2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ජර්මන් ඉස්කෝල් රොබෝ අවතාර

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 78

කොවිඩ් හේතුවෙන් ලෝකයේ බොහෝ දේ දැන් වෙනස් වී තිබේ. සමාජ සබඳතා පවා පෙර නොවූ විරූ ලෙස වෙනස්ව ගොසිනි. බොහෝ සේවා සඳහා මාර්ගගත ක්‍රමයට මුල්තැන ලැබී හමාරය. වෙනත් බොහෝ දේ මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයටත් කොවිඩ් අහිතකර ලෙස බලපෑම නිසා දැන් ඒ සඳහා විවිධ විකල්පද සොයාගෙන තිබේ. ජර්මනියේ ජෝෂුවා මාටිනාන්ජෙලි නමැති දරුවාගේ සිද්ධිය ද එවැන්නකි.

ජෝෂුවා 7 හැවිරිදි දරුවෙකි. පෙනහළු ආබාධයකට ලක්ව සිටින ඔහු තමන්ට හුස්ම ගැනීමට ආධාරයක් ලෙස පිටතින් බටයක් පැළඳ සිටියි. මේ හේතුව නිසා ජොෂුවාට පන්තියේ එදිනෙදා ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට නොහැකිය. දැන් මේ නිසා ජෝෂුවා වෙනුවට පාසල් යන්නේ ඔහුගේ “අවතාර“යයි. ඒ ජොෂී නමැති හුරුබුහුටි රොබෝවයි. රොබෝව ඔහු වෙනුවට පාසලේ පන්තියේ රුඳී සිටියි. ජෝෂුවා සිටින විට ළමයින් ඔහු සමඟ කතා කරයි. ඔහු සමඟ සිනාසෙයි. සමහරවිට පාඩම අතරතුර ඔහු සමඟ කතා බස් කරයි. ජෝෂීට ද එය හොඳින් කළ හැකිය.  

ඔහු ගෙදර සිටින ජෝෂුවාට ගුරුවරිය හා සබඳතාව ලබා දෙයි. ජෝෂුවාට යමක් අසන්නට ඕනෑ විට රොබෝව සංඥාවක් දෙයි. ඒ සමඟ රොබෝව ඔස්සේ ජෝෂුවාගේ හඬින් කතාබහ ඇරඹිය හැකිය. ජොෂුවාගේ පාසල මේ අන්දමේ රොබෝ ‘අවතාර‘ 4ක් යොදාගෙන තිබේ. ඒ පාසල් එන්නට අපහසු දරුවන්ට ක්‍රියාකාරකම් සඳහා සහභාගි වන්නට උදව් වන්නටය. මේ රොබෝ නියෝජිතයන් හඳුන්වා දී ඇත්තේ ජර්මානු ආණ්ඩුවෙනි. කොවිඩ් වසංගතය නිසා අතපසු වන ක්‍රියාකාරකම් පහසුවෙන් පවත්වාගෙන යාමට යහපත් විකල්පයක් හැටියටය. 

අවතාර - AVATAR, කී විට මේ කාලයේ අපේ සිහියට එන්නේ ජෝන් කැමරන්ගේ ඒ නමින්ම තිරගත වූ හොලිඩුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයයි. දැන් මේ විද්‍යා ප්‍රබන්ධ බොහෝමයක් සැබෑවෙමින් තිබේ. ජෝෂුවාගේ ‘අවතාර‘ය මේ විද්‍යා කතාවේ අවතාරයට වඩා මඳක් වෙනස් වුවද එයින් බලාපොරොත්තු වන්නේ එකම ප්‍රතිඵලයයි. දැන් මෙබඳු අවතාර ලෙස තමන්ගේ කටයුතු පහසුවෙන් කර ගැනීමට නියෝජියන් ලෙස යොදාගැනීම සඳහා විවිධ මාදිලියේ රොබෝවන් සහ කෘත්‍රිම බුද්ධිය යොදා තැනූ මෙවලම් යොදා ගැනීම වැඩිදියුණු වෙමින් පවතියි. 

යුද්ධ, වසංගත වැනි ආපදා සමයන්හිදී ඒ අභියෝගවලට මුහුණ දිමේ විකල්පයන් සොයා, නොයෙකුත් නව නිපැයුම් බිහිවීම කාලාන්තරයක් තිස්සේම සිදුවන දෙයකි. ලෝකයේ තාක්ෂණය මේ තරම් දියුණු වූයේ මිනිසා මුහුණ දුන් එවැනි අභියෝග සඳහා පිළිතුරු සොයා යාමේ ප්‍රතිඵලයක් හැටියටය. මේ වනවිට ලොකයේ රෝබෝ තාක්ෂණය අති දියුණුය. මේ මෑතකදී බහරේන් රජුගේ රොබෝ ආරක්ෂකයා ලෙස යෝධ රොබෝවක් ගැන විස්තර සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරුවේය. කතාව ගොතන ලද්දක් වුවත් එහි අඩක් සත්‍යයය. ඒ ඡායාරෑපයේ වූයේ ලෝකයේ දැනට ඇති යෝධතම රොබෝවන් අතරින් එකකි. ඒ ‘ටයිටන්‘ නමැති රොබෝවයි. රොබෝ තාක්ෂණය අභිබවා යන තාක්ෂණයක් ඔස්සේ දැන් නවතම නිපැයුම් නිපදවෙමින් පවතී. එහි අලුත්ම සංකල්පය ඉදිරිපත්ව ඇත්තේ මෙ කාලයේ සිටින සුපිරි නව නිපැයුම්කරුවා වන කෝටිපති ඒලෝන් මස්ක් වෙතිනි. ඔහු මේ දිනවල යන්ත්‍ර කොටස් මිනිස් සිතුවිලි ඔස්සේ මෙහෙයවීමට ඇති හැකියාව ගැන සොයා බලයි. ඔහු මේ සඳහාම පිහිටුවා ඇති ආයතනය වන නියුරෝලින්ක් මගින් සිදුකෙරෙන මේ පර්යේෂණය දැන් ඉතා සාර්ථක ප්‍රතිඵල පෙන්වා හමාරය. ඒ අනුව ඉදිරියේදී රොබෝ අවයව සහිත මිනිසුන් වන ‘සයිබෝර්ග්‘වරු මෙන්ම මුළුමනින්ම වෙනත් අයකුගේ හැඟීම් දැනීම් අනුව ක්‍රියා කරන මානවරෑපී ‘අවතාර්‘වරුන්ද  අප අතර බහුලව ගැවසෙනු ඇත.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05