ජීවන වියදම අහස උසට යනවිට එය අල්ලා ගැනීමට රොකට්ටුවක්, ගුවන් යානයක් නොමැති රට්ටුන්ට ඉනිමඟක් හෝ සපයා දීමට අවසානයේ ආණ්ඩුව කටයුතු කළේය. අප මෙලෙස විමසා බලන්නට සූදානම් වන්නේ පසුගිය සතියේ හඳුන්වා දුන් සහන පැකේජයේ කතාවයි. රාජ්‍ය ආදායමද පහළ මට්ටමක පවතින අවස්ථාවක මෙවන් සහන පැකේජයක් ලබාදීමට ආණ්ඩුව ගත් තීරණය සුවිශේෂීය. රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා කෙරෙහි ආණ්ඩුව සංවේදී වී ඇති බව සරලවම ඒ හරහා පෙනීයයි. එහෙත් එම සංවේදී වීම ශක්‍යතාව සහ ප්‍රාමාණික අගය පිළිබඳ යම් ගැටලුවක් තිබේ.
2022 ක වසරේ සිට ආණ්ඩුකරණයේ වෙනසක් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දුව කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සහන පැකේජ හඳුන්වාදීම සිදුවිය. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සලකා මෙවන් සහන පැකේජයක් ලබාදිය යුතු බව තීරණය කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. පසුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම පැකේජය සැලසුම් කොට තිබේ. ඒ අනුව පසුගිය සඳුදා කැබිනට් අනුමැතියද සහිතව පළමුවරට මෙම සහන පැකේජ පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජ්‍ය මහතා හෙළිදරව් කළේය.
ඒ අනුව කොව්ඩ් වසංගතය සහ ආර්ථික ගැටලුවලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. එම සහන අතර කැපී පෙනෙන යෝජනාව වූයේ රුපියල් 5000 ක දීමනාවයි. ඒ අනුව මේ වනවිටත් රාජ්‍ය සේවයේ නියුතු සියලු දෙනාටම අමතර රුපියල් පන්දහසක් මාසිකව ගෙවීමට තීරණය කර ඇත.
ජනවාරියේ සිට ගෙවීම් ආරම්භ වේ. රාජ්‍ය, සංස්ථා හා මණ්ඩලවල සේවක ප්‍රජාවද ඊට අයත්ය. සමස්තයක් ලෙස ගත් කළ ලක්ෂ පහළොවකට ආසන්න පිරිසකට ඉහත ගෙවීම ලැබේ. මීට අමතරව විශ්‍රාමිකයන්ට සහ ආබාධිත සොල්දාදුවන්ටද පන්දහසේ දීමනාව ලබාදීමට නියමිතය. විශ්‍රාම වැටුප් ලබන පිරිස ලක්ෂ හයකට වැඩිය. ඒ අනුව මෙම දීමනාව රටේ සමස්ත ජනගහනයෙන් විසි එක් ලක්ෂක් පමණ ජනයා වෙත ලැබෙනු ඇති බව පැහැදිලිවේ. ආසන්න වශයෙන් 21ක් ලක්ෂයක් පුරවැසියන් සඳහා රුපියල් 5000 බැගින් ලබාදීමේදී රුපියල් බිලියන 10 කට අධික මුදල් වැය වේ.
ඓතිහාසික මූල්‍ය අර්බුදයක මැදිව සිටින රටකට මෙවන් අමතර වියදමක් දැරිය හැකිද යන්න මතභේදාත්මකය. කෙසේවෙතත් මේ හරහා කාලීන ආර්ථික අර්බුද හමුවේ පීඩා විඳින මිලියන දෙකකට වඩා වැඩි ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලට යම් සහනයක් සැලසෙනු ඇත. සැබවින්ම මෙලෙස දීමනාව ලබන අයගේ පවුල් නඩත්තුව දෙස බලන විට රටේ ජනගහනයෙන් සැලැකිය යුතු පිරිසක් මෙම සහනයේ ප්‍රතිලාභ ලැබීමට නියමිත බව කිව යුතුය. අර්බුදයේ ගැඹුරු හෝ අනාගත පිළිබඳ සංවාදය කුමක් වුවද මෙය ජනතාව පාර්ශ්වයෙන් සහනදායී ප්‍රවේශයකි.
මෙම සහන පැකේජ ඉදිරිපත් කරමින් සියලු ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍යවල බදු ඉවත් කරන බවද මුදල් අමාත්‍යවරයා කීවේය. මෙම තීරණය හරහා රජයට අහිමිවන බදු ආදායම කොපමණද යන්න පැහැදිලි නැතත් වර්තමාන ආර්ථික තත්ත්වය සැලකීමේදී මෙයද සහනදායී තීන්දුවකි. මීට අමතරව නව සහන පැකේජය හරහා සමෘද්ධීලාභීන් හට දැනට ලබාදෙන රුපියල් 3500/-ක මාසික දීමනාව රුපියල් 1000/-කින් ඉහළ නංවන අතර රුපියල් 3500/-ට වඩා අඩුවෙන් ලැබෙන සමෘද්ධි සහනාධාරයද සමානුපාතිකව වැඩිවෙනු ඇත.
මීට අමතරව සේවක අර්ථ සාදක අරමුදලේ ලියාපදිංචි සෑම වතු කම්කරු පවුලකටම ඉදිරියේදී මසකට තිරිඟු පිටි කිලෝ 15ක් කිලෝව රුපියල් 80/-ක සහන මිලකට ලබාදීම මෙම සහන පැකේජය හරහා සිදුවනු ඇත. ඒ අනුව සමස්තයක් ලෙස මේ මොහොතේ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අඩු ආදායම්ලාභී ජනතාවද නව සහන පැකේජයේ ප්‍රතිලාභීන් වේ. රටතුළ පවතින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පීඩිතයන් බවට පත් වී සිටින අඩු ආදායම්ලාභී ජනතාවට මෙම සහන ප්‍රමාණවත්ද යන්න ගැටලු සහගතය. එහෙත් කිසිවක් නොලැබුණු පසුබිමක මෙවන් හෝ සහනයක් ලැබීම පිළිබඳ ඔවුන් සතුටුවනු ඇතැයි සිතිය හැකිය.
පොහොර අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වූ පීඩාවට පත්වන ගොවීන් ඉලක්ක ගතව සහන ලබාදීමේ යාන්ත්‍රණයද මීට සමගාමීව ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මෙම සහන පැකේජ හරහා ලබන කන්නයේදී අස්වනු අඩු වුවහොත් රුපියල් 50ක සහතික මිලට අමතරව වී කිලෝවකට රුපියල් 25ක අතිරේක මුදලක් ගෙවීමටද රජය තීරණය කර ඇත. වෙළෙඳපොළ සහල් මිලට බලපෑමක් නොවන පරිදි අතිරේක මුදල රජය විසින් දරා ගැනීමට සැලසුම් කොට තිබේ. පොහොර ප‍්‍රශ්නය හේතුවෙන් වී අස්වැන්න සීයයට 20ත් 30ත් අතර ප‍්‍රමාණයකින් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කරන බව මුදල් අමාත්‍යවරයා මේ වනවිටත් සඳහන් කොට තිබේ. ඒ අනුව රු.75ක සහතික මිල ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට රජයට නියත වශයෙන්ම සිදුවනු ඇත. එහෙත් එයද සරල කටයුත්තක් නොවන බව කිව යුතුය.
අවශ්‍ය අවස්ථාවන්හී දී දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ යෝජනාවක් ඉදිරිපත් වී ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ද්‍රව්‍ය බදුවලින් නිදහස් කිරීමේ සැලසුම ඉදිරිපත් වන්නේ ඒ අනුවය. මේ අතර සහන පැකේජ හරහා දිවිනැඟුම වැඩපිළිවෙළ නැවත ක‍්‍රියාවට නැංවීමටද සැලසුම් කොට තිබේ. ඊට සමගාමීව ගෙවතු වගාවන් සඳහා දිරිදීමනාවක් ලබාදීමටද රජය බලාපොරොත්තු වෙයි. ඒ හරහා අක්කරයකට රු.10000 දක්වා දිරි දීමනාවක් ගෙවතු වගාවන් සිදුකරනු ලබන පිරිසක් වෙත ලැබෙනු ඇත. පැවතීම ආහාර අර්බුද හමුවේ තම පරිභෝජනය සඳහා ආහාර නිෂ්පාදනයට ජනතාව දිරිමත් කිරීම මෙහි අපේක්ෂාව බව පැහැදිලිය.
බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පැහැදිලි කරන පරිදි ජනතාව ආර්ථික පීඩාවෙන් මුදවා ගැනීම සඳහා පස්මහ බැලුම් බලා හොඳම කාලයේදී සහන ලබාදීමට රජය තීන්දු කර ඇත. ජනතාවට සහන සැළසෙන එම පැකේජය සඳහා වසරකට රුපියල් බිලියන 229ක් වැයවෙන බවද ඔහු සඳහන් කරයි. ඊට අනුව රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000/ක දීමනාව ගෙවීමට වසරකට රුපියල් බිලියන 87ක් විශ‍්‍රාමිකයින් සඳහා රුපියල් බිලියන 40ක් ගෙවතු සහනාධාරය සඳහා රුපියල් බිලියන 31ක් ආදී වශයෙන් වැයවෙන බව කියැවේ.
කෙසේවත් මෙම සහන ක්‍රියාවලිය හරහා උද්දමනය තවදුරටත් ඉහළ ගොස් ආර්ථික අර්බුද බරපතළ වන බව විපක්ෂ කණ්ඩායම් සහ ඇමති ආර්ථික විද්‍යාඥයන් සඳහන් කර ඇති බව සිහිපත් කළ යුතුය. එහෙත් රජය පෙන්වා දෙන්නේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම, විදේශ රුකියා නියුක්තිය වැඩි කර ගැනීම, සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම ආදී ක්‍රම මඟින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්‍ෂා කරන බවයි. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයෙන් පමණක් මේ වසරේදී රුපියල් කෝටි 200ක ආදායමක් අපේක්‍ෂා කරන බව මුදල් අමාත්‍යවරයා පවසා ඇත. රාජ්‍ය ආයතනවල වියදම කපාහැරීම මඟින්ද මුදල් ඉතිරි කරගත හැකි බව රජයේ පාර්ශව පෙන්වා දෙයි.
එකින් එකට පරස්පර මතක කොතරම් ප්‍රකාශයට පත්වුවද අවසානයේ කිවයුත්තේ ආර්ථික අසහනය සහන ලබාදීමට උත්සාහ දැරීම යහපත් කටයුත්තක් බවය. එහෙත් එය කොතරම් යහපත්ද යන්න තීරණය වන්නේ කියූ ලෙසටම සහන ලබාදීම සහ සහන හේතුවෙන් තවත් ආර්ථික අසහනයක් ඇතිවීම වළක්වා ගැනීමට ආණ්ඩුව සමත්වීම තුළිණි. කෙසේ නමුත් පවතින වටපිටාව තුළ අනාගතය විනිශ්චය කිරීමට අපට නොහැක. ජනතාව මෙන්ම අපටද සිදුකළ හැක්කේ අවබෝධයෙන් සහ උපේක්ෂාවෙන් සිදුවන දෙය බලා සිටීම පමණි.
චමිඳු නිසල් ද සිල්වා