2022 ජනවාරි 01 වන සෙනසුරාදා

ලොව වටා ඉගිල්ලෙමින් ගිනස් පොතට යන්න හදන සාරා...

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 16

සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා සංචාරය කළ ලාබාලතම ගුවන් නියමුවරිය ලෙසින් ගිනස් වාර්තාවක් තැබීමට බලාපොරොත්තු වූ ගුවන් නියමුවරියක් පසුගියදා රත්මලාන ගුවන් තොටුපොළට පැමිණියාය. බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් (Zara Rutherford) වයස අවුරැදු දහනවයක ගුවන් නියමුවරියකි. අගෝස්තු මස 11 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරින් ඇරඹුණ මෙම චාරිකා ගමන මාස තුනක කාලයකින් අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ කාලය ඇතුළත සාරා රටවල් පනස් දෙකක මෙම සැහැල්ලු ගුවන් යානය ගොඩබැස්සවීමට බලාපොරොත්තු වන අතර එම චාරිකාවේදී දෙවරක් සමකය ඔස්සේ ගමන් කිරීමටද අදහස් කර ඇත.

ගණිතය, ආර්ථික විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳව උසස් අධ්‍යාපනයක් හදාරා ඇති සාරා පරිගණක ඉංජිනේරැ විද්‍යාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ අතරතුරේ මෙලෙස ගිනස් වාර්තාවක් තැබීමට උත්සාහ කරන ඇය ගගනගාමියෙකු වීමට සිහින දකී.

මට ගොඩාක් සතුටුයි ශ්‍රී ලංකාවට එන්න ලැබීම සම්බන්ධයෙන්. පැය හයහමාරක පමණ ගුවන් ගමනකින් පසුව තමයි ශ්‍රී ලංකාවට මට එන්න ලැබුණේ. ශ්‍රී ලංකාවේ දේශගුණය හොඳයි. ඒ නිසා මට පහසුවෙන් එන්න පුළුවන් වුණා. ශ්‍රී ලංකාව හරි ලස්සන රටක්. මාව ආදරයෙන් පිළිගත්තාට ගොඩාක් ස්තූතියි... යැයි රත්මලාන ගුවන් තොටුපොළට ගුවන් යානය ගොඩබැස්ස වූ සාරා රදර්ෆර්ඩ් පැවසීය.

මෙම ගමනේදී ඇය මහද්වීප පහක රටවල් පනස් දෙකක තනිව සැහැල්ලු ගුවන් යානය පැදවීමට අපේක්ෂා කර සිටී. ඒ ගමනේදී කිලෝමීටර් 51,000ක දුරක් ඇය සැහැල්ලු ගුවන් යානය පැදවීමට නියමිතය.

මෙලෙස සැහැල්ලු ගුවන් යානයකින් ලෝක වාර්තාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන සාරා මේ බිඳ දැමීමට උත්සාහ ගනු ලබන්නේ 2017 වසරේදී රටවල් විසි දෙකක සැහැල්ලු ගුවන් යානයක් පැදවූ තිස් හැවිරිදි ඇමෙරිකානු ජාතික ෂෙස්ටා වයිස්ගේ (Shaesta waiz) ගේ ලෝක වාර්තාවය. ලොව වටා තනිව පියාසර කළ ලාබාලතම පුද්ගලයා වනු ලබන්නේ වයස අවුරැදු දහඅටක් වුණ ට්‍රැවිස් ලුචිලෝග්ය.

මම ගුවන් නියමුවන්ගේ පවුලක උපත ලැබූ අයෙක්. මට අවශ්‍ය වන්නේ මෙම උරුමය මත ගොඩනගා ගත් දේ මගින් අන් අයව දිරිමත් කිරීමටයි. මගේ අරමුණ වන්නේ ගැහැනු ළමයින් සහ තරැණියන් ඔවුන්ගේ සිහින හඹා යාමට දිරිමත් කිරීමටයි. අපේ සිහින හැදෙන්නේ මුල් ළමාවියේදීමයි. යැයි සාරා රදර්ෆර්ඩ් පවසන්නීය.

මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා තනිව පියාසර කරනු ලබන සාරා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඇගේ ගමන් මාර්ගයේ හතළිස් වැනි රට ලෙසිනි. ඇය පියාසර කරනු ලබන මෙම තනි එන්ජින් ගුවන් යානයේ වේගය පැයට කිලෝමීටර් තුන්සීයකි.

ඇය KAA සහ UK පෞද්ගලික ගුවන් නියමු බලපත්‍ර සහ ස්ලෝවැකියානු සහ ප්‍රංශ මයික්‍රොලයිට් බලපත්‍ර ලාභිනියකි. 

සාරා ඔබට ශ්‍රී ලාංකික අපේ සුබපැතුම්!

 දිශානි ජයමාලි කරුණාරත්න