින් මෙම ගැටලු විසඳීමට පිළියම් නොයෙදීමෙන් හුදෙක් ආර්ථික මධ්‍යස්ථාන පමණක් පවත්වාගෙන යාමෙන් පාරිභෝගිකයා හෝ ගොවියා ආරක්ෂා කිරීම උගහටය.
සටහන - සකීෆ් සාම්