මේ වන විට රටේ දස දෙසින්ම අසන්නට ලැබෙන්නේ දුක් ගැනවිලිය. ජනතාවට අවශ්‍ය කිරිපිටි නැත සහල් නැත. සීනි නැත. ගෑස් නැත. භූමිතෙල් නැත. එළවළු නැත. වගාවට පොහොර නැත. එදා වේල සපයා ගැනීම අතිශය දුෂ්කර වී තිබේ. රට පුරාම පෝලිම් යුගයක් නිර්මාණය වී තිබේ. මෙවැනි පෝලිම් යුගයක් පැවතියේ 1970-77 යුගයේය. ඒ කාලයේදී වුව මෙතරම් පීඩාවක් තමන් අත් නොවිඳි බව වැඩිහිටියෝ ප්‍රකාශ කරති.
මාස ගණනක සිට පැවති ගෑස් හිඟය මේ වන විට දැඩි අර්බුදයක් බවට පත්ව තිබේ. ගෑස් සමාගම් අධික ලාබ ලැබීමේ අරමුණින් ගෑස් සිලින්ඩරයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කොට ඒවායේ ප්‍රමිතිය අවම කිරීම හේතුවෙන් බොහෝ නිවෙස්වල ගෑස් උදුන් පුපුරා යන්නට වූ අතර පුද්ගල මරණද වාර්තා විය. ජනතාව ගෑස් පරිභෝජනයටද බිය වූ අතර වෙළෙඳපොළේ ගෑස් නොමැති විය. නිසි ප්‍රමිතිය අනුව ගෑස් සපයන ලෙසට අධිකරණය ලබා දුන් නියෝගය මත ගෑස් නිෂ්පාදනය සිදු වූයේ ඉබි ගමනිනි. ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමට ජනතාවට අලුයම 3 – 4 සිට ගෑස් අලෙවි සල් ඉදිරිපිට පෝලිම් ගැසී සිටින්නට සිදු විය. එහෙත් ගෑස් අලෙවිසල්වලට ලැබෙන්නේ ඉතා සීමිත ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් බැවින් බොහෝ දෙනකුට සිදුවන්නේ හිස් අතින් යළි හැරී යාමටය.
2022 නව වසර උදාවන මොහොතේද බොහෝ පිරිස් සිටියේ ගෑස් පෝලිම්වලය. ඇතැමුන් දින දෙක තුනේ දිගු පෝලිම්වල සිටියද ගෑස් ලබාගත නොහැකි විය.. රට පුරා සෑම ගෑස් වෙළෙඳසලක් වෙතම ගොස් ගෑස් සිලින්ඩරයක් සොයන මිනිසුන් මේ වන විට සුලබ වී තිබේ. පසුගිය දිනෙක හික්කඩුවේ සිට මැදිරිගිරියට ත්‍රිරෝද රථයකින් ගොස් ගෑස් සිලින්ඩරයක් මිලට ගත් පාරිභෝගිකයකු පිළිබඳවද අසන්නට ලැබිණි. තම ඥාති සොහොයුරාගේ හෝටලය සඳහා ඔහු ගෑස් සොයා රට වටේ ගොස් මැදිරිගිරියෙන් ගෑස් සිලින්ඩරයක් ලබාගෙන තිබිණි. ගෑස් පෝලිම්වල සිටි වැඩිහිටි පුද්ගලයෙක් ඇද වැටී රෝහල් ගත කළ බවක්ද අසන්නට ලැබිණි.
ගෑස් නොමැතිකමින් රටේ බොහෝ ප්‍රදේශවල අවන්හල් හා ආපන ශාලා රැසක් වැසී ගොසිනි. තමනට දිනකට ගෑස් සිලින්ඩර 6ක් 7ක් අවශ්‍ය වුවද දින ගණනක් පුරා ගෑස් නොලැබීම නිසා හෝටල වසා දැමීමට සිදු වී ඇතැයි හෝටල් හිමියෝ කියති. ඉඳහිට හෝටලයක දෙකක දර භාවිතයෙන් ආහාර සකසනු දැකිය හැකිය. භාණ්ඩ හා සේවාවල මිල අහස උසට නැඟ ඇති බැවින් ආහාරපානවල මිලද ඉහළ ගොස් තිබේ. ගෑස් පෝලිම්වල දින ගණනක් පෝලිමේ සිට ලබාගන්නා ගෑස් එකකින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා ඉටුකළ නොහැකි බවත්, පාරිභෝගියන්ට ආහාරවලට මිලක් සඳහන් නොහැකි බවත් ඇතැම් හෝටල හිමියෝ පවසති. කිරිපිටි නොමැති බැවින් සමහර හෝටල් විකුණන්නේ ප්ලේන්ටී පමණකි. හෝටල් හිමියන් පවසන්නේ ඇතැම් ගෑස් අලෙවිකරුවන් තම හිතවත් අතරමැදියන් යොදවා 2750ක් වන ගෑස් සිලින්ඩරයක් රුපියල් 3500ක් වැනි අධික මිලකට අලෙවි කරන බවටය. බොහෝ හෝටල් ඉදිරිපිට ගෑස් නොමැති නිසා හෝටලය වසා දමා ඇති බවට වන දැන්වීම් අලවා තිබෙනු දැකිය හැකිය. මේ වන විට රට පුරා හෝටල් 15,000ක් පමණ වැසී ඇතැයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පෙන්වා දෙයි.
ගම්බද ප්‍රදේශයන්හි වැඩි පිරිසක් දර භාවිතයෙන් ආහාර පිස ගත්තද ගෑස් භාවිත කළ පිරිස් ගෑස් නොමැති හෙයින් වැඩියෙන් දර භාවිතයට හුරු වී සිටිති. මේ වන විට විශාල වශයෙන් රබර් ගස් කපා දරට විකුණන බවද ආරංචි මාර්ග සඳහන් කරයි. නගරයේ හා මහල් නිවාසවල වෙසෙන ජනතාවට දර ලිප්වල ආහාර පිස ගැනීමට හැකියාවක් නොමැත. ඔවුන් භූමිතෙල් භාවිතයෙන් ආහාර පිස ගන්නා අතර නගරාසන්න ප්‍රදේශවල ගෑස් පෝලිම්වලට වඩා දිගු භූමිතෙල් පෝලිම් දැකිය හැකිය. ජනතාව චෝදනා කරන්නේ හිමිදිරියේ අවදි වූ විගස ගෑස් පෝලිමට හෝ භූමිතෙල් පෝලිමට හෝ කිරිපිටි පෝලිමට හෝ සහල් පෝලිමට හෝ පැමිණීමට සිදුවී ඇති බැවින් තමන්ට රැකියාවක් කරගත නොහැකි වී ඇති බවයි.
බොහෝ පිරිස් ආණ්ඩුවට හා දේශපාලනඥයන්ට චෝදනා කරන අතර යුද්ධය පැවැති කාලයේ වුව මෙවැනි තත්ත්වයකට තමන් මුහුණු දී නොමැති බවට චෝදනා කරති. වැඩිහිටියන් පමණක් නොව කුඩා දරුවන්ටද ගෑස් හිඟය නිසා දුක් විඳින්නට සිදුවී තිබේ. ගෑස් නොමැතිකමින් ආහාර පිස ගැනීමට කිසිදු ක්‍රමයක් නොමැති බවත් හෝටලයකින් හෝ කිසියම් ආහාරයක් ලබාගැනීමට නොහැකි වී ඇති බවත් එහෙයින් තම දරුවාට දින ගණනක් පුරා සමපෝෂ පමණක් ආහාර ලෙස ලබා දීමට සිදුවී ඇති බවත් ගාල්ල ප්‍රදේශයේ මවක් ප්‍රකාශ කළාය. ඇතැම් මව්වරැන් කියන්නේ දරුවන්ට ආහාරපාන සපයා දිය නොහැකි බැවින් පාසල් යැවීමටද නොහැකි වී ඇති බවයි.
පසුගිය දිනවල පිටි මිල ඉහළ ගිය බැවින් සියලු බේකරි නිෂ්පාදනවල මිල ද විශාල ලෙස ඉහළ ගියේය. බඩගින්නට පාන් බාගයක් පරිප්පු හොද්දක් සමඟ කා එදා වේල පිරිමසා ගත් දිළින්දන්ට දැන් පාන් කියන්නටවත් නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. හෝටලවල ආප්ප, කොත්තු හැදෙන්නේ නැත. ආප්ප කොත්තු නිෂ්පාදනය 50%කින් පමණ අවම වී ඇතැයි හෝටල් හිමියෝ කියති. කොළඹ රැකියාවල නිරත බෝඩිංකාරයන්ට සිදුව ඇත්තේ යන්තම් ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුවකින් සෑහීමටය. හෝටල වලින් වේල පිරිමසාගත් බෝඩිංකාරයන්ටද බූමිතෙල් පෝලිම්වල සිටින්නට සිදුවී ඇත්තේ තමාගේ ආහාර තමන්ටම පිස ගැනීමට සිදුවී ඇති බැවිනි.
ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අහස උසට නැග ඇති වකවානුවක අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ලබා දීමට පියවර ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කළේය. එහෙත් එම භාණ්ඩවල මිල ක්ෂණිකව පහත නොවැටෙන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කියයි.
ගෑස් හෝ භූමිතෙල් හෝ දර හෝ සපයා ගත නොහැකි පිරිස් ආහාරපාන පිසගන්නේ රයිස් කුකර්වලය. දැනටමත් අධික විදුලි බිලක් ගෙවීමට සිදුවී ඇති තත්ත්වයක් තුළ විදුලියෙන් ආහාර පිසීම නිසා දැරිය නොහැකි විදුලි බිලක් තමන්ට ගෙවන්නට සිදුවනු ඇතැයි ඔවුහු මැසිවිලි නගති. රයිස් කුකරයේ බතක් උයාගෙන ඉන්පසු එහිම යාන්තමින් එළවළුවක් හෝ දෙකක් පිස ගැනීමට ඔවුන්ට සිදුවී තිබේ. ඇතැමුන් සියල්ල එකට තමා තම්බාගෙන කති. එලෙස තම්බා ගන්නා ආහාරවේල ඔවුන් හඳුන්වන්නේ ''බලු බත්'' කියාය. ඒ සුනඛයන්ට මෙන් සියල්ල එකට දමා තම්බා ගන්නා බැවිනි.
ගෑස් හිඟයත් සමඟ රයිස් කුකර්, භූමිතෙල් උඳුන්, මැටි ලිප් හා දර මිටියේ මිලද බොහෝ සෙයින් ඉහළ ගියේය. ඒවායේද හිඟයක් නිර්මාණය විය. කලින් රුපියල් 2000ට පමණ අලෙවි වූ භූමිතෙල් උදුනක් එක්වරම 8000- 9000 වැනි මිල ගණන්වලට අලෙවි විය. 4000ට තිබූ රයිස් කුකරය 8000කි. රැපියල් 20 පැවැති දර මිටිය රුපියල් 70ක් හෝ 80කි. ඇතැම් ගෑස් අලෙවිහල්වල ගෑස් නොමැති බැවින් විකල්පයක් ලෙස දර අලෙවි කරනු දැකිය හැකිවිය. දර මිටිය සහ මැටි ලිප් සුපිරි වෙළෙඳසල්වලටද පැමිණියේ ජනතාව ඒවා සොයමින් ගිය නිසාය.
කොරේ පිටට මරේ කීවාක් මෙන් ගෑස් හිඟය මදිවාට පොහොර අර්බුදය හේතුවෙන් රට පුරාම එළවළු මිලද අධික වීම නිසා ජනතාවට අද එක් වේලකින් හෝ දෙකකින් යැපීමට සිදුවී තිබේ. බොහෝ පිරිස් එක් එළවළුවක් හා පොල් සම්බලයක් සමඟ හෝ සලාදයක් සමඟ වේල පිරිමසා ගනිති. බොහෝ පිරිස් දිනකට පිසගන්නේ එක් ආහාරවේලක් පමණි. එයම රාත්‍රියටද පිරිමසා ගැනීමටත් සිදුවන නිසා සීතල වූ ආහාරයක් අනුභව කිරීමටත් ඔවුන්ට සිදුවී තිබේ. පිටි මිල ඉහළ ගිය බැවින් පාන් ගෙඩියේ මිලද, සීනි හා කිරිපිටි හිඟය නිසා තේ කෝප්යක මිලද ඉහළ නැගලාය. හෝටල්වල කිරි තේ අලෙවි කරන්නේ නැත.
උයා පිහා ගැනීමට නොහැකි නිසා පන්සලකට හෝ අනාථ නිවාසයකට හෝ දානයක් හෝ ලබා දීමට තමන්ට නොහැකි වී ඇතැයි ජනතාව මැසිවිලි නගති. ජනතාවගේ දුක දුටු ඇතැම් හිමිවරැ තමන්ට සරල දෙයක් දානයට පිළිගන්වන ලෙසට ඉල්ලා සිටිති. ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිද පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බැවින් ජනතාවට දාන වේලක් සකස් කිරීම අසීරු බවයි. එබැවින් දානය පිළිගැන්වීමේදී එය ව්‍යාංජන දෙකකට පමණක් සීමා කරන ලෙසත් අතුරුපස අනවශ්‍ය බවත් එවැනි දානයක් පිළිගැන්වීමෙන් ලැබෙන ආනිශංසවල කිසිදු වෙනසක් සිදු නොවන බවත්ය.
ගෑස් නිසි පරිදි වෙළෙඳපොළට එන්නට තවත් සති තුනක් පමණ ගතවනු ඇතැයි ගෑස් සමාගම්වල සභාපතිවරු පවසති. ඉන් අදහස් වන්නේ ජනතාව මුහුණ දී ඇති අර්බුද ඉක්මනින් නොවිසඳෙනු ඇති බවටය. ඇති හැකි අය කෙසේ හෝ ජීවත් වන නමුදු නැති බැරි අය අඩක් කුසගින්නේය. ඒ අනුව කිව හැක්කේ අප කන හැටි ලිපවත් නොදනී කියාය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා