රටක ආරක්ෂාව යනු ලෙහෙසි පහසු වැඩක් නොවේ. විශේෂයෙන් මහජන ආරක්ෂාව ඊටත් වඩා බරපතළ වගකීමකි. රටක ජාතික ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව සිටියත් මහජන ආරක්ෂාව සඳහා බොහෝ විට යොදන්නේ පොලීසියයි. ඒ නිසා රටේ ජනතාවට හමුදාවටත් වඩා බොහෝම සමීප වන්නේ පොලීසිය බව අමුතුවෙන් කිවයුතු නැත.
එහෙත් අපේ රටේ පොලීසිය ගත්විට බොහෝ අවස්ථාවලදී පොලීසියත් මහජනතාවත් අතර සමීප ගනුදෙනුවක් නැත. බොහෝවිට ජනතාවට පොලීසිය සම්බන්ධයෙන් ඇත්තේ ඉතාම අමිහිරි අත්දැකීම් නිසාය. ඒ නිසා ජනතාව කාකි ඇඳුමට එතරම් සමීප බවක් දක්වන්නේ නැත.
විශේෂයෙන් රථවාහන පොලීසියේ ඇතැම් ක්‍රියාකාරකම්, පොලිස් ස්ථාන වෙත ගිය පසුව ඇතැම් පොලිස් නිලධාරීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හමුවේ බොහෝ විට ජනතාව පත් වන්නේ ඉතා කලකිරෙන තත්ත්වයකටය. එපාවීමකටය. එහෙත් ඇත්තටම පොලිස් නිලධාරීන් එවැනි තත්ත්වයකට වැටෙන්නට හේතුව කුමක්ද යන්න කවුරුත් අද වෙනතෙක් සොයා බලා උත්තර ලබාදී නැත.
පසුගිය සතියේ අප පුවත්පත විසින් හෙළිකරන ලද තොරතුරු අනුව මෙරට පොලීසියේ ශාරීරක, මානසික වශයෙන් අබාධ සහිත පොලිස් නිලධාරීන් 5000ක් පමණ සේවය කරමින් සිටිති. ඒ නිලධාරීන් විශ්‍රාම ගැන්විය යුතු වුවත් තවම ඔවුන් රඳවා තබා ගනිමින් පඩි ගෙවමින් සේවයේ යොදවා තිබේ.
වාර්තා වන ආකාරයට විවිධ ත්‍රස්ත ක්‍රියා නිසා රෝගාබාධයට ලක්වුණු නිලධාරීන් ගණන 537කි. වෙනත් පොලිස් රාජකාරි වලදී ආබාධයට ලක්වුවන් ගණන 1305 කි. බෝ නොවන රෝගී තත්ත්වයන් නිසා ආබාධ වූවන් සංඛ්‍යාව 2699කි. මානසික රෝගී තත්ත්වයන් හේතුවෙන් සැහැල්ලු රාජකාරි සඳහා යොදවා සිටින අය ගණන 411 කි. මේ සියලුම ආබාධ සහිත නිලධාරීන් සංඛ්‍යාව 4952 කි.
ඉහත ලැයිස්තුව දකින ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ රටේ නීතිය ක්‍රියාවේ යෙදවීම ගැන සැකයකි. කෙසේ වෙතත් මේ නිලධාරීන්ගේ වරදක් නොව අදාළ බලධාරීන්ගේ වැරදිය. මේ නිලධාරීන් විශ්‍රාම ගන්වන ලෙසට පොලිස්පතිවරයා පවා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතත් ඊට තවමත් නිසි ප්‍රතිචාර ලැබී නැත. මේ නිසා ඇත්තටම පොලිස්පතිවරයා පවා ඉන්නේ කලකිරීමක විය හැක.
ආබාධිත වූ පමණින් ඕනෑම අයකු ඉවත් කළයුතු නැත. එහෙත් ඒ අයගේ කැමැත්තෙන් විශ්‍රාම ගැනීමට යනවා නම් ඊට විරුද්ධ විය නොහැක. ඊට හේතුව එවැනි නිලධාරීන් මහජනයා සමඟ ගනුදෙනු කිරීමට දැමීම හරහා ඔවුන් පත්ව සිටින චිත්ත පීඩාව, මානසික ආතතිය ජනතාවගේ කරමතින් යාමට ඉඩ තිබීම හේතුවෙනි. එසේත් නැත්නම් ඉහළ නිලධාරීන් සමඟ හෝ තමන්ගේම එම පීඩනය පිටවී යා හැක. පසුගිය කාලයේ ජනතාවට පහරදීම්, වෙඩිතැබීම්, වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීම් මේ සියල්ල ඒ නිලධාරීන්ගේ මානසික හා ශාරීරික ආබාධ නිසා වූ ඒවා බව සැක කෙරේ. මේ සියල්ල නිසා අවසානයේ කැත වන්නේ ශ්‍රී ලංකා පොලීසියේ නම පමණි. ඒ නිසා දැන්වත් යහපත් පොලිස් සේවයක් සකසා ගැටලු ප්‍රශ්න මඟහැර මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් ඇති කිරිමට නිරෝගී පොලිස් නිලධාරීන් පොලීසියට බඳවා ගත යුතුව ඇත. විශේෂයෙන් තරුණයන්ට ඉඩ ලබාදිය යුතුව ඇත. රාජකාරියේ යෙදීමට කායික මානසික සුදුසුකම් නැති අය විශ්‍රාම ගැන්වීමට දිරිගැන්විය යුතුය.
ගයාන් ගාල්ලගේ