අභිරහස් ලෙස අතුරුදන්ව ඇතැයි කී කොටදෙණියාව බාඳුරාගොඩ ප්‍රදේශයේ පිරිමි ළමුන් දෙදෙනා දවස් 44කට පසුව මීරිගම නගරයේදී සොයාගත් බව පොලීසිය පවසයි. මාස එකහමාරක් පුරා ආන්දෝලානාත්මක මාතෘකාවක් වූ ළමුන් දෙන්නා වෙළෙඳසලකට පැමිණි අවස්ථාවේ එහි හිමිකරුට ඇතිවූ සැකයක් මත දරුවන් දෙන්නා පොලීසියට රැගෙන ගොස් බාරකළ බවද එහිදී දරුවන් සැකහැර හඳුනාගත් බවද පොලීසිය කියයි.
පසුගිය නොවැම්බර් 23 වැනිදා අතුරුදන් වූ බව කියන දරුවන් දෙන්නා මෙසේ දින 44කට පසුව යළිත් හමුව තිබුණේ ඉකුත් 6 වැනිදාය. දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් (10) හා ජයසේකර මුදලිගේ අකිල දේදුනු (12) නැමැති දරුවන් දෙදෙනා ආගිය අතක් නැතැයි කියමින් කොටදෙණියාව පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණේද ඉකුත් නොවැම්බර් 23 වැනිදාය.
අකිල දේදුනු හා කවීෂ සඳකැලුම් ඥාති දරුවෝ වෙති. ඔවුන් කොටදෙණියාව වත්තේමුල්ල බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. &දීපානි* දේදුනුගේ මව වන්නීය. ඇයගේ සැමියා මියගොස් ඇතත් ඔහුට දාව දරුවන් සය දෙනෙකි. දෙවැනි විවාහයක් සිදුකරගත් දීපානිට එම විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලැබී ඇත. ඒ අනුව දේදුනු පවුලේ හත්වැනි දරුවාය.
දීපානිගේ වැඩිමහල් දියණියක වූ අප්සරා විවාහ වී සිට තිබුණේ පස්සර ප්‍රදේශයේය. මැය විවාහ වී ඇත්තේ පෙර කසාදයක් සිදුකරගත් දරුවන් සිටි අයකු සමඟය. එම පෙර විවාහයේ දරුවකු බව කියන්නේ කවීෂ සඳකැළුම්ය. අතුරුදන් දරුවන්ගේ ඥාති සබඳතාව ගොඩනැගී තිබුණේ මේ ආකාරයටය. ඒ අනුව දීපානිගේ සෙසු දරුවන් කරදඬු උස් මහත් වූ අය බව කියැවේ.
දීපානිට හරි හමන් රස්සාවක් හෝ ආදායමක් නොවුණි. ඇය දරුවන් සමඟ පදිංචිව සිට ඇත්තේ රජයට අයත් ඉඩමකය. කාලයක් පුරාම ඇය දේවාලයක් පිහිටුවා ගැනීම සඳහා උත්සාහ කළාය. එහෙත් ගමේ ඇතැමුන්ගේ බලපෑම නිසා එය ව්‍යර්ථව ඇතැයි පැවසේ. කොවිඩ් අවදානම හමුවේ පාසල් නිවාඩු ලබාදී තිබියදී එතෙක් පස්සර ප්‍රදේශයේ සිටි සඳකැළුම් බාඳුරාගොඩ නිවසට පැමිණ තිබුණි. එතැන් සිට දේදුනු හා සඳකැළුම් කල්ගත කළේ එකටය.
අප්සරාගේ සැමියාගේ පෙර විවාහයක දරුවකු වුවද සඳකැළුම් වෙත අප්සරා දැක්වූයේ අපමණ සෙනෙහසකි. ඔහු පිළිබඳ උපන් ආදරය නිසා දීපානිද දරුවාට සැලකුවේ සිය මුණුපුරකු ලෙස සිතාය. අප්සරා සිය මව දීපානි සමඟ මීරිගම නගරයට ගොස් තිබුණේ නිවසට අවශ්‍ය කළමනා මිලට ගැනීම සඳහාය. ඒ පසුගිය නොවැම්බර් 23 වැනිදා පෙරවරුවේය. පැය කිහිපයකට පසුව නිවසට පැමිණි දීපානි - අප්සරා මව හා දියණියට දේදුනු හා සඳකැළුම් දකින්නට ලැබී නැත. ඒ බව ගණනකට නොගත් ඔවුන් සිතා ඇත්තේ දරු දෙන්නා සෙල්ලමේ නිරතව ඇති බවය. එහෙත් හෝරා දෙක තුන ගෙවී ගියද දරුවන් නිවසට පැමිණ නැත. නිවැසියන් තැතිගෙන දරුවන් සොයා තිබුණේ ඉන්පසුවය. ප්‍රතිඵලයක් නොවූයෙන් දරුවන්ගේ හදිසි අතුරුදන්වීම සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් සටහන් කර තිබුණි. ඒ එදිනම පස්වරුවේය.
පොලීසියට හෝ අතුරුදන් දරුවන් පිළිබඳව හෝඬුවාවක් ලැබුණේ නැත. ඒ අනුව පොලිස් මූලස්ථානය හරහා සෙසු පොලිස්ස්ථාන වෙතත් අනතුරුව මාධ්‍ය හරහාද දරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කෙරුණේ යම් තොරතුරක් ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි. එහිදී දරුවන්ගේ හැඩරුව හා අවසන්වරට ඇඳ සිටි ඇඳුම පිළිබඳවද විස්තර සහිතව ඔවුන්ගේ ඡායාරෑපයක් ප්‍රසිද්ධ කරනු ලැබීය. ඒ පොලිස් විමර්ශන අරඹා දින 19කට පමණ පසුවය. ඒ වනවිටත් දරුවන් සම්බන්ධයෙන් විමසා කටඋත්තර ගණනාවක් පොලිසිය සටහන් කර තිබූ අතර පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුවීම සම්බන්ධව විමර්ශනය කරමින් තිබුණි.
පොලිස් විමර්ශන සිදුකරන අතරතුර දරුවකුගේ මවක වන දීපානි නැමැත්තිය ලබාදුන් පරස්පර කටඋත්තර නිසා විමර්ශනවලට බාධා එල්ල වී තිබිණ. ඇය වරෙක කියා ඇත්තේ දරුවන් නොවැම්බර් 21 වැනිදා අතුරුදන්ව ඇති බවය. දීපානි යන අයගේ පුතෙක් කලකට පෙර පැවිදි වී කුරුණෑගල ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරයි. එම සාමනේර හිමියන් පවසා ඇත්තේ නොවැම්බර් 22 වැනිදා උන්වහන්සේ නිවසට පැමිණි බවය. එදින දරුවන් එහි සිටි බවද කියා ඇත. ඒ අනුව 23 වැනිදා තමා යළි විහාරයට වැඩම කිරීමෙන් පසුව අතුරුදන් වීම සිදුවන්නට ඇතැයිද කියා ඇත. මේ හේතු මත පොලීසිය කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක්ද පරීක්ෂාවට ලක්කර ඇත. මේ සමඟ දරුවන් සැඟවී සිටින හෝ රඳවා සිටින ස්ථානයක් පිළිබඳ නිවැසියන් තොරතුරු සඟවන බවට පොලීසිය සැකකර තිබිණ.
අතුරුදන් දරුවන් පිළිබඳ සොයා මාධ්‍ය ආයතන කිහිපයක්ද එම නිවෙස වෙත ගොස් තිබුණි. එහිදී දීපානි නැමැත්තිය කියා තිබුණේ අමුතු කතා පෙළකි. විටෙක ඇය අදහස් ප්‍රකාශ කර තිබුණේ දැඩි ස්වරයෙනි.
පොලීසිය ඇවිත් දරුවෝ හෙව්වා. දිවුලපිටිය පැත්තේ බැලුවා. එහෙට ගිහින් නෑ.මෙතනදි තමා වෙලා තියෙන්නේ. දරුවන් හිරකරගෙනයි ඉන්නේ. ළඟම ඉන්නේ. ඒත් අපිට යන්න බෑ. නැතිවුණදා ඉඳලා දේවාල ගණනකට ගියා. දරුවන් ගැන ඉක්මණින් තොරතුරක් ලැබෙයි කියනවා. මේක ඇස් බැන්දුමක්. ළමයි ළඟපාතම ඇති. දවස් දෙකක් විතර ඉවසලා ඉන්න කියලා දේවාලයෙන් කිව්වා. යැයිද කියා ඇත.
මේ අතර ඇය මෙසේද කියා ඇත.
මෙතැන පහන තියන්නේ මගේ දරුවා. මෙතැනට නාගයෙක් එනවා. මගේ දරුවා තමයි නාගයා නාවන්නේ. මගේ පුතා නාගයාට එකමුතුයි. මේක මම දේවාලය දාගන්නවට තරහට කරපු දෙයක්.
මේ ආදී කතා කියන දීපානි නැමැත්තිය යම් මානසික පීඩනයක පසුවන්නේද යන්න පොලීසිය සැකකරයි. කෙසේ වෙතත් දරුවන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබුණි. මීරිගම නගරයේ වෙළෙඳසලකට පැමිණි දරුවන් දෙදෙනා හඳුනාගෙන එම වෙළෙඳසැල හිමිකරු විසින් පොලිසියට රුගෙන ගොස් බාර දී තිබුණේ ඒ අතරය. අතුරුදන්ව සිට දින 44 තුළ ඔවුන් කොතැනක සිටියේද කුමක් කළේද යන්න සම්බන්ධයෙන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.
► සමන්ත ප්‍රදීප් විල්තෙර