2022 ජනවාරි 01 වන සෙනසුරාදා

විදේශ සංචිතය නැග්ගාද? - මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 157

රටට ඇති ලොකුම අභියෝගය ආර්ථිකය බව අමුතුවෙන් කිවයුතු නැත. ඉතාම තීරණාත්මක මොහොතක සිටින මෙරට ආර්ථිකය ඉදිරියට තබන පියවරක් පියවරක් පාසා මේ රටේ දෙකෝටි විසිපන් ලක්ෂයක ජීවිතය ඉරණම තීරණය වනු ඇත. ඒ නිසා දැන් දැන් වටෙන් පිටෙන් ඇහෙන දකින දේවල් සමඟ බොහෝ ජනයා සිටින්නේ ඉතාම බරපතළ සැකයෙනි.

කෙසේ වෙතත් මේ අතර පක්ෂ විපක්ෂ බොහෝ අයද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ රටේ ආර්ථිකය ඉතාම බරපතළ අවුලකට පත්ව ඇති බවය. කෙසේ වෙතත් ගිය සතියේ මෙරට විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 1.5 ක තිබුණු අතර එළඹෙන ජනවාරියේ ඩොලර් මිලියන 500 කට අධික ණය වාරිකයක් ගෙවීම හරහා විදෙස් සංචිතය සීඝ්‍රයෙන් පහළ ගොස් තීරණාත්මක වනු ඇතැයි බොහෝ දෙනා කීය. එහෙත් පසුගිය බදාදා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හදිසියේම ප්‍රකාශ කර සිටියේ මෙරට විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගිය බවය. එය චීන මුදල් හුවමාරුවක් හරහා සිදුවූ බව කීවේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ කතාව වෙනත්ම එකකි.

පක්ෂ විපක්ෂ බොහෝදෙනා දේශපාලනිකව න්‍යායාත්මකව කතා කළත් මේ රටේ ජනතාවට ඇත්තම තත්ත්වය කුමක්ද යන්න ජනතාවට තේරෙන භාෂාවෙන් කියන අය ඉතාම සීමිතය. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර දෙන අයද ඉතාම අල්පය. ඒ නිසාම මේ අර්බුදය ගැන සෘජුව ඇසිය යුතු පුද්ගලයාගෙන් සරලවම තේරෙන භාෂවෙන් අප ප්‍රශ්න විමසා සිටියෙමු. ඒ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන්ය.

පළමු ප්‍රශ්නය ලෙස අප ඔහුගෙන් විමසා සිටියේ ලබන වසරේ මහබැංකු අධිපතිවරයාගේ ආර්ථික සැලැස්ම ගැනය.

අපේ මූලික අරමුණ තමයි රටේ ආර්ථික වර්ධන වේගය වැඩිකරගන්න එක. ඒ හා සමානව බාහිර ගිණුමේ තියෙන ප්‍රශ්න ටික නිරාකරණය කරගන්න අවශ්‍යයි. අපේ මූලික අරමුණ තියෙන්නේ ඒක. ඒක කරන ගමන් ආර්ථිකයේ අනික් කොටසුත් ආරක්ෂාකාරීව පවත්වාගෙන යන්න ඕන. විශේෂයෙන් උද්ධමනය වගේ ප්‍රශ්නවලට. කොහොම කරත් ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ගන්න එක තමයි අපේ අරමුණ. මොකද ආර්ථික වර්ධනය ඉතාම අත්‍යවශ්‍යයි. ඒ දේට තමයි අපි ඊළඟ අවුරුද්දේ මුලිකත්වය දෙන්නේ.

කෙසේ වෙතත් ආර්ථික වර්ධනයේ වෙනසක් ඇති කිරීමට නම් බොහෝ විට ඩොලර් අර්බුදය විසඳාගත යුතුව ඇත. එහෙත් එය දැන් ලේසි නැත. ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාගේ සැලැස්ම කෙසේදැයි විමසුවෙමු.

අපි ඒ සඳහා දැනටමත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. සැලකියයුතු නීතී රීති කිහිපයක් සකස් කරලා ඩොලර් පරිවර්තනය කිරිමේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. කිසිම කෙනෙකුට හානියක් නොවෙන විදිහට තමයි අපි ඒවා ක්‍රියාත්මක කරන්නේ. කවුරුත් බය වෙන්න දෙයක් නෑ හානියක් වෙයි කියලා. මේ රටට හිමිවිය යුතු ඩොලර් ප්‍රමාණය රටට ලබාගන්න අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ එක්කම රටට එන ප්‍රේෂණ අපි වැඩි කරනවා. විශේෂයෙන් අපනයනය කරලා රුපියලත්, පොලී අනුපාතයත් ස්ථායී ආකාරයට පවත්වාගෙන යන්න අපි කටයුතු කරමින් ඉන්නෙ. අපි ඔක්තෝබර් 1 ඉඳලා 2022 මාර්තු 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරන මාස හයක වැඩපිළිවෙළක් සකසලා තියෙනවා. මේ දෙයින්ම ආර්ථිකය තුලනය වන ආකාරයට පවත්වාගෙන යන්න කටයුතු කරමින් ඉන්නේ.

මේ අතර බොහෝ දෙනාට ගැටලුවක් වී ඇත්තේ ආනයනය සීමා කිරීම ගැනය. බොහෝ අය පවසන්නේ ආනයනය සීමාවීම තුළ ඔවුන්ගේ ව්‍යාපාර සඳහා විශාල පීඩාවන් එල්ලවුණු බව කියාය. කෙසේ වෙතත් ඩොලර් අර්බුදය හමුවේ ආනයනය සීමා කළත් බොහෝදෙනා බලාපොරොත්තු වන්නේ ලබන වසරෙ ආනයනයට ඉඩක් ලැබෙයි යන්නය. මේ සම්බන්ධයෙන් අප විමසා සිටියෙමු.

ආනයනය පැත්තෙන් යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තියෙන එක ඇත්ත. අපි ඒ ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. විශේෂයෙන් තෙල්, ගෑස්, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනය කළාට පස්සේ, ඒ වගේ අපනයනකරුවන්ටත් ඉඩ දුන්නයින් පස්සේ අනෙකුත් ආනයනය සඳහා කළමනාකරණය කරගන්න කියලා අපි බැංකුවලට උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රමයට ගියොත් වැඩි කාලයක් යන්න කලින් ඩොලර් හිඟය පියවගෙන ඉතාම හොඳ ආර්ථිකයක් හදාගන්න පුළුවන්.

කෙසේ වෙතත් විපක්ෂය පවසන්නේ ලබන වසරේ ඖෂධ, තෙල්, ගෑස් හිඟයක් ඇතිවනු ඇති බවය. ඒ මිලදී ගැනීමට මුදල් නැති නිසාය. මේ සම්බන්ධයෙන්ද අප විමසුවෙමු.

ඔව්. මම පිළිගන්නවා... ඒ අය හිටියා නම් ඒක වෙන්න තිබ්බා කියලා. අපි දැක්කනේ ඒ අයගේ අඩුපාඩු. අපි මෙච්චර කොවිඩ් වසංගතයක් මැද්දේ කිසිම විදිහකින් ගෑස් තෙල් බෙහෙත් හිඟයක් අපි කරලා නෑ. සියල්ල හොඳට ලබාදුන්නා. ඉඳලා හිටලා යම් අතපසුවීම් වුණාට අපි ජනතාවට නැති කළේ නෑ සියල්ල.

විශේෂයෙන් ජනාධිපතිවරයා පසුගියදා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදුකර තිබුණි. එසේම රාජ්‍ය සේවය බරක් බවද පසුගියදා මුදල් ආමාත්‍යවරයා කීවේය. කෙසේ වෙතත් රටේ ආර්ථිකයට විශාල වශයෙන් රාජ්‍ය ආයතන හරහා සහයක් වනු ඇත. එය නිසිලෙස සිදුවනවාද යන්න අප අධිපතිවරයාගෙන් විමසුවෙමු.

ඔව්. එවැනි තැන් තියනවා නම් ඒ අඩුපාඩු මකලා, අලුත් අය පත්කරලා සියල්ල යථා ත්ත්වයට පත්කර ගතයුතුයි. ජනාධිපතිතුමාගේ ඒ ස්ථාවරයේ මමත් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්ති තීන්දු ගන්නත් ඕන. ඒ විතරක් නෙමෙයි සමහර අවස්ථාවල මේ රටට ඩොලර් ගලාගෙන එන අවස්ථා පවා ඇතැම් දේශපාලනඥයන් අවහිර කළා.

මේ ආර්ථික ගැටලුව හමුවේ රාජ්‍ය දේපල විකිණීමට තීරණය කර ඇති බව විපක්ෂයේ චෝදනාව වී ඇත. සැබවින්ම එසේ සිදුකරනවාද යන්න අපි විමසා සිටියෙමු. 

උපායමාර්ගශීලී නොවන රාජ්‍ය දේපල ඩොලර්වලට මාරු කරගත්තට කිසිම වරදක් නෑ. උදාහරණයක් හැටියට ගෆූර් බිල්ඩිම දැන් අවුරුදු ගාණක ඉඳලා දිරාපත් වෙලා. දැන් ඒ බිල්ඩිම යොදාගෙන යම් ආයෝජනයක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. සමහර හෝටල් රජයට අයිති ඒවා තියෙනවා. ඒවා එක්ක යම් සහයෝගී ආයෝජනයක් කරන්න පුළුවන් නම් හොඳයි. එවැනි ව්‍යාපෘතිවලට ඉඩ විතරක් නෙමෙයි සහයෝගයත් දෙන්න ඕන. මේ වෙලාවේ විතරක් නෙමෙයි සාමාන්‍ය වෙලාවටත් මෙවැනි ආයෝජන ගනුදෙනු කළ යුතුයි.

විශේෂයෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට සහයක් වන්නේ මහ බැංකුවය. මහ බැංකුව විසින් ලබාදෙන නියෝග මත බැංකු පද්ධතිය ඔස්සේ ලබාදෙන ඇතැම් සහන ජනතාවට විශාල රුකුලක් වෙනු ඇත. එහෙත් පසුගිය කාලයේ මහ බැංකුව විසින් ලබාදුන් නියෝග ඇතැම් බැංකු පිළිගන්නා ස්වරෑපයක් දැකගැනීමට හැකිවුණේ නැත. මේ සම්බන්ධයෙන් මහ බැංකුවට කුමක් කළ හැකිද යන්න විමසුවෙමු.

අපේ සහන හරහා බිලියන 4100 ක් ලබාදීලා තියෙනවා අවුරුදු දෙකක සහන කාලයට. ඒ හැමදේම ලබාදුන්නේ මහබැංකුවේ නියෝග හරහා. එහෙම දෙයක් නොවෙනවානම් මම කියන්නෙ ඕනම කෙනෙක්ට ඇවිත් මට දන්වන්න කියලා.

කෙසේ වෙතත් අවසාන වශයෙන් විමසා සිටියේ විපක්ෂයේ චෝදනාවකි. එනම් මේ ආර්ථිකය ගොඩගන්න අජිත් නිවාඩ් කබ්රාල්ට බෑ කියූ අදහස ගැනය.

ඒ කිව්ව දේවල් එයාලා කිව්වට වුණේ නෑ. මේ අවුරුද්ද අන්තිමේ හොම්බෙන් යන්න වෙන්නේ කිව්වා. දැන් අපිට නෙමෙයි ඒ අයට තමයි ඒ විදියට යන්න වෙන්නේ. ඔය බනින කිසිම කෙනෙක් මා එක්ක කතා කරලා නෑ රටේ ආර්ථිකය ගැන. සමහර අය කතාකරලා තියෙන්නේ ඒ ඒ අයගේ ප්‍රශ්න ගැන. ඒ නිසා ඒ අය මොනවා කිව්වත් මේ ආර්ථිකය ගොඩදානවා අපි.

 ගයාන් ගාල්ලගේ