මනුස්සයෙක් බෙල්ල කපාගෙන බිම වැටිලා ඉන්නවා. ලේ ගලනවා.... සෙලවෙන්නෙත් නෑ.... මැරිලා වගේ මිනිහා අතේ පිහියකුත් තියෙනවා. කාගේ කවුද දන්නේ නෑ....
පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත මෙම දුරකතන පණිවුඩය ලැබී තිබුණේ ඉකුත් සෙනසුරාදා පෙරවරුවේය. එම තොරතුරු වහාම රාගම පොලිස් ස්ථානය වෙත ලබාදීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානය වෙත පිටත්ව ගොස් තිබුණි. මේ සිද්ධිය අනාවරණය වූයේ රාගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකින් බේබි ක්‍රීම් බෝතලයක් ළදරු සබන් කැටක් සහ පුයර බඳුනක් සොරාගෙන ඉනේ ගසාගෙන පලායමින් සිටි අයකු අල්ලා ගැනීමට පුද්ගලයන් පිරිසක් ලුහුබැඳි මොහොතේ පන්නා ආ පිරිසට පිහියක් පෙන්වා තර්ජනය කොට ඔවුන් ඉදිරියෙන්ම ගෙල කපාගෙන දිවි හානි කරගත් පුද්ගලයකු පිළිබඳවය.
වාර්තා වන අයුරින් රාගම-මහබාගේ මාර්ගයේ ඇලපිටිවල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසලකි. සෙනසුරාදා පෙරවරුවේ සුපිරි වෙළෙඳසල විවෘත කර හෝරාවක් දෙකක් පමණ ගතවී තිබිණ. වරින්වර ආයතන පරිශ්‍රය වෙත පැමිණි ගනුදෙනුකරුවන් රුසකි. අවශ්‍ය භාණ්ඩ මිලට ගෙන යළිත් පිටත්ව යන මිනිසුන් අතර සුපිරි වෙළඳසලෙන් පිටතට ගිය පුද්ගලයෙකි. කලිසමක් හා කමිසයක් ඇඳ සිටි ඔහුගේ කමිසය අතරින් බිමට වැටුණු ක්‍රීම් බෝතලයකි. එය අසුලා ගැනීම සඳහා බිමට නැවෙන අතරතුර තවත් එවැනි බෝතලයක් ඉනේ තිබියදී බිමට වැටී ඇත.
හොරෙක් හොරෙක් අන්න බඩු හංගාගෙන යනවා. අල්ලපල්ලා....
මේ දුටු සැණින් කෑ ගසා තිබුණේ සුපිරි වෙළෙඳසල අසල රථගාලේ සිටි ත්‍රිරෝද රථ රියදුරෙකි. ඒ සමඟ ත්‍රිරෝද රථ රියදුරා සැකකරු අල්ලා ගැනීම සඳහා ඔහු වෙත දිවගොස් ඇත. ඒ අවස්ථාවේ භාණ්ඩ සොරාගෙන දුව යමින් සිටි පුද්ගලයා ඔහු ඉදිරියට ආ ත්‍රිරෝද රථ රියැදුරුට පිහියකින් ඇණ දුවගොස් තිබුණි. එම පිහිපහර ත්‍රිරෝද රථ රියැදුරුගේ උදරයේ වම්පසට වැදී තිබුණු අතර ඉන් තරමක කැපුම් තුවාලයක් සිදුව ලේ ගැලීමට පටන්ගෙන තිබුණි. මේ කලබලය දුටු තවත් පිරිස් මෙන්ම සුපිරි වෙළෙඳසලේ කළමනාකරු හා වෙළඳ සහායකයන්ද කඩිමුඩියේ එළියට බැස තිබුණි. සිද්ධිය අතරමැද පිහි ඇනුම සිදුකළ පුද්ගලයා ප්‍රධාන මාර්ගය දිගේ දුවගොස් තිබුණි. ඒ අතරතුර ඔහු සඟවාගෙන සිටි භාණ්ඩ කිහිපය වැටී ධාවනය වෙමින් තිබූ මෝටර් රථවලට යටවී විනාශව ගියේය.
මේ ආකාරයට සැකකරුට දිවයාමට හැකිවූයේ සුපිරි වෙළෙඳසල අසළ සිට මීටර් 70ක් පමණ දුරකට පමණය. අවට සිටි කිහිප දෙනකු ඔහු පසුපස පන්නා ගොස් වටකර තිබුණි. තවදුරටත් සැකකරුට පලායාමට ඉඩක් නොවීය. මෙසේ සැකකරු කොටු වී තිබුණේ වාහන සේවා ස්ථානයක් අසල බිමකදීය. සැකකරුට පලායාමට නොදී පිරිස විසින් මග අසුරා තිබුණේ පෙරවරු 9.45ට පමණය. ඒ අවස්ථාවේදී සැකකරු නැවතත් ඔහු අතට පිහියක් ගෙන &එකෙක්වත් ළඟට එන්න එපා... ආවොත් මම බෙල්ල කපාගෙන මැරෙනවා...* යැයි හඬ නගා ප්‍රකාශ කර ඇත. එසැණින් එම පුද්ගලයා අත වූ පිහියෙන් ඔහුගේ ගෙල කපාගන තිබූ අතර ලේ ගලමින් සිටියදී ඔහු බිම ඇදවැටී ඇත.
මේ සිදුවීම සිදුවී ටික වේලාවකටපසු පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම්දීමට කෙනකු පියවර ගෙන තිබිණ. ඒ සමග එතැනට පැමිණි රාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් 1990 අංකය අමතා සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා තුවාලකරු රාගම රෝහල වෙත රුගෙන යාමට කටයුතු කර ඇත. එසේ රෝහල් ගතකළ පුද්ගලයා පෙරවරු 10.30ට පමණ ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.
ඝාතනයට ලක්වූ පුද්ගලයා පිළිබඳව සිදුකළ විමර්ශනයේදී ඔහු මාතලේ උකුවෙල නාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇත. ඔහු රෙජී ජයසුන්දර නැමැති 48 හැවිරිදි අයෙකි. ඔහුගේ සහෝදරියක දක්වා ඇති කරුණු අනුව මෙම පුද්ගලයා පාසල් වියේදීම මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූවෙකි. පසුකලෙක ඉඩම් දේපල පවා විකුණා මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන ඔහු ඥාතීන් විසින් පවුලෙන් ඉවත්කර ඇත. එම නිසා ගමෙන් පිටව ගොස් ඇති මොහු කාලයක් මීගමුව ප්‍රදේශයේ ගතකර තිබෙන බව පැවසේ. මේ අතර දිනෙක මීගමුව නගරයේ වෙළෙඳසලකින් යමක් සොරා ගැනීමට උත්සාහ කිරීමේදී හසුව ඇත. එහිදී පිරිසක් මොහුව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ අත වූ පිහියකින් අතක් කපාගෙන තිබෙන බවද රාගම පොලිසියට වාර්තා වී ඇත.
මේ ආකාරයට නොමග ගිය සහෝදරයාගේ මළසිරුර බාරගැනීමට ඔහුගේ ඥාතීන් හා සහෝදරිය ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් පොලිසිය මැදිහත්ව මළසිරුර රාගම තලගොල්ල සුසාන භූමියේ වළදැමීමට පියවර ගැණින.
මේ පිළිබඳව රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
සමන්ත විල්තෙර