පුරාණයේ කන්ද උඩරටට යන පාර තිබුණේ දැන් මෙන් යක්කල නිට්ටඹුව හරහා නොවේ. අවිස්සාවේල්ල රුවන්වැල්ල හරහායි. මේ නිසා රුවන්වැල්ල උඩරට රාජධානි කාලයේදී පහතරට ප්‍රදේශවල සිට උඩරටට පැමිණෙන විට පසු කළ යුතු කැලණි ගඟේ තීරණාත්මක තොටුපළක් පිහිටි ස්ථානයක් විය. බ්‍රිතාන්‍යයන් උඩරට යටත් කරන්නට පෙර තුන් කෝරළයට අයත් රුවන්වැල්ලේ බලය තිබුණේ උඩරට රජවරුන්ටය. රජුගේ ඇත් පන්තිය රඳවා තිබුණේ රුවන්වැල්ලේ තොටුපොළ අසල පාලංගමුව වත්තේ බව ක්‍රි.ව.1800 දී එහි ගිය රොබට් පර්සිවල් ලියා තිබේ. රුවන්වැල්ල කොටුව භාවිත කර ඇත්තේ වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙනි. උඩරට කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, පුවක්, ඇත්දත්, පඩික්කන්, කැටයම් හෙප්පු ආදිය වෙළෙඳාම් කර ඇති අතර පෘතුගීසින් හා ලන්දේසීන් දෙපක්ෂයම සිංහලයන් හා කළ වෙළෙඳාමේදී ගැටුම් ඇති වූ බව පැවසේ. රුවන්වැල්ලේ සිට කොළොම්තොට දක්වා භාණ්ඩ ප‍්‍රවාහනය කර ඇත්තේ කැලණි ගඟ ඔස්සේ පාරු මගිනි.
ඕලන්ද ජාතිකයන් ක්‍රි.ව. 1665 දී දඬු වැටකින් වටකළ කණු ගසා සුරක්ෂිත කළ සහ ඇතුළතින් මැටි බිත්ති සහිත කඳවුරක් මෙහි පිහිට වූ බව එච්.සී.පී. බෙල් 1892 කෑගලු වාර්තාවේ සඳහන් කර සිටී. ඕලන්ද තානාපතිවරු උඩරට නිලධාරීන් හමුවුණේද රජු වෙනුවෙන් පඬුරු පිරිනැමුණේද අගනුවරින් තානාපතිවරුන් පිරිවරා යනු පිණිස රුස්වුණේද රුවන්වැල්ලේදීයි. සුද්දන් උඩරට යටත් කරගත් පසුව නිතර මහනුවරට යා යුතු වුණු අතර මේ නිසා ඔවුහු ඒ ගමන් මගේ සන්ධිස්ථානයක් වන රුවන්වැල්ලේ ස්ථිර බලකොටුවක් තැනීමට තීරණය කළහ. අදත් නගරය මැද උස්බිමක දැකගත හැක්කේ එම බලකොටුවයි. පුරාවිද්‍යා ස්මාරකයක් වන එම බලකොටුව තුළ අද පොලීසිය පිහිටා තිබේ. උතුරින් හා නැගෙනහිරින් ඇළ මාර්ගයකින්ද බටහිර හා නිරිතට ගුරුගොඩ ඔය හා කැලණි ගඟටද මායිම් වන සේ මෙම ඉඩම පිහිටා තිබූ බව සඳහන්ය. එවකට බලකොටුවේ මුර එහි අට්ටාල දෙකක් තනා තිබුණි. බලකොටුවට පිවිසෙන්නට තිබූ මාර්ගය අදටත් ඇති (රුවන්වැල්ල මහා විද්‍යාලය ඉදිරිපිටින් දිවෙන) කොටු දොරටුව ඔස්සේ ඇති මාර්ගයයි. සංරක්ෂණය කොට ඇති කොටු දොරටුවේ ක්‍රි.ව. 1817 වර්ෂය සමඟ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ නමේ මුල් අකුරු සඳහන්ය.
ශ්‍රී ලංකාවේ යටත්විජිත බලකොටු අතර පැරණි සාධක බොහෝදුරට ආරක්ෂා වී පවතින ස්ථානයක් වශයෙන් රුවන්වැල්ල බලකොටුව වැදගත් වේ. මේ අවට ඉංග්‍රීසින් සතු එකම බලකොටුව වන්නේද රුවන්වැල්ලයි. පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි ඇතුළත කැණීම් සහ සංරක්ෂණ කටයුතු කිහිපයක් සිදු කළේය. සබරගමුව හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ අරුණ නිල්මල්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය කාලයේ එම කැණීම් සිදුකළ අතර දැන් ඒවා නිමවී තිබේ. එහිදී බලකොටු භූමියේ පොලිසිය ඉදිරිපිට අඩි 9ක් දිගින් සහ අඩි 8ක පමණ පළලින් යුත් කුඩා ගොඩනැගිල්ලක පාදමක් මතුවිය. ඒ අසලින් ඉංග්‍රීසි කාලයට අයත් පෝසිලෙන් භාණ්ඩ කැබලිද මතුවිය. මෙය කිසියම් මුරපොළ ගොඩනැගිල්ලක් යයි අනුමාන කළ හැකිය.
මේ දිනවල බලකොටුව ඉදිරිපස ආරුක්කුව මත වැවී ඇති පැළෑටි ඉවත් කිරීමේ රසායනික සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී. මෙම සංරක්ෂණයට පෙර 2013 අවිස්සාවේල්ල-ගලිගමුව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කරන ලද මුදවා ගැනීමේ කැණීමේදී බලකොටුවේ සීමා හඳුනාගෙන සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී. එමගින් බලකොටුවේ උතුරු, නැගෙනහිර සහ නිරිතදිග ප්‍රදේශවල ඉහළ ප්‍රාකාර බැම්මේ සංරක්ෂණ කටයුතු සිදු කෙරිණි. එහිදී බලකොටුවේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි කොටස් සංරක්ෂණය සිදුවිය. මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කළේ කොවිඩ් ඇඳිරි නීතිය පැවති 2020 ඔක්තෝබර් 13 වැනි දින වන අතර පසුගිය කාලය තුළ එම කටයුතු කරගෙන යාම සිදුවිය. මේ වනවිට එම සංරක්ෂණය අවසන්ව ඇත. එහිදී බලකොටුවේ ඉදිරිපස කොටසේ වැවී තිබූ කොටු ප්‍රාකාරයට හානිදායක ගස් ඉවත් කර බැම්මේ අඩුපාඩු කොටස්වලට පස්දමා තලා ආනතියට සකස් කිරීම සිදුවිය. ඉන්පසු තණ පිඩැලි ඇතිරීම සිදුකර පහළ ආවරණ බැම්මේ සක්ක ගල්වලට හානි වූ කොටස්ද සංරක්ෂණයට ලක් කෙරුණි.
බලකොටුව තුළ පිහිටි පොලිස් ගොඩනැගිල්ල ඉංග්‍රීසි බලකොටුව පැවැති සමයේ හමුදා අණදෙන නිලධාරියා වාසය කළ නිවස්නයයි. එය පොලිස් කාර්යාලයට අවශ්‍ය ලෙස වෙනස්කම් කර තිබුණද එහි මූලික ආකෘතිය තවමත් ආරක්ෂා වී පවතී. එම ගොඩනැගිල්ලද පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයකි. මෙම පුරාණ ගොඩනැගිල්ලේ සංරක්ෂණ කටයුතු සිදුවන්නේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේය. පියස්සේ දිරාගිය පරාල ඉවත්කර දැව පරාල යෙදීම සහ බිත්තිවල දිරාපත් කඩතොලු ස්ථාන සකස් කිරීමද සිදුවේ.
මේ අතර තවත් පුරාවිද්‍යා ස්මාරකයක් වන කෑගල්ල ජුබිලි අම්බලමේ සංරක්ෂණ කටයුතුද මේ වනවිට අවසන්ව තිබේ. බලකොටුව ඉදිරිපිට මෙම අම්බලම ඉදිකර මහනුවර සම්ප්‍රදායට අනුව මඟුල් මඩුවේ සැලැස්ම සිහිපත් කරවමිනි. පියස්ස රඳවා ඇත්තේ පේකඩ සහිත කැටයම් කුලුණු 16ක් මතය. මෙය ඉදිකර ඇත්තේ 1892-1896 කෑගල්ල දිස්ත්‍රික්කයේ උප ඒජන්ත ධුරය දැරූ වෝල්ටර් ඩේවිඩ්සන්ගේ භාර්යාව වූ ලිලී හැරියට් ඩේවිඩ්සන් සිහිවීම පිණිසයි. ඇය, ක්‍රි.ව. 1901 වසරේදී දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේදී පිස්සු බල්ලකු සපාකෑම නිසා ජලභීතිකාවට ගොදුරු වී මියගොස් තිබේ. ඇය ස්මරණය කරනු සඳහා ඇගේ සැමියා සහ හිතවතුන් විසින් මේ අම්බලම තනවා තිබේ.
පසුගිය කාලයේ එහි පවත්වාගෙන ගොස් තිබුණේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද සායනයයි. ඒ නිසා පැරණි ස්වරූපය වෙනස් කර බිත්ති බැඳ කාමරයක් සේ සකස් කර තිබුණි. එම බිත්ති ඉවත් කර ඇති අතර පේකඩ සහිත කුලුනු පිටතට පෙනෙන පරිදි පැරණි ස්වරූපය දිස්වන සේ දැන් අම්බලම දැකගත හැකියි.
ක්‍රි.ව.1817 දී ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මහනුවරට යන අතර ඔහුගේ වෛද්‍යවරයා ලෙස මේජර් ජෝන් ඩේවි රුවන්වැල්ල කොටුවට පැමිණේ. ඒ ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙසයි. මේ සංචාරයේදී බ්‍රවුන්රිග් රුවන්වැල්ල කොටුවේ දවසක් ගතකරන අතර පසුව ඔහු ලංකාව ගැන ලියූ ග්‍රන්ථයේ රුවන්වැල්ල හා එහි බලකොටුව පිළිබඳවද අපූරු විස්තරයක් කරන්නේ මේ විදිහටයි.
“අවුරුදු තුනකට පෙර ජනශූන්‍ය ස්ථානයක් වූ රුවන්වැල්ල අද සමෘද්ධිමත් නැවතුම් පොළකි. මෙය පැහැදිලි කැලණි ගඟ බොර සහිත ගුරුඟු ඔය (ගුරුගොඩ ඔය) හා එකතු වන තැන ප්‍රයෝජනවත් ලෙස පිහිටියේය. මෙහි කොටුව නිමවීමට ආසන්නය. නිලධරයන්ට මෙන්ම හේවායින්ටද මෙහි විශිෂ්ට නිවාස ඇත්තේ ය. කඩපොළක් පිහිටුවා තිබිණි. ලාභය පිළිබඳ අපේක්ෂාවෙන් පොළඹවනු ලැබූ පවුල් දෙතුන් සියයක් මෙහි පදිංචි වී සිටිති. අප මෙහි පැමිණි විට මේ කුඩා නගරයේ ශීඝ්‍ර දියුණුව හා විලාසවත් උත්සවශ්‍රීය නිසා ප්‍රහර්ෂයටත් විස්මයටත් පත්වීමු.” (ඩේවි දුටු ලංකාව – පරිවර්තනය- ඇල්ලේපොළ එච්.ඇම්. සෝමරත්න)
පසුව 1832 වනවිට දැන් පවතින කොළඹ නුවර මාර්ගය තනා නිමවූ අතර ඉන්පසු රුවන්වැල්ල බලකොටුවේ වැදගත්කම අඩුවී ගියේය. ඊට පසු 1884දී බලකොටුවේ අණදෙන නිලධාරියාගේ නිවහන තානායමක් බවට පත්කර තිබේ.
ලන්දේසීන් විසින් මෙහි තාවකාලික බළකොටුවක් තනවන ලද්දේ 1665 දීය. දඬුවැටකින් වටකොට වටේට කණු ගසා සුරක්ෂිත කළ බලකොටුවේ ඇතුළත මැටියෙන් කළ බිත්ති දක්නට දක්නට ලැබුණු බව බෙල් සඳහන් කර සිටී. අවුරුදු කීපයකින් අත්හැර දමන ලද ලන්දේසි කොටුව පිහිටා තිබුණේ ගුරුගොඩ ඔය කැලණි ගඟට වැටෙන මෝයට ආසන්න ‘කොටුගොඩැල්ල' නම් ඉඩමේය. මෙම ලන්දේසි බලකොටුවේ සැලැස්මේ පිටපතක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ දක්නට ලැබේ. ලන්දේසි දූත චාරිකාවකට 1665 දී එක්වූ ‘හර්පොට්‘ රුවන්වැල්ල බලකොටුව ගොඩනැගීම පිළිබඳ සටහන් තබා තිබේ.
කැලණි ගඟෙන් එතෙර වන තමන්ට සිංහල සේනාවේ බාධා කිරීම් සිදුවූ රුවන්වැල්ලේ බලකොටුවක් ඉදිකරන්නට බ්‍රිතාන්‍යයන් 1815 දී උඩරට යටත්කර ගත් පසුව තීරණය කරයි. ඒ සඳහා රික්ස් ඩොලර් 2851කට ඉඩම් අක්කර 47ක් මිලදී ගැනුණු බව බෙල් කෑගලු වාර්තාවේ සඳහන් කර තිබේ. උතුරින් හා නැඟෙනහිරින් දනතිගහ ඇළේ සිට බටහිර හා නිරිතට ගුරුගොඩ ඔය හා කැලණි ගඟට මායිම් වන සේ මෙම ඉඩම පැවති බව සඳහන් වේ. බලකොටුව අක්‍රමවත්ව ඉදිකර තිබුණු බවත් එහි අට්ටාල දෙකක් පැවති බවත් බෙල් සඳහන් කරන කරුණකි. තොටුපලේ සිට ඇදෙන වීථිය නම් ප්‍රධාන මාර්ගය හා පිටුපසින් දිවෙන මාර්ගයක්ද තිබී ඇත. බලකොටුවට පිවිසෙන්නට තිබූ මාර්ගය අදටත් ඇති (රුවන්වැල්ල මහා විද්‍යාලය ඉදිරිපිටින් දිවෙන) කොටු දොරටුව ඔස්සේ ඇති මාර්ගයයි. අද සංරක්ෂණය කොට ඇති කොටු දොරටුවේ ක්‍රි.ව. 1817 වර්ෂය සමඟ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ නමේ මුල් අකුරු සඳහන්ය. ඒ මෙම කොටුව 1817 එනම් බ්‍රිතාන්‍ය අවධියේ තැනූ බවට සාක්ෂියකි.
සයිමන් කාසිචෙට්ටි ලියූ Ceylon Gazetteer හි සඳහන් කරන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් මෙම ස්ථානය යුද කඳවුරක් බවට පත් කරමින් ආරක්ෂක බලකොටුවක් ඉදිකිරීම නිසා වෙරළබඩින් පැමිණි වෙළෙන්ඳන් මෙහි පදිංචි වීමෙන් රුවන්වැල්ල ජනාකීර්ණ වෙළඳපොළක් සේ දියුණු වූ බවයි.
වර්ෂ 1884දී අයිවර්ස් රුවන්වැල්ලට එනවිට බලකොටුවේ අණදෙන නිලධාරියාගේ නිවස තානායමක් බවට පත්ව අවසන්ය. 1892 දී එච්.සී.පී. බෙල් දුටුවේද සාමාන්‍ය ජනයාට විවෘත නොවන තානායමකි. බොහෝ කලක් පැවැති මේ තානායම නැවතත් යුද කඳවුරක ස්වාභාවය ගත්තේ 1915 සිංහල මුස්ලිම් කෝලාහලය හේතුවෙන් මාෂල් ලෝ නීතිය යටතේය. 1970 දශකය පමණ දක්වා පැවති තානායම සහිත බලකොටුවේ 1980 දශකයේ පොලිස් ස්ථානය පිහිටුවා තිබේ. පසුව රුවන්වැල්ල ප්‍රාදේශීය සභා ගොඩනැගිලිද එම භූමියේ පිහිටුවා තිබුණ අතර පසුව ප්‍රාදේශීය සභාව එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ. පැරණි ගොඩනැගිලිවලට අමතරව අලුතින් ඉදිකළ ගොඩනැගිලි කිහිපයක්ද මෙම කාර්යාලවලට යොදාගෙන තිබේ. පොලිසියට අවශ්‍ය තාවකාලික ගොඩනැගිලි කිහිපයක්ද බලකොටු බිමේ ගොඩනංවා තිබේ. කොටු දොරකඩ ඇති විශාල සියඹලා ගස ඒ කාලයේදීද පවතින්නට ඇත.
ඉංග්‍රීසින් මහනුවර අල්ලා ගැනීමට ගොස් ඇත්තේද රුවන්වැල්ල මෙම බළකොටුව හරහාය. ක්‍රි.ව. 1800 මාර්තු 12 වැනි දින මැක්ඩෝවල් ජනරාල් හේවායින් 1164 දෙනෙකු සමඟ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ගිය අතර රුවන්වැල්ලේදී මේ පිරිසට මහනුවර දෙසට යාමට සිංහල හමුදාව විසින් ඉඩ නොදුන් බව සඳහන්ය. වර්ෂ 1815දී ඉංග්‍රීසින් විසින් නැවතත් උඩරට ආක්‍රමණය කරන විට ඉංග්‍රීසි හමුදාව ගමන්කර ඇත්තේ රුවන්වැල්ල හරහාය. ඒ කාලය වනවිට රුවන්වැල්ල බළකොටුව ඉංග්‍රීසින් විසින් යටත් කරගෙන තිබුණි.
ඉංගිරිසි බළකොටුව බ්‍රිතාන්‍යයන් විසින් 1817දී ඉදිකරන ලද්දක් බව එහි පිවිසුම් දොරටුවේ 1817 වර්ෂය සහ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ නමේ මුල් අකුරු සඳහන් වීමෙන් පෙනේ. වර්ෂ 1818 දී නිලධරයන් පස් දෙනෙකුගෙන් හා සෙබළුන් 116කින් යුත් පිරිසක් රුවන්වැල්ලට යොදවා තිබිණි. මුල් කාලයේදී තුන් කෝරලයේ පරිපාලන කේන්ද්‍රස්ථානය ලෙස පැවතියේද රුවන්වැල්ලයි. පසුව කෑගලු දිස්ත්‍රික්කය බිහිවුණු අතර ඉන්පසු කෑගල්ලේ සිට පරිපාලනය සිදුවිය.
(විශේෂ ස්තුතිය- පුරාවිද්‍යා නිලධාරි රනංජය ප්‍රේමවර්ධනට)
කුසුම්සිරි විජයවර්ධන
සේයාරෑ I අන්තර්ජාලයෙනි