2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඒකාබද්ධ සමාගමක් යටතට

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 153

රටේ පවතින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩඒම සඳහා රජය මේ වනවිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් යටතට පත් කිරීමට කටයුතු කරමින් සිටියි. ට්‍රින්කොමලී පෙට්රෝලියම් ටර්මිනල්ස් ලිමිටඩ් නමැති එම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා IOC සමාගම සමඟ ඒකාබද්ධවයි. එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබාදීමට යෝජනා වී තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ පවසා සිටියේ දැනට මෙම යෝජනාව සාකච්ඡා මට්ටමේ පවතින බවයි. ඉදිරි සතිය වනවිට මේ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙනු ඇතැයි ඔහු කියා සිටියේය.

ත්‍රිකුණාමලය වරායට ආසන්නව ඇති තෙල් ටැංකි සංකීර්ණය මේ වනවිට ටැංකි 99 කින් සමන්විතය. 2003 වසරේ එවක රජය විසින් ඇතිකරගත් ගිවිසුමක් මත එම ටැංකි 99ම ලංකා IOC සමාගමට බදු දී පැවරෑ අතර මේ වනවිට ඉන් 14ක මෙහෙයුම් කටයුතු ලංකා IOC සමාගම යටතේ සිදුවෙයි. තෙල් ටැංකි සංකීර්ණය පිහිටි භූමියේ විශාලත්වය අක්කර 500කි. අක්කර 500ක භූමි භාගයකින් සමන්විත ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ කොටස් නව සමාගම වෙත ලබාදීමට යෝජනා වී ඇත්තේ කුමන කොන්දේසි යටතේද, එම සමාගමට ලංකා IOC සමාගම කොපමණ මුදලක් අයෝජනය කරන්නේදැයි මෙතෙක් අනාවරණය කර නැත.

දශක ගණනාවක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති ව්‍යාපෘතියක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමකට මාසයක් ඇතුළත අත්සන් කරන බවට ඉන්දියාවේ හින්දු පුවත්පතට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසූ බවට එම පුවත්පත වාර්තා කරයි. අපි මේ ගැන මාස 16ක් තිස්සේ සාකච්ඡා කළා, දැන් අපි ඉන්දියාව සමඟ ත්‍රිකුණාමල ව්‍යාපෘතියේ කොන්දේසි අවසන් කිරීමට ඉතා ආසන්නයි. අපි මාසයක් ඇතුළත ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද හින්දු පුවත්පතට පැවසීය.

• ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉතිහාසය

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිර්මාණය කළ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය මුලින් තෙල් ටැංකි 101කින් සමන්විත විය. එයින් දැනට ඉතිරිව ඇත්තේ ටැංකි 99ක් පමණි. එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම විශාලම තෙල් ටැංකි සංකීර්ණයයි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි එක්ව 1987දී අත්සන් තබන ලද ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිදු රටක් සමග ගනුදෙනු නොකිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටියි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව, 2003 දී අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ඉන්දීය ඛනිජ තෙල් සමාගම (IOC) සමඟ ගිවිසුමකට අත්සන් තැබුවේය. එම ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් වසර 37ක කාලයක් සඳහා බදුදීම මෙන්ම, ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් 1/3ක් ඉන්දීය ඔයිල් සමාගමට පැවරිණි. එවක් පටන් IOC සමාගම භාවිත කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 14ක් පමණි. තවත් එකක් අලුත්වැඩියා කර ඇත.

තෙල් ටැංකි දැනටමත් ඉන්දියාව සතුයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි මේ වනවිටත් ඉන්දියාව සතු වී ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් මීට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරනු ලැබීය. 1987 ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ සහ 2003 ගිවිසුම යටතේ මෙම තෙල් ටැංකි ඉන්දියාවට භාරදී අවසන් බවද ඔහු කියා සිටියේය. තමන් උත්සාහ කරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි සංකීර්ණය යළිත් මෙරටට ලබා ගැනීමට පමණක් බවද උදය ගම්මන්පිල අමාත්‍යවරයා අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අවධාරණය කළේය.
කෙසේ නමුත්, ජාතික සේවක සංගමයේ ඛණිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා මෙම තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති ප්‍රකාශ සියල්ල මේ වනවිට නිෂේධනය වී ඇති බවයි. ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන් ලබාගැනීම සඳහා මේ සතිය තුළ මෙම යෝජනාව අනුමත කෙරෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙය ඉතා බරපතලයි. දැන් සේවකයන්ට බුදියන් ඉන්න බැහැනේ. ඛණිජ තෙල්, වරාය, විදුලිබල සේවයකයන්ට බුදියන් ඉන්න බැහැ. දැන් අවදිවෙන්න ඕනේ, ඔහු ප්‍රකාශ කළේය.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ශතයක්වත් අපිට හම්බවෙන්නේ නැහැ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම මඟින් වාර්ෂිකව මෙරටට ලැබෙන ඩොලර් ලක්ෂය ලැබෙන්නෙත් නැහැ.

මේ ජොයින්ට් වෙන්චර් එකේදී CPC එකට ගිහින් එතන මුකුත් කරන්න බැහැ, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 84 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතුව තිබෙන බව විශේෂඥයන් පවසන අතර ටැංකි 16ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි. රුපියල් මිලියන 50ක පමණ මුදලක් ඒ සඳහා වැයවනු ඇති බව පවසන වෘත්තීය සමිති, ඉන් අනතුරුව ක්‍රමානුකූලව අනෙක් ටැංකි අලුත්වැඩියා කළ හැකි බව බීබීසී සිංහල සේවයට පැවසීය.

එබැවින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීම පිණිස ඉන්දියාව සමග හවුල් ගිවිසුමකට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආර්ථික වාසියක් අත්නොවන බව වෘත්තීය සමිතිවල මතය වී ඇත. එම ටැංකිවල අයිතිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරන මෙන් ඉල්ලා සිටින වෘත්තීය සමිති, එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන ලාභදායී ව්‍යාපාරයක් බවට පත්කිරීමට තමන්ට හැකියාව තිබෙන බව අවධාරණය කරයි. විවිධ අමාත්‍යවරුන් පවසා සිටියේ මෙම තෙල් ටැංකි සංකීර්ණයේ අයිතිය නැවතත් ලංකා ඛනිජතෙල් සංස්ථාව වෙත පවරාගන්නා බවයි. එහෙත් මෙතෙක් එය සිදුකිරීමට කිසිවෙකුට හැකියාව ලැබී නැත.

මෙම ගනුදෙනුව පිළිබඳව නම සඳහන් කිරීමට අකමැති නිලධාරියකු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තෙල් ටැංකි 99න් 24ක් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පැවරීමට මෙම නව ගිවිසුමෙන් කටයුතු කරන අතර ඉතිරි ටැංකි 66 මෙම නව සමාගම හරහා සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

• ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානවල ක්‍රියාත්මක ඉන්දීය ව්‍යාපෘති

කොළඹ වරායේ අක්කර පහක් වූ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය සමාගමක් වන අදානි සමූහයත් සමඟ සැප්තැම්බර් මස 30 වැනිදා ගිවිසුම් අත්සන් කළේ ය. මෙමගින් එහි 51%ක කොටස් අදානි සමූහයට හිමිවෙයි.

අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් 34%කුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක කොටස්ද හිමිවෙයි. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයකි.

කන්කසන්තුරේ වරායද වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ඉන්දීය එක්සිම් බැංකුව සමග 2018 වසරේදී ගිවිසුමකට එළඹිනි. ඒ, එම වරාය සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45.27ක ඉන්දීය ණය ආධාර ලබා ගැනීම සඳහාය.

කන්කසන්තුරේ වරාය නැගෙනහිර ඉන්දියාවේ සියලු වරායන්වලටද, බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වරායන්වලටද වඩාත් සමීපතම වරාය වේ. වෙළෙඳ නෞකා හැසිරවීම සඳහා නව ජැටියක් තැනීමට, සහ වරාය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඉන්දීය ණය ආධාර යොදා ගැනෙනු ඇති.

බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිණි.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05