2022 ජනවාරි 01 වන සෙනසුරාදා

පොලිසියේදී මරුවා ආවේශ වූ ඇතිමලේ සුදු පුතා

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 236

නීතිය හා සාමය සුරකිමින් රටේ ආරක්ෂාව හා මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධයෙන් විටෙක අසන්නට ලැබෙන්නේ අමිහිරි අප්‍රසන්න කතාය. ඉකුත් දිනවලදී පොලීසිය ගැන වාර්තා වූයේද එවැනි ආන්දෝලනාත්මක සිදුවීම්ය. මේ අතර තිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයකු විසින් සිය පොලීසියේ නිලධාරීන් පිරිසකට ඉවක් බවක් නොමැතිව වෙඩි තබා සිදුකළ සමූල ඝාතනය හමුවේ පොලිස්ස්ථානය එකම ලේ විලක් වී තිබිණ.

දශක තුනක් පුරා පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත කල්ලියේ ප්‍රහාරවලට පසුව මෙරට ම්ලේච්ඡ සමූල ඝාතන පෙළක් වාර්තා වූයේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවත් සමඟය. අනතුරැව ඉකුත් 24 වැනිදා රාත්‍රියේ අම්පාර තිරැක්කෝවිල් පොලීසියේ වෙඩිතැබීම හරහා සිදුකළ සමූල ඝාතනයට වගකිවයුත්තා එම පොලීසියේම සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු බවට අනාවරණය වී තිබේ.

පොලිස් සැරයන් තනතුරේ රාජකාරි කරමින් සිටි ඔහු නමින් දිනේෂ් රවීන්ද්‍ර කුමාර නැමැත්තෙකි. 34 හැවිරිදි වියේ පසුවූ ඔහු මොණරාගල ඇතිමලේ පොලිස් වසමට අයත් ප්‍රදේශයක ඇතිමලේ වැව අසන්නයේ පදිංචිකරුවෙකි. මුදල් අගහිඟයක් නැති ඉඩකඩම් අතමිට ඇති පවුලක තරුණයකු වූ දිනේෂ් රවීන්ද්‍ර කුමාර පොලීසියට බැඳී තිබුණේ මීට වසර අට නවයකට කලිනි. පිරිමි දරුවන් දෙදෙනකු හා දියණියක සිටි පවුලේ බාලයා වූ මොහු ගෙදර සුරතලාය. අම්මාට තාත්තාට සුදු පුතා වූ ඔහු පවුලේ අයගේ පමණක් නොව ගමේ අයගේද ආදරය දිනා සිටියේය.

පොලීසියට බැඳීමෙන් පසුව විවිධ පොලිස් ස්ථානවල රාජකාරි සිදුකර ඇති මොහු පොලිස් විශේෂ කාර්ය බළකායේද සේවයේ නියුතුව සිටි අයෙකි. අනතුරුව සමන්තුරේ පොලිසියේ සහ තිරුක්කෝවිල් පොලීසියට අනුයුක්තව රාජකාරි කර ඇත. මෙම සැරයන්වරයා තිරුක්කෝවිල් පොලීසියේ රාජකාරි කටයුතු සඳහා වාර්තාකර ඇත්තේ මීට මාස 9කට පෙරය. ඊට පෙරාතුව කෙටි කලක් වවුනියාව ඕමන්ත පොලීසියේද සේවයේ නිරතව සිටි බව සඳහන්ය.

වර්ෂ 2012 දී පමණ සැරයන්වරයා විශේෂ පාඨමාලාවක් සඳහා ඉදිරිපත් විය. එය පැවැත්වී ඇත්තේ බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේදීය. එම පොලිස් පාඨමාලාව හදාරණ අතරතුර ඇතිවූ අනතුරක් හේතුවෙන් ඔහුගේ පාදයක දණහිස ආබාධයකට ලක්ව ඇත. ඒ අනුව වෛද්‍ය නිර්දේශ ලැබී ඇත්තේ වෙහෙසකර රාජකාරිවලින් මිදී සැහැල්ලුව සිටින ලෙසය.

මේ අතර කාලයේ සැරයන්වරයාගේ දණහිසේ වූ තුවාලය කූඩැල්ලකු සපා කා ඇතැයි කියවේ. ඉන්පසුව විෂබීජයක් ශරීරගතව තිබෙන අතර ඊට ප්‍රතිකාර ලබන අතරතුර වෛද්‍ය උපදෙස් අනුව ශල්‍යකර්මයක් කිරීමට සිදුව ඇත. එහිදී අදාළ ස්ථානයේ මස් කැබැල්ලක් කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. මේ හේතුව මත පොලිස් සැරයන්වරයා පොලිස් රාජකාරියේ සැහැල්ලු රාජකාරින්වල නිරතව තිබුණේ වෛද්‍ය නිර්දේශ මතය.

පසුකලෙක සුව නොවන තුවාලයක් වූ දණහිස දදයක් සේ තිබී ඇතැයි පැවසේ. ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් තිබී නොමැති අතර පැවති ශරීර පීඩාව මානසික පීඩාවක් බවට පත්ව තිබුණි. මේ නිසා ඇතැම් නිලධාරීන්ගේ උසුළු විසුළුවලට ලක්වීමටද මෙම සැරයන්වරයාට සිදුව ඇත. මේ අතර ඇතැම් නිලධාරීන් මොහුගේ ආබාධය හෑල්ලුවට ලක්කරමින් පිං පඩි ගන්නා අයකු ලෙස විවිධ කතා පවසා ඇතැයි වාර්තා වේ. නිරතුරුවම සැහැල්ලු රාජකාරියේ නිරත වන මොහු සිවිල් ඇඳුමින් සැරසී සිටීම සම්බන්ධව සෙසු නිලධාරීහු ඊර්ෂ්‍යාවෙන් පසුව ඇතැයි කියති. විටෙක මොහු පන්දම් අල්ලා සැහැල්ලු රාජකාරි හදාගෙන පඩිගන්නා බවද කියා ඇත. මෙසේ එල්ල වන චෝදනා නිසා මොහු මානසික පීඩනයකට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙවැනි හේතු නිසා ඔහුට පොලිසියේ මිතුරකු යයි කීමට කෙනෙකු සිට නැතැයි පැවසේ. බොහෝ විට ඔහු රාජකාරියේ නිරතව ඇත්තේ හුදෙකලාවය. මේ අතර මෙම සැරයන්වරයාට කොවිඩ් 19 රෝගය ආසාදනය වී තිබුණු අතර ඒ සඳහා දින 14ක නිවාඩුවක් සමග නිවසේ නිරෝධායනය සඳහා දින 14ක්ද නිවාඩු ලබා ඇති බව වාර්තා වේ. අනතුරුව තිරුක්කෝවිල් පොලිසියේ රථවාහන අංශයේ සාමාන්‍ය රාජකාරින්වල ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු කරගෙන ගොස් තිබුණි. මේ ආකාරයට ඉකුත් මාර්තු සිට දෙසැම්බර් දක්වා දින 54ක් නිවාඩු ලබාගෙන ඇති බවද එම පොලිසියේ ආරංචි මාර්ග වාර්තා කරයි.

නමුත් පසුගිය 24 වැනිදා සැරයන්වරයා නිවාඩුවක් ඉල්ලා ගැනීම සඳහා තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා හමුව ඇතැයි කියයි. නමුත් උත්සව සමය තුළ පවතින නිලධාරි හිඟය නිසා නිවාඩු ලබාදී නැතැයි පැවසේ. මේ නිසා මානසික පීඩනයෙන් පසුවූ සැරයන්වරයා සිය ඉහළ නිලධාරීන් හා වෛරයෙන් පසුව ඇතැයි කියැවේ. මෙම සැරයන්වරයා මත්පැන් මත්ද්‍රව්‍ය කිසිවක් භාවිත නොකරන අයකු වන අතර සාදවලට සහභාගිවීමද ප්‍රතික්ෂේප කරන්නෙකි. එවැනි පොදු දෙයකදී මුදල් ආධාරයක් හෝ නොකරන ඔහු එම අවස්ථා මඟහරී. එම හේතු නිසා ඔහු පොලිසිවල රාජකාරියේදී කොන්වී ඇතැයි වාර්තා වේ.

අවිවාහකයකු වන මොහු සිය මහගෙදර ආසන්නයේ නව නිවසක් ඉදිකරමින් සිට ඇත. ගම්මුන්ගේ හොඳ හිත දිනාගත් මොහුගේ පියා වයෝවෘද්ධය. මව 65 හැවිරිදි වියේ පසුවන්නීය. විවිධ හේතු කාරණා රැසක් මැද මානසික පීඩනයක පසුවූ මොහු තිරැක්කෝවිල් පොලිසියේ වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණේ 24 වැනිදා රාත්‍රි 10.30ට පමණය. ප්‍රහාරයෙන් පසුව ඔහුට අයත් බව කියන කැබ් රථයෙන් පලාගිය ඔහු සෙසු පිරිසට ඇහෙන්න ''මට ඕනෑ උන් මරාගන්න බැරිවුණා...'' යැයි පවසා ඇතැයි කියති. එසේ කියා ඇත්තේ එම පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා සමඟ වෛරයකින් පසුවීම සම්බන්ධයෙන් බව තතු දන්නෝ පැවසූහ.

සිදුවීමෙන් පසුව කැබ් රථයකින් පලාගිය සැකකාර සැරයන්වරයා ඇතිමලේ නිවසේදී මව පියා හා ඥාතීන් හමුවී වෙඩි ප්‍රහාරය පිළිබඳව පාපොච්චාරණය කර ඇත. අනතුරැව ඇතිමලේ පොලිසියට බාර වී තිබුණේ පැහැරගෙන ගිය ගිනි අවි හා පතරොම්ද සමඟය. එහිදී ඇතිමලේ පොලිසිය විසින් සැකකරු අම්පාර පොලිසියට බාරකර ඇත. අනතුරුව සැකකරු අක්කෙරෙයිපත්තුව මහේස්ත්‍රාත් එම්.එච්.එම්. හන්සා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

 සමන්ත විල්තෙර
පසුබිම් වාර්තා - සියඹලාණ්ඩුව සරත් අධිකාරි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05