නොබෙල් සාම ත්‍යාගලාභීයකු සහ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි අරගලයේ පුරෝගාමියකු වූ 90 හැවිරිදි ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුවරයා පසුගිය ඉරිදා (දෙසැම්බර් 26) ස්වර්ගස්ත විය. දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් අතර පමණක් නොව සුදු ජාතිකයන් අතරද ඉමහත් ගෞරවයට පාත්‍රව සිටි අගරදගුරු ටුටූ හැඳින්වුණේ ''අප්‍රිකානු ජාතීන්ගේ හෘද සාක්ෂිය'' ලෙසිනි.
බෙදුණු ජාතියක් තුළ සංහිඳියාවේ සංකල්පය වර්ධනය කිරීම සඳහා ඔහු අපිරිමිත මෙහෙවරක නිරත වීමෙහි ප්‍රතිඵලයක් ලෙස, දකුණු අප්‍රිකාවේ සුදු ජාතික පාලනයේ අවසානය සනිටුහන් කෙරුණු අතර, පසුව එම පාලන කාලයේ සිදුකරන ලද සාහසික ක්‍රියා සොයා බැලීම සඳහා පිහිටුවන ලද සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ මුලසුන දැරුවේද අගරදගුරු ටුටූය.
ක්ෂොසා සහ මොට්ස්වානා යන ගෝත්‍ර දෙකෙහි උරුමයන් සහිත දිළිඳු පවුලක දරුවකු ලෙස 1931 උපත ලද ඔහු මුලින්ම ගුරුවරයෙක් ලෙස සේවය කළේය. 1955දී නොමාලිසෝ ලෙයා ෂෙන්ක්සේන් සමඟ විවාහ වූ අතර, ඔහුට දරුවන් සිව් දෙනෙකි. 1960දී ඔහු ඇංග්ලිකානු පූජකවරයකු ලෙස පැවිදි දිවියට එළඹුණු අතර පසුව ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි දේවධර්මය හැදෑරීය. 1966 දී ඔහු යළි අප්‍රිකාවට ගොස්, දකුණු අප්‍රිකාවේ ෆෙඩරල් දේවධර්ම සම්මන්ත්‍රණයේ සහ පසුව බොට්ස්වානා, ලෙසෝතෝ සහ ස්වාසිලන්ත විශ්වවිද්‍යාලයන්හි කථිකාර්යවරයෙක් ලෙස කටයුතු කළේය. 1975 දී දකුණු අප්‍රිකාවට යළි පැමිණි ඔහු ජොහැන්නස්බර්ග්හි ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ ප්‍රධාන දේවගැතිවරයා ලෙසත් පසුව ලෙසෝතෝහි රදගුරු ලෙසත් සේවය කළේය.
ඔහු දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට සහ සුදු සුළුතර පාලනයට එරෙහිව හඬ නඟන්නට වූයේ මේ කාලයේය. වර්ණභේදවාදය වාර්ගික ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන බවට ඔහු ජාතික පක්ෂ රජයට අනතුරු ඇඟවූ අතර දකුණු අප්‍රිකාවේ සර්වජන ඡන්ද බලය ස්ථාපනය කිරීම සඳහා අවිහිංසාවාදී විරෝධයක් ගෙන ගියේය. සුදු ජාතිකයන් විසින් සිරගත කර සිටි තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොංග්‍රසයට සම්බන්ධ සන්නද්ධ වර්ණභේද විරෝධී කණ්ඩායමක් වන උම්කොන්ටෝ වි සිස්වේ කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් ටුටූ සාක්ෂි දුන්නේය. ඔහු ප්‍රකාශ කළේ තමා ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන නමුදු මේ කණ්ඩායම ප්‍රචණ්ඩත්වය යොදා ගත්තේ මන්දැයි යන්න වටහා ගත යුතු බවයි. වර්ණභේදවාදය අවසන් කිරීමට කළු අප්‍රිකානුවන් කළ අවිහිංසාවාදී උපක්‍රම අසාර්ථක වූ විට ප්‍රචණ්ඩත්වය හැර ඔවුන්ට වෙනත් මඟක් නොමැති බව රජය වටහා ගත යුතු බවද ඔහු කියා සිටියේය. දකුණු අප්‍රිකානු රජයට එරෙහි සන්නද්ධ අරගලයක් සාර්ථක නොවන බව පැවසූ ඔහු බටහිර ජාතීන් දකුණු අප්‍රිකාවේ සන්නද්ධ විමුක්ති කණ්ඩායම් හෙළාදැකීම කුහකකමක් යැයි චෝදනා කළේය. අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ක්‍රියාකාරිකයකු වූ නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි පෙත්සමකට ටුටූ අත්සන් තැබූ අතර එය රජය අතර ලිපි හුවමාරුවකටද මග පෑදීය.
1970 ගණන්වල ඔහු වර්ණභේදවාදයට එරෙහිව නැඟී සිටින විට, වර්ණභේදවාදයට සහය දුන් සුදු ජාතික කොන්සර්වේටිව්වරු ඔහු හෙළා දුටු අතර බොහෝ සුදු ලිබරල්වාදීහු ඔහු රැඩිකල් චරිතයක් ලෙස සැලකූහ. ඇතැම් කළු රැඩිකල්වාදීන් ඔහු ඉතා මධ්‍යස්ථව කටයුතු කරන බවත් සුදු සුහදත්වය වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවටත් චෝදනා කළ අතර මාක්ස්වාදී-ලෙනින්වාදීහූ ඔහුගේ කොමියුනිස්ට් විරෝධී ස්ථාවරය විවේචනය කළහ. එහෙත් ඔහු දකුණු අප්‍රිකාවේ කළු බහුතරයක් අතර ජනප්‍රිය චරිතයක් විය.
1979 දී ටූටූ දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ආර්ථික සම්බාධක පැනවීමට තමන් සහාය වූ බව ඩෙන්මාර්ක් මාධ්‍යවේදීන් කිහිප දෙනකුට ප්‍රකාශ කිරීම මත රජය ඔහුගෙන් ප්‍රශ්න කළේය. රජය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ අතර එය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙලා දැක්කේය. 1980 දී, වර්ණභේදවාදයට එරෙහිව සිවිල් විරෝධතා පැවැත්වීම හේතුවෙන් ත්‍රෝන් නමැති සමාජ ක්‍රියාකාරිකයකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ටුටූ සහ ජේ. වින්ග් විරෝධතා පාගමනක් මෙහෙය වූ අතර, එම අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන එක රැයකින් නඩු අසා දඩයක් පමුණුවා සිරගත කිරීමට එරට අධිකරණය කටයුතු කළේය. මෙහිදී පැවිදි නායකයන් වර්ණභේදවාදය අවසන් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියද එය අසාර්ථක විය. සමහර පූජකයන් මෙම සංවාදය අර්ථ විරහිත දෙයක් ලෙස දුටු නමුදු ටුටූ එම අදහසට එකඟ නොවීය, ''මෝසෙස් ඊශ්‍රායෙල්වරුන් නිදහස් කර ගැනීම සඳහා යළි යළිත් පාරාවෝ වෙත ගියේ යැ''යි ඔහු කීවේය.
1981 ජනවාරියේ රජය ටුටූගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට ආපසු ලබාදීමට පියවර ගත්තේය. මාර්තු මාසයේදී, ඔහු යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සති පහක සංචාරයක් ආරම්භ කළේය, එක්සත් ජාතීන්ගේ මහලේකම් කුර්ට් වෝල්ඩ්හයිම් ඇතුළු දේශපාලනඥයන් රැසක් හමුවීමට සහ වර්ණභේදවාදයට එරෙහි එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුව ඇමතීමටද ඔහුට හැකි විය. යළි දකුණු අප්‍රිකාවට ආපසු පැමිණි පසු, ජනාධිපති බෝතා නැවතත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළේ ටුටූහට විදේශවලින් ලබාදීමට නියමිත වූ ගෞරව උපාධි කිහිපයක් හිමිවීම වළක්වාලීමේ අරමුණිනි. එය යළි ඔහුට ලැබුණේ මාස 17කට පසුවය. 1982 සැප්තැම්බරයේදී ටූටූ ඇමෙරිකාවට ගියේය. එහි ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත් වූ අතර මාර්ටින් ලූතර් කිං ජූනියර්ට සමාන චරිතයක් ලෙස ඇමරිකානුවෝ ටුටූ හැඳින්වූහ. එහෙත් පැට් බුචානන් සහ ජෙරී ෆෝල්වෙල් වැනි සුදු කොන්සර්වේටිව්වරු ඔහු කොමියුනිස්ට් හිතවාදියකු යැයි චෝදනා කළහ.
ටූටූගේ ක්‍රියාකලාපය දකුණු අප්‍රිකාවේ බොහෝ පුවත්පත් සහ සුදු ජාතික සුළුතරය, විශේෂයෙන් වර්ණභේදවාදයට සහය දුන් ගතානුගතික සුදු ජාතිකයන් කෝපයට පත් කළේය. ''ද සිටිසන්'' පුවත්පත සහ දකුණු අප්‍රිකානු ගුවන් විදුලිය වැනි රාජ්‍ය ගැති මාධ්‍ය ඔහුව විවේචනය කළේය. විට් වොල්වේ වැනි සුදු අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වලින් ඔහුට වෛරී ප්‍රකාශ ඇතුළත් ලිපි හා මරණ තර්ජන සහිත ලිපි ලැබිණි.
1985 දී, ටූටූ ජොහැන්නස්බර්ග්හි රදගුරු පදවියට පත් වූ අතර 1986 දී දකුණු අප්‍රිකාවේ ඇංග්ලිකානු ධුරාවලියේ ජ්‍යෙෂ්ඨතම තනතුර වූ කේප්ටවුන්හි අගරදගුරු පදවියට පත් විය. එම තනතුරු දැරෑ පළමු කළු අප්‍රිකානුවා වූයේ ඩෙස්මන්ඩ් ටුටූය.
මෙම ස්ථාවරය තුළ, ඔහු නායකත්වයේ සම්මුතිය ගොඩනැගීමේ ආකෘතියක් අවධාරණය කළ අතර කාන්තාවන්ට පූජකවරියන් ලෙස කටයුතු කිරීමට අවකාශ සලසා දුන්නේය. 1986දී, ඔහු සමස්ත අප්‍රිකානු දේවස්ථාන සම්මේලනයේ සභාපති බවට පත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මහාද්වීපය පුරා විවිධ සංචාරවල නිරත විය. 1990 දී ජනාධිපති එෆ්. ඩබ්ලිව්.ඩී. ක්ලර්ක් විසින් වර්ණභේද විරෝධී ක්‍රියාකාරිකයකු වූ බැවින් සිරගත කර සිටි නෙල්සන් මැන්ඩෙලා සිරෙන් නිදහස් කිරීමට පියවර ගත්තේය. වර්ණභේදවාදය අවසන් කිරීමට සහ බහු-වාර්ගික ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමට ක්ලාර්ක් සහ මැන්ඩෙලා අතර පැවැති සාකච්ඡාවලට නායකත්වය දුන් ටුටූ ප්‍රතිවාදී කළු ජාතික කණ්ඩායම් අතර මැදිහත්කරුවෙක් ලෙස කටයුතු කළේය.
1994 මහ මැතිවරණයෙන් පසු දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ නායකත්වයෙන් යුත් සභාග ආණ්ඩුවක් නිර්මාණය කෙරුණු අතර, වර්ණභේදවාදයට පක්ෂ සහ විරෝධී කණ්ඩායම් විසින් සිදු කරන ලද අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ සභාපතිවරයා ලෙස ටුටූ තෝරා ගන්නා ලදී. වර්ණභේදවාදය බිඳ වැටීමෙන් පසු ටූටූ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අතර ලෝක සාමය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළේය, ඊශ්‍රායල-පලස්තීන ගැටුමේදී පලස්තීනුවන්ට ඔහුගේ සහයෝගය හිමි වූ අතර ඉරාක යුද්ධයට ඔහුගේ විරුද්ධත්වය පළ කළේය. මැන්ඩෙලාගෙන් පසු පත්වූ දකුණු අප්‍රිකානු ජනාධිපතිවරුන් වන තාබෝ එම්බෙකි සහ ජේකබ් සූමාගේ පාලනය සම්බන්ධයෙන් ඔහු විවේචනය කළේය. 2010 දී ඔහු පොදු ජීවිතයෙන් විශ්‍රාම ගත්තේය.
අගරදගුරු ටුටූ හට 1984 දී නොබෙල් ත්‍යාගය හිමි වූයේ සුළුතර සුදු පාලනය විසින් කළු ජාතිකයන්ට සිදුකරන ලද වර්ගවාදී මර්දනයට එරෙහිව කළ අවිහිංසාවාදී විරෝධය ඇගයීමක් ලෙසිනි. වර්ණභේදවාදයට එරෙහි ක්‍රියාකාරකම් සම්බන්ධ ඔහුගේ මැදිහත් වීම ජාත්‍යන්තරව පැසසුමට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නොබෙල් සාම ත්‍යාගය ඇතුළු සම්මාන රාශියක් ඔහුට හිමි විය.
ටුටූ ඉරිදා උදෑසන කේප්ටවුන් සාත්තු නිවාසයකදී ''සන්සුන්ව'' මියගිය බව ඔහුගේ හිතවතකු මාධ්‍යයට පවසා තිබිණි. දුර්වල තත්ත්වයකින් රෝද පුටුවක අවසාන කාලය ගතකළ ඔහු අවසන්වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ වර්ණභේදවාදයට එරෙහි ක්‍රියාකාරීන්ගේ ආරක්ෂිත මධ්‍යස්ථානයක්ව පැවැති කේප්ටවුන්හි ශාන්ත ජෝර්ජ් ආසන දෙව්මැදුරේදී ඔහුගේ 90 වැනි උපන්දිනය වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පැවැති දේව මෙහෙයට සහභාගී වූ අවස්ථාවේය.
අගදරදගුරු ටුටූගේ අභාවයෙන් පසු දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා සඳහන් කළේ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ කළු ජාතිකයන් අතර සිටි ප්‍රමුඛතම දේශප්‍රේමියන්ගෙන් අයෙක් ලෙසිනි. ''ඔහුගේ වියෝව අපට පමණක් නොව සමස්ත ලෝකයටම වියෝවකැ''යි ඔහු කියා සිටියේය.
වඩා යහපත් නිදහස් හා සමානාත්මක ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ටුටූ ඔහුගේ අධ්‍යාත්මික කැඳවීම අනුගමනය කළ බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසීය. ''ඔහුගේ ක්‍රියා කලාපය දේශසීමා ඉක්මවූවක් වූ අතර එය යුග ගණනක් පුරා ජනතාවගේ මතකයේ රැඳෙනු ඇත.'' යනුවෙන් ඔහු සඳහන් කළේය.
''අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මට සහ තවත් බොහෝ දෙනෙකුට උපදේශකයෙක්, මිතුරෙක් සහ සදාචාරාත්මක මාලිමාවක් විය,'' යනුවෙන් හිටපු ජනාධිපති බැරක් ඔබාමා පැවසීය. ''ඔහු කිසි විටෙකත් ඔහුගේ අරමුණ සහ ඔහුගේ විරුද්ධවාදීන් තුළ මනුෂ්‍යත්වය සොයාගැනීමට ඇති කැමැත්ත නැති කර ගත්තේ නැත.'' යනුවෙන් ඔහු කියා තිබිණි. හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ටුටූගේ ජීවිතය හැඳින්වූයේ දෙවියන් විසින් දුන් ත්‍යාගයක් ලෙසිනි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා