වාර්තාගත කුඩු තොග ගණනාවක් මෙරටදී අත්අඩංගුවට පත්ව තිබේ. විටෙක ඒවා ලංකාවේම ලොකුම කුඩු තොගය විය. ඇතැම් විටෙක ඉතිහාසයේ ලොකුම කුඩු තොගය ලෙසද තවත් දිනෙක දකුණු ආසියාවේ විශාලතම කුඩු තොගය වශයෙන්ද වාර්තා කෙරිණ. සියල්ල අතර දිවයින වටා මුහුදු තීරයේදී කොටු වූ තොග හා ජාවාරම්කරුවන් රැසකි. මේ අයුරින් ගෙවී ගිය 2021 වසරේදී රුපියල් බිලියන 15.86කට අධික වටිනා මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් සිටිති.
දිවයින වටා මෙරට මුහුදු කලාපයේ හා ජාත්‍යන්තර මුහුද ආශ්‍රිතව සිදුකළ වැටලීම්වලදී මෙම අතිවිශාල මත්කුඩු තොග අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මේ ආකාරයට සිදුකරන වැටලීම් මෙහෙයුම් හරහා රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් බේරාගැනීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාව සහාය දෙයි.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන මත්ද්‍රවය ජාවාරම හා වෙනත් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව පෙරමුණ ගෙන සිටී. මෙරට වෙරළ තීරය මෙන්ම ගැඹුරු හා ජාත්‍යන්තර මුහුදු සීමාව ආශ්‍රිතවද සිදුකරන මෙහෙයුම් සඳහා විවිධ බුද්ධි සේවාවන්වල සහාය ලබා ගනිති. ඒ සඳහා පොලිස් බුද්ධි තොරතුරු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බළකාය, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය, සුරාබදු දෙපාර්තමේන්තුව වෙතින්ද අගනා සේවයක් ලබාදී ඇත. ඒ අනුව නාවික හමුදාවට අයත් විශේෂ යාත්‍රා මගින් මුහුද ආශ්‍රිතව සිදුකළ ආවේක්ෂණ රාජකාරිවල ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් බිලියන 15.86කට අධික වටිනා මත්ද්‍රවය තොගයක් ඉකුත් 2021 වසරේදී අත්අඩංගුවට ගෙන ඇත.
මේ ආකාරයට දිවයින වටා වූ මුහුදු තීරයේ හා ජාත්‍යන්තර මුහුදු සීමාවේදී දින ගණනක් පුරා සිදුකළ අසීරු මෙහෙයුම් හා ආවේක්ෂණ කටයුතුවලින් සාර්ථක මෙහෙයුම් 74කදී හෙරොයින් මත්කුඩු කිලෝ 1268ක් සමඟ සැකකරුවන් 119 දෙනකු හා විදේශික සැකකරුවන් විසි දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. තවත් මෙහෙයුම් 151කදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 7095කට අධික තොගයක් සමඟ දේශීය සැකකරුවන් 186ක් හා විදේශික සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
ඊට අමතරව අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙතම්පිටමයින් මත්ද්‍රව්‍ය කිලෝ 158කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරුවන් 98 දෙනකු සමඟිනි. ඒ සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුම් 73ක් දියත් කර තිබුණි. මේ අතර සිදුකළ වැටලීම් 16කදී දේශීය ගංජා කිලෝග්‍රෑම් 69ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණේ සැකකරුවන් 27 දෙනකු සමඟය.
මීට අමතරව හෂීස් මත්ද්‍රව්‍ය කිලේ 88කට අධික තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණේ අවස්ථා 8කදී සිදුකළ වැටලීම්වලදීය. එහිදී දේශීය සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙත් බව නාවික හමුදාව වාර්තා කළේය. ගතවූ දෙවසරක පමණ කාලය කොවිඩ් අවදානම හේතුවෙන් රට වසා තබා බරපතළ අවදානමක පැවතියද මෙරට මුහුද වටා මෙකී වැටලිම් සිදුකෙරුණේ එවැනි පසුබිමකය.
නාවික හමුදාව විසින් 2020 වසරේ සිදුකළ වැටලීම් ගණනාවකදී හොරොයින් කිලෝග්‍රෑම් 8214ක්ද කේරළ ගංජා කිලෝග්‍රෑම් 4976.3ක් හා අයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 900.5ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මීට අමතරව 2019 වසර පුරා සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 762.2ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 3653.4ක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම 2018 වසරේ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝ 232ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 2113.7ක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය. මේ ආකාරයේ සාර්ථක වැටලීම් රුසක් දියත් කිරීම සඳහා නාවික හමුදාවට පොලිස් බුද්ධි තොරතුරු ප්‍රබල සාධකයක් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මුහුදු මාර්ග හරහා මෙරටට රුගෙන ඒමට උත්සාහ ගත් මත්ද්‍රව්‍ය ඉරානය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව වැනි රටවල සිට පැමිණ ඇතැයි හඳුනාගෙන ඇත. මෙම ජාවාරම සඳහා අරාබි මුහුද බහුල වශයෙන් යොදාගන්නා බවට අනාවරණය වී තිබෙන අතර මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රවාහනය, බෙදාහැරීම නැව්ගත කිරීම ආදී වශයෙන් ක්‍රියාත්මක ජාත්‍යන්තර මට්ටමේ ආයතන පවතින බවද වාර්තා වේ. නාවික හමුදාව ඇතුළු මෙරට ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරන වැටලීම් හේතුවෙන් රට තුළට පැමිණෙන මත්කුඩු තොග සීමා වී තිබේ. එබැවින් රට තුළ මත්කුඩුවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මත්කුඩුවල හිඟයක්ද පවතී.
මේ අයුරින් කෙරෙන මෙහෙයුම් හමුවේ කුඩු ජාවාරම තරමක් අඩාලව ඇතත් කොටුවන කුඩු තොග හමුවේ කිසිදිනක ජාවාරමේ මහ මොළකරුවන් හසුවන්නේ නැත. මෙම ජාවාරමේ මහ මොළකරුවන් කිසිම දිනෙක හෙළි නෙවන අයුරින් ජාවාරම සිදුකිරීමට තරම් මත්කුඩු ජාවාරම් ජාලය සූක්ෂමය.
► සමන්ත ප්‍රදීප් විල්තෙර