2022 ජනවාරි 01 වන සෙනසුරාදා

අපේ මන්දපෝෂණ අවදානම වැඩිවෙලා!

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 211

ලෝක ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානය ලොව සමස්ත ජනගහනයෙන් 8% එනම් මිලියන 690ක පමණ ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇත. නමුත් කනගාටුවට කරුණ වන්නේ වර්තමානයේ ඉතා ශීඝ්‍ර ලෙස ඇති වී තිබෙන දේශගුණික විපර්යාසයන් සහ කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙම ප්‍රමාණය ඉතා ඉහළ අගයක් දක්වා වර්ධනය වීමයි. ශ්‍රී ලංකාවද මේ අලකලංචියෙන් මිදී නැත.

රටින් මිදි, ඇපල් ආනයනය කිරීම පමණක් නොව අනවශ්‍ය ආකාරයෙන් උත්සව, සැමරීම් පැවැත්වීම නතර කළ යුතු බවත්, ඉදිරියේදී ආහාර නොමැතිව මිනිසුන්ට ජීවත්වීමට සිදුවන කාලයක් උදාවිය හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මෑතකදී අනතුරු අඟවා තිබුණේ ඒ අනුවය. ලෝකයේ පිළිගත හැකි දත්ත තහවුරු කරන්නේ මේ රට බඩගිනිකාර රටක් මදිවාට මන්දපෝෂණය අතින්ද පෙරමුණ ගත් රටක් බවට පත්ව ඇති බවය.

2020 වර්ෂයේදී රටවල් 107ක් යොදා ගන්මින් ගෝලීය කුසගිනි දර්ශකය සකස්කර ඇත. එහිදී ශ්‍රී ලංකාවට 64 වැනි ස්ථානය හිමි විය. කුසගින්න නිසාම මතුවන මන්දපෝෂණය අතින්ද ලංකාව ආසියා කලාපයේ 5 වැනි තැන සිටින බව 2021 වර්ෂයට අදාළ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ‘ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2021’ වාර්තාව කියයි. එම  නිරීක්ෂණය කරන අයකුට තහවුරු වන්නේ ජනගහණයට සාපේක්ෂව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්වී ඇති බවයි. මෙම 2021 වාර්තාවට අනුව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් වන්නේ පිළිවෙළින් ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඉරානය, නේපාලය යනාදී වශයෙනි.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් මිලියන 1.7ක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර එය ජනගහනයෙන් දළ වශයෙන් 8%ක් ලෙස ගැනීමට හැකිය. ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 5ට අඩු ළමුන් අතර මන්දපෝෂණය බහුලව දක්නට ලැබෙන අතර, එය ගෝලීය වශයෙන් ගත් විටද ශ්‍රී ලංකාව ඉහළ අනුපාතයකට හිමිකම් කියනු ලබයි. දේශීය මව්වරුන් අතරද මන්දපෝෂණය බහුලව දක්නට ලැබෙන අතර එය වතුකරයේ ඉතා ඉහළය.

මන්දපෝෂණ තත්ත්වයන්ට සමගාමීව කෘෂිකාර්මික, ධීවර හා පශු සම්පත් අංශ විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් 30%ක් පමණ අකාර්යක්ෂම නිෂ්පාදනය, පාරිභෝගික නාස්තිය සහ ප්‍රවාහන හා බෙදාහැරීමේ ගැටලු හේතුවෙන් විනාශයට පත්වේ. දේශගුණික විපර්යාස සහ වර්තමානයේ COVID-19 වැනි අනෙකුත් අර්බුදකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ එහි සැපයුම් දාමයන් පිළිබඳ සහ එයට දේශගුණික විපර්යාසයගෙන් සිදුවන බලපෑම පිළිබඳ අවබෝධ‍යක් ලබාගැනීම වැදගත් වන්නේ පවත්නා ගැටලු සහ ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීම සඳහා පවතින විසඳුම් අවබෝධ කර ගැනීම සඳහාය.

කාලගුණික පුරෝකථනයන්ට අනුව ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් සිදුවන්නේ ඊසාන දිග වියළි කලාපය අශ්‍රිතවය. නමුත් මේ වනවිට මෙම ප්‍රදේශය වඩාත් ශූෂ්ක බවට පත්ව ඇති බව හෙළිවේ. ඒ සඳහා පැහැදිලි නිදසුනක් වශයෙන් මෙම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් හටගත් නියං තත්ත්වය සැලකිය හැකිය. මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකර්මාන්තය වසර ගණනාවක් තිස්සේ විනාශයට පත්ව ඇති අතර ගොවීන් ආර්ථික හා සමාජයීය ගැටලුවලට මුහුණපෑමට සිදුව තිබේ. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රදේශයේ කෘෂිකාර්මික ප්‍රජාවගේ ජීවනෝපායටත්, ආහාර පද්ධති සඳහාත්, සමස්තයක් ලෙස මුළුමහත් රටටත් එය බලපා තිබෙන අතර ආහාර ද්‍රව්‍ය රටට ආනනය කිරීමටද සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය ගත්විට දේශීය නිපදවන සහ ආනයනය කරන ලද ආහාර වලින් සමන්විත වේ. එය ගෘහස්ථ ආහාර පරිභෝජනයට සමගාමි ලෙස ගත්කළ ගෘහස්ථ ආහාර පරිභෝජනයෙන් 78%ක් දේශීය නිපදවන ආහාර වන අතර 22%ක් ආනයනය කරන ආහාර වේ. දේශීය නිපදවන ආහාර ලෙස සහල්, එළවළු, පළතුරු, මස් මාංශ ආදිය ද ආනයනය කරන ආහාර ලෙස තිරිඟු, ධාන්‍ය වර්ග, කිරිපිටි, සිනි ආදිය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව  අනුව දේශීය කෘෂිකර්මාන්තය මගින් දේශීය ආහාර අවශ්‍යතාවයෙන් 83%ක දායකත්වයක් ලබාදෙනු ලැබේ. එමෙන්ම කෘෂිකර්මාන්තය මගින් අපනයන ආදායමට 23%ක දායකත්වයක් ලබාදෙනු ලැබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතියේ මේ වනවිට යම් අකාර්යක්ෂමතාවයක් දක්නට ලැබෙන අතර එයට ප්‍රධානතම හේතුව ලෙස බොහෝ අතරමැදියන් සහ අතරමැදි සැපයුම් දාමයේ සංකිර්ණ ස්වභාවය හේතු වී ඇත. එය තවදුරටත් සංකිර්ණ ගැටලුවක් බවට පත්වීමට මේ වනවිට සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගතය හේතු වී ඇත.

කොවිඩ්-19 අර්බුද නිසා ජීවනෝපායන්, පෝෂණය, ආහාර සුරක්‍ෂිතතාව සහ ගොවි ප්‍රජාවන්ගේ යහපැවැත්මට අහිතකර බලපෑම් මතුව තිබේ. ආහාර නිෂ්පාදනය සහ බෙදා හැරීමද ගැටලු රුසකට මැදිවය. ජීවනෝපාය අහිමිව යාම නිසා අවශ්‍ය දේ මිලදී ගැනීමට නොහැකිව ඇති අතර බහුතරයකට මේ ජීවන වියදම දැරිය නොහැකිය. ආහාර වේල් මඟහැරීම සහ පෝෂණය අවම ආහාර හෝ එකම වර්ගයේ ලාබ දායී ආහාර මත හැපීමට සිදුවීම නිසා පෝෂණ ගැටලු ඉහළ ගොසිනි. දුප්පත්කම නිසා ඇතිවන මේ තත්ත්වයම සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්ද බලපා ඇත. අවශ්‍ය බෙහෙත් නැති අතර සමහර බෙහෙත් ගන්නට මුදල් නැත. මේ සංකීර්ණ තත්ත්වය නොබෝ දිනකින්ම රටේ සෑම අයෙක්ම පාහේ මන්දපෝෂිත බවට පත්කළ හැකිය. වැඩෙන දරුවන්ටද මේ මන්දපෝෂණය එකසේ බලපායි. මුල් මාස හයේදී මවුකිරි පමණක් ලබාදීම නිසා මන්දපෝෂණය තරමක් දුරට අඩුවුවත්, ඉන් අනතුරුව පෝෂණයෙන් අඩු ආහාර ලබාදීම නිසා දරුවාගේ මන්දපෝෂණය ඉහළ යන බව විද්වතුන් පෙන්වා දෙයි. දැන් පවතින බිඳවැටුණ ආර්ථිකය ඒ නිසා ඉහළ යන දරීද්‍රතාව යටතේ ඉතා නොබෝ දිනකින්ම  මඤ්ඤොක්කා, කිරි අල ආදිය වවාගෙන එක්දහස් නවසිය හැත්තෑව දශකයේ ජීවත් වූවා සේ අමාරුවෙන් ජීවත් වන්නට සෑමදෙනාටම සිදුවිය හැකි යැයි මහාචාර්ය මෙත්තිකා විතානගේ කියා තිබුණේ ඒ අනුවය.

  සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05