2022 ජනවාරි 01 වන සෙනසුරාදා

දෙහිවල සතුන් වත්තට යළිත් වසන්තය

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 283

කොවිඩ් වසංගතයෙන් මාස ගණනාවක් වසා තැබුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානය පසුගියදා නැවත මහජනයා වෙනුවෙන් විවෘත වුණි. වසර අවසාන නිවාඩු කාලයත්, පාසල් නිවාඩුවත් මෙන්ම මාස ගණනාවක් යන්නට බැරිවුණු සත්වෝද්‍යානය විවෘත කිරීමත් සමඟ නැවතත් බොහෝ පිරිසක් ඒ වෙත පැමිණෙමින් සිටිති. මේ අතර පසුගිය නත්තල් සමය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යානයේ පැවැති වැඩසටහන් හේතුවෙන්ද මහජනතාවගේ පැමිණීම සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගියේය.

''දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මියගේ අදහසකට අනුව තමයි අපි මේ වැඩපිළිවෙළ අලුතින් පටන් ගත්තේ. දෙහිවල සත්වෝද්‍යානයේදී නත්තල වෙනුවෙන් මෙතෙක් අපි කිසිම වැඩසටහනක් කරල තිබුණේ නැහැ. කොවිඩ් හේතුවෙන් මාස ගණනාවක්ම සත්වෝද්‍යානය වසා තැබීමට අපිට සිදුවුණා... නැවත ආරම්භ කළාට පසුව සංචාරක ආකර්ෂණය දිනාගැනීමට තමයි අපි මේ දේ කළේ. ඒ නිසා අපි නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් සත්වෝද්‍යානයේ සැරසිලි කිහිපයක්ම සිදුකළා. ඒ වගේම සත්වෝද්‍යානයට එන දරුවන් වෙනුවෙන් නත්තල් සීයා ගෙන්වා වැඩසටහන්ද පැවැත්වූවා. ඒ සියල්ලටම බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ඒ දින කිහිපය තුළදී දෙහිවල සත්වෝද්‍යානයේ සැලකිය යුතු ඉහළ ආදායමක්ද වාර්තා කළා.''

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාස කිහිපය තුළදී අලුතින් සත්ව පැටවුන් පස්දෙනෙකු බිහිවුණි. ඒ ඇරබියන් ඔරික්ස් ගවයකු, බූරැ පැටවකු, නයිල් හිපෝ පැටවකු සහ සිළු වඳුරු පැටව් දෙදෙනෙකි. මෙම පැටව් පස්දෙනාට නත්තල් දිනදා නම් තැබීමට ජාතික සත්වෝද්‍යානය තීරණය කර තිබුණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ දැනුම් දුන් අතර එයට මහජනතාවගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබිණි.

''මේ අලුත ඉපදුණු සත්ව පැටව් පස්දෙනාට නම් විශාල ප්‍රමාණයක් ලැබුණා. ලංකාවේ විවිධ පළාත්වලින් ඉතා හොඳ ප්‍රතිචාරයක් එයට ලැබුණා. පසුව කමිටුවක් මඟින් ඒ නම්වලින් නම් පහක් අපි තේරැවා. ඒ අනුව ඒ නම් පහ එවූ දරුවන් පස්දෙනාට සහ ඔවුන්ගේ පවුල් පහට අපි නත්තල වෙනුවෙන් සත්වෝද්‍යානයට ආරාධනා කළා. එදින මේ අලුත් උපන් පැටවුන් සමග ඔවුන් ඡායාරූප ගැනීමටද අවස්ථාව උදාවුණා... එදා ජාතික සත්වෝද්‍යානයට ආ හැමදෙනාටම සතුටු දවසක්.'' යැයිද සහකාර අධ්‍යක්ෂිකා මානවඩු මහත්මිය වැඩිදුරටත් පැවසීය.

එතැන් සිට මෙම පැටවුන් පස්දෙනා මහජන ප්‍රදර්ශනය සඳහා පැටවුන්ගේ මවගේ රැකවරණය යටතේ තැබීමට කටයුතු කර ඇත. ජාතික සත්වෝද්‍යානයට පැමිණෙන නරඹන්නෝ මෙම පැටවුන් බලා ඡායාරූප ගැනීම අනිවාර්යයෙන්ම සිදුකරති. පැටවුන්ට නම් තැබීමේ දිනය දා බොහෝ පිරිසක් සත්වෝද්‍යානයට පැමිණ තිබුණි. විශේෂයෙන් විදෙස් සංචාරකයන් බොහෝමයක්ද කලකට පසුව දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණෙමින් සිටින බවද වාර්තා විය.

මේ වනවිට ජාතික සත්වෝද්‍යානය උදෑසන අටයි තිහේ සිට සවස පහ දක්වා විවෘතව පවතී. දවස මුළුල්ලේ සතුන් නැරඹීමේ පහසුකම් විවෘතව තිබේ. පවතින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ වෙනදා පැවැත්වෙන සත්ව සංදර්ශන මේ දිනවල නොපැවැත්වෙන අතර එයින් එක් ස්ථානයකට වැඩි සෙනඟ පිරිසක් ඒකරාශි වීම වැළැක්වේ. නමුත් ඉදිරි කාලයේදී සෞඛ්‍ය අංශයේ උපදෙස් හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව එම සංදර්ශන පැවැත්වීමට තීරණය කර ඇත. කොවිඩ් අවදානම් තත්ත්වයක පවතින මෙම කාලය තුළදී නිතරම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව සංචාරය කරන ලෙස සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් උපදෙස් ලබාදී ඇත. ඒ අනුව සත්වෝද්‍යානයට පැමිණෙන සියලුම ජනතාවගේ දෑත් විෂබීජහරණය කරන අතර මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

ජාතික සත්වෝද්‍යානයට එන ජනතාවගෙන් බොහෝමයක් අලුත උපන් සත්ව පැටවුන් රඳවා තබා ඇති සත්ව නිවාස අසලට ගොස් ඔවුන් නරඹන අන්දම දැකගත හැකි විය. මේ සතුන් පස්දෙනාම තවමත් මව්කිරි බොන සතුන්ය. සිළු වඳුරු පැටවුන් දෙදෙනාම නිරන්තරයෙන්ම සිටින්නේ මව් ඇකයේය. මේ ගෙවුණු සති කිහිපය තුළදී සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී තිබිණි. විශේෂයෙන් සති අන්තයේදී සතුන් නරඹන්නට එන පිරිස වැඩිය. ඒ නිසා ආදායම රු. මිලියනය ඉක්මවූ දිනද තිබුණි. අක්කර විසිතුනක වපසරියක් ඇති නිසා සංචාරකයන් රැඳී සිටින කොටසේ තදබදයක් නැත. මේ වනවිටත් විශේෂ සත්ව වර්ග දෙසීය පනස් පහක් පමණ දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් ජනතාවට නැරඹිය හැක.

“මාස ගණනකට පස්සේ අපි දරුවන් එක්ක සතුන්වත්තට ආවා. දරුවන්ටත් සතුටුයි. අපිටත් සතුටුයි. බලන්න ගොඩාක් සත්තු ඉන්නවා. හරිම පිළිවෙළට කූඩු එහෙමත් තියෙනවා. අද ගොඩක් කාලයකට පස්සේ අපේ දරුවෝ විනෝද වුණා. ගෙවල්වලටම හිරවෙලා හිටපු දරුවන්ට දෙහිවල සත්තුවත්ත සතුටු වෙන්න හොඳ තැනක්...'' යැයි මග්ගොන මොහොමඩ් හසීම් දේශයට පැවසීය.

අලුත උපන් ඇරබියන් ඔරික්ස් ගැහැණු පැටවා ''සෝරා'' නමින්ද පිරිමි බූරු පැටවා ''ඩිනෝ'' නමින්ද, නයිල් හිපෝ පැටවා ''ඔකී'' නමින්ද නම්කර ඇති අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයට යන ඔබට මාෂා නම් ගැහැනු සිළු වඳුරු පැටවාත් ''ඩැන්ඩි'' නම් පිරිමි සිළු වඳුරු පැටවාත් නැරඹීමේ හැකියාව පවතී.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05