අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාවක එම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පස්වැනි මහලෙන් බිමට පැන සියදිවි නසාගත් බව කියන සිදුවීම පසුගියදා රටම කැළඹුවේය. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම සැකකාර කාන්තාව වසර පහක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි මහා පරිමාණ ජාවාරම්කාරියක බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පොලිස් මූලස්ථානය වාර්තා කරන්නේ මෙම සැකකාර කාන්තාව රහස් පොලිස් ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ පිහිටි වැසිකිළියක කවුළුවකින් බිමට පැන ඇති බවකි. එහිදී බරපතළ තුවාල ලබා සිටි ඇය රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවද වාර්තා විය.
රුපියල් හත් කෝටියකට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව රාජපක්ෂ මුදියන්සේලාගේ අප්සරා මැණිකේ රාජපක්ෂ (46) නැමැත්තියකි. ඇය පන්නිපිටිය සේදගල නාමල්උයන ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනාගෙන ඇත. මියගිය සැකකාර කාන්තාව පදිංචි ස්ථීර ලිපිනයක් හෝ පැහැදිලි විස්තරයක් නොතිබූ මීට වසර කිහිපයකට ඉහත දිනයකදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකි. යම් කාන්තාවක බැංකුවේ අයකු ලෙස පෙනී සිට කූට ලේඛන සකසා ඉදිරිපත් කර රුපියල් 6,83,40,000ක පමණ මුදලක් වංචා සහගතව ලබාගෙන ඇති බව එම පැමිණිල්ල තුළ දක්වා ඇත.
මේ අනුව විමර්ශන ආරම්භ කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරගෙන තිබුණේ සැකකාර කාන්තාව විසින් කාන්තා ණය දෙන සමිතියක් පවත්වාගෙන ගිය බවය. එහිදී කොළඹ හා අවට පිහිටි වැල්ලම්පිටිය, අංගොඩ හා රාජගිරිය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී කාන්තාවන් හා ස්වයං රැකියාවල නිරත කාන්තාවන් රැස්කරගෙන ණය ලබාගැනීමේ සමිතියක් ආරම්භ කොට ඇත. අනතුරුව ඊට සම්බන්ධ වන කාන්තාවක සඳහා රුපියල් 50,000ක ණය මුදලක් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වෙතින් ලබාගැනීමට හැකි බව දන්වා ඇත. ඒ සඳහා කැමති වන කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය කරන අයදුම්පත්‍ර ලබාදී අවශ්‍ය ලිපිලේඛන සපුරා දී ඇත්තේ සැකකාරියයි. ඉන්පසුව මෙම සැකකාරිය එම ලේඛන තමන්ට අවශ්‍ය පරිදි ව්‍යාජව වෙනස්කර රු.50,000ක ණය මුදල වෙනස්කර ඒ සඳහා රුපියල් ලක්ෂ 10, 12, 15 වශයෙන් දක්වා ලබාගෙන ඇත. අනතුරුව එම මුදලින් අදාළ ඉල්ලුම්කාරිය සඳහා රු.50,000ක් ලබාදී ඉතිරි මුදල් ඇය වංචාකර ඇත.
මේ ආකාරයෙන් සිදුකළ වංචා සම්බන්ධයෙන් වන පැමිණිලි 48ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. වසර ගණනාවක පටන් මෙම වංචාවේ නිරතව සිටින කාන්තාව 2016 වසරේ සිට ව්‍යාජ නම් භාවිත කරමින් තැන තැන සැඟව සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. කාන්තාව භාවිත කළ ජංගම දුරකතන අංක, හැඳුනුම්පත් හා පදිංචි ලිපින ආදිය සියල්ල ව්‍යාජ ඒවා වූ හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වී ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි. කෙසේ වෙතත් වාර්තා වන්නේ වසර කිහිපයක පටන් මෙසේ මුදල් ජාවාරම් කරමින් ඇය සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවය.
මෙම ජාවාරම්කාරිය සම්බන්ධයෙන් පසුගියදා ලැබුණු බුද්ධි තොරතුරකින් දක්වා තිබුණේ ඇය දෙහිවල හා කළුබෝවිල අතර ස්ථානයක රැඳී සිටින බවකි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 10 වැනිදා රාත්‍රියේ අදාළ නිවෙස වටලා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඒ මොහොතේ සැකකාරිය ඇගේ අනියම් සැමියකු සමඟ සිටි බවද පැවසේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රහස් පොලිසිය බාරයේදී කටඋත්තර ලබාගැනීමෙන් පසුව සැකකාරිය 11 වැනිදා පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබී ඇත. එතෙක් රහස් පොලීසිය බාරයේ රඳවා සිටි ඇයට මුත්‍රා ආසාදනයක් ඇතැයි කියා කිහිප අවස්ථාවක් වැසිකිළියට යාමට අවසර ඉල්ලා ඇතැයි කියයි. මේ අතර නිල නොවන ලෙස වාර්තා වන්නේ අදාළ සැකකාරිය රැඳවූවන්ට වෙන්කළ වැසිකිළියකට නොයවා නිලධාරිනියන්ගේ වැසිකිළියක් සඳහා යොමුකර ඇති බවය. මේ ආකාරයට ඉකුත් 11 වැනිදා අලුයම 4ට පමණ සැකකාරිය වැසිකිළියට ගොස් ඇත්තේ ඇය බාරයේ පසුවූ නිලධාරිනියකගේ අවසරය මැදය. සැකකාරිය වැසිකිළියට ගොස් සෑහෙන වෙලාවක් එහි ගත කිරීම සම්බන්ධයෙන් නිලධාරිනියන් සොයා බලා ඇතැයි කියති. ඒ වනවිට සැකකාරිය වැසිකිළිය පසුපස වූ ජනේලයක එල්ලී සිට ඇති බව සැකකාරියගේ මරණයෙන් පසුව නිලධාරිනියක කළ ප්‍රකාශය අනුව සඳහන් වෙයි. “මම කාන්තාව ජනේලයේ එල්ලී ඉන්නවා දැක්කා. බේරාගන්න උත්සාහ කළත් ඒ එක්කම බිමට පැන්නා.”
අදාළ ප්‍රකාශය එසේ වාර්තා වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලෙන් බිමට ඇදවැටුණු සැකකාර කාන්තාව ගොඩනැගිල්ල පාමුල බිම වැටී සිට තිබුණි. හිස ප්‍රදේශයෙන් තරමක ලේ ගලාගොස් තිබුණු අතර ඇය ඇඟලා සිටි කළු පැහැති සාය ගලවා එය දකුණු අතින් අල්ලාගෙන සිටින ලෙස සිරුර දකින්නට ලැබී ඇතැයි වාර්තා වේ. සැකකාරිය යම් ක්‍රමයකට ඇගේ සාය භාවිතා කරමින් ගෙල වැළලා ගෙන සියදිවි නසාගැනීමට තැත් කළේද යන්න ගැන සැකයක් පවතී. එම අවස්ථාවේ වූ අතපසුවීමක් නිසා ඇය බිමට ඇදවැටුණේද යන්න තවත් සැකයකි.
කෙසේ වෙතත් රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් බාරයේ පසුවන සැකකරුවන්ට සියදිවි හානිකර ගැනීමට ඉඩක් නැති බවය. ඒ සඳහා සුදුසු ආරක්ෂාවක් ඇති නමුත් වැසිකිළියේ ජනේලයෙන් පිටතට පැනීම පුදුම සිදුවීමකි. මේ ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සැකකාරියක මියගොස් ඇත්තේ ප්‍රථම වතාවටය.
ඇද වැටී සිටි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. මියගිය කාන්තාව පිළිබඳ ස්ථානීය පරීක්ෂණය හා මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් සිදුකරනු ලැබීය.
මරණය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් හා කොටුව පොලිසිය විසින් වෙන් වශයෙන් පරීක්ෂණයන් ක්‍රියාත්මකය. ඒ අනුව මියගිය කාන්තාව බාරව සිටි නිලධාරිනිය හා එදින රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කොටගෙන ඇත.
සමන්ත ප්‍රදීප් විල්තෙර