2022 ජනවාරි 22 වන සෙනසුරාදා

බලාපොරොත්තු ඉහළ නැංවූ ජනපතිගේ රාජාසන කතාව

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 63

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් අඟහරුවාදා (18) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව පවත්වනු ලැබුවේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව රාජ්‍ය පාලනය පිළිබඳව ඉදිරි වසර සඳහා වන සැලැස්මට අදාළ යෝජනා හා ක්‍රියාවලිය පැහැදිලි කිරීම රාජාසන කතාව හරහා සිදුවේ. වර්තමානයේදී මෙය ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලෙසද හැඳින්වේ.

පසුගිය වසරේ දෙසැම්බර්යේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අවසාන කළේය. ඒ අනුව ඉකුත් අඟහරුවාදා ආරම්භ වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයි. පාර්ලිමේන්තු සාම්ප්‍රදාය අනුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත්දා රාජාසන කතාව සිදුකිරීමට යෙදුණේ එබැවිනි. ඉදිරි වසර තුනක කාලය තුළ ආණ්ඩුව ඉටුකිරීමට බලාපොරොත්තු වන කාර්යයන් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. නව වසරට සුභාශිංසන පිරිනමමින් සිය කතාව ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වත්මන් අභියෝගය ජය ගැනීමට සහාය ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ මහජනතාවගේ හඬයි. ඒ නිසා ඔබ සියලුදෙනා රටට ජාතියට වග කියන සුවිශේෂී කණ්ඩායමක්. ඔබ මෙන්ම, අතීත ජනවරමින් ජනපති ධුරයට පත්වූ මමත් ජනතාවට වගකිව යුතුයි. මට ඡන්දය දුන් මෙන්ම නොදුන් ජනතාව වෙනුවෙන්ද ඒ වගකීමේ වෙනසක් නැහැ. වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

කොවිඩ් වසංගතය සහ ජන ජීවිතයට එල්ල වූ බාධා පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා වසංගත පාලනය කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ගද පැහැදිලි කළේය. විශේෂයෙන් මේ දිනවල ආණ්ඩුව වෙත එල්ලවන විවේනය හමුවේ පසුගිය කාලය පුරා ආණ්ඩුව විසින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගෙන යෑමට කළ කී දෑ නැවත නැවතත් සිහිපත් කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වූ බව පැහැදිලිව පෙන්නන්නට තිබුණි.

ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදෙන්න අප කටයුතු කළා. මොනතරම් දුෂ්කරතා තිබුණත් සෞඛ්‍ය කටයුතු සඳහා පිරිවැය වෙන් කරන්නට අප කටයුතු කළා. රෝහල් පද්ධතියට අලුතින් ඇඳන් තිස් පන්දාහක් එකතු කළා. ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් බොහෝ රටවලට සාපේක්ෂව අප ප්‍රශස්ත මට්ටමක සිටිනවා. අපට සාමාන්‍ය ජීවිතය නැවත අරඹන්නට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව කෙතරම් ආර්ථික දුෂ්කරතා මතු වුවද ජනතාවගේ සෞඛ්‍යය ප්‍රමුඛතාව සේ සලකා අවශ්‍ය සියලු පිරිවැය දැරීමට රජය කටයුතු කළ බවද ජනපති සිහිපත් කරනු ලැබීය. එසේම ගෝලීය වසංගතයෙන් පසු සාර්ථක එන්නත්කරණය නිසා රටේ සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කරන්නට හැකියාව ලැබී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

එසේම ජාතිවාදය පිටු දැකීම ප්‍රජාතන්ත්‍රවාද ස්ථාපිත කිරීම වැනි අන්තර්ජාතික වශයෙන් අවධානයට ලක්වන තේමාවන්ද සිය කතාවට ඇතුළත් කර ගැනීමට ජනපති උනන්දුවක් දක්වා තිබුණි.

රටේ ස්වෛරිත්වයට සහ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙන අතර ජාත්‍යන්තර ප්‍රජාව කරන නිරීක්ෂණ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට කටයුතු කරනවා. සෑම රාජ්‍යයක් සමඟම මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අපේ අරමුණයි. කිසිදු වෙනස්කමකින් තොරව ජනතාව සඳහා පහසුකම් සැලසීම අපේ සංහිඳියාවේ අරමුණයි. උතුරේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙස උතුරේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.”

විදෙස් රාජ්‍යයන් කළමනාකරණ කර ගැනීමට උත්සාහ දැරීමක් මෙන්ම මේ වනවිටත් විවිධ පාර්ශ්ව වෙතින් එල්ලවන චෝදනාවලින් මිදීමට මෙම කතාව තුළ සැලසුම් විය. ඒ අනුව කිසිම ආකාරයකට මානව හිමිකම් කඩවීම් සිදුකිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. මේ අතර නීති සහ නීතිමය ප්‍රතිසංස්කරණ සම්බන්ධ මේ දිනවල පවතින සංවාදයද ස්පර්ශ කිරීමට මෙම කතාව හරහා ජනාධිපතිවරයා අමතක නොකළේය. ඒ අනුව ජනතාවට බරක් නොවන කාර්යක්ෂම අධිකරණ සේවයක් ස්ථාපිත කරන බව ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුව වෙත එල්ල කරනු ලබන චෝදනාවලටද මෙවර රාජාසන කතාව පුරා විටින් විට පිළිතුරු බැඳීමට ජනපතිවරයා උත්සාහ ගෙන තිබුණි. එසේම ආණ්ඩුව අභ්‍යන්තරයේ විවිධ කණ්ඩායම් ගොණුකළ විරෝධතාවන්ට යම් පිළිතුරු බැඳීමක් මෙම කතාව තුළ අන්තර්ගත විය. ජනාධිපති පළකළ මෙම අදහස් ඔස්සේ එය හොඳින් පැහැදිලි වුණි.

වැරදි අර්ථකථන ලබාදෙමින් විදේශ ආයෝජනවලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට දේශපාලන අරමුණු මුල් කරගෙන යමෙක් කටයුතු කරනවා නම් එය රටට කරන අයහපතක්. රටේ සංවර්ධනය සඳහා නව ආයෝජනවල අවශ්‍යතාව මේ මොහොතේ තදින්ම පැන නැගී තිබෙනවා.

වර්තමානයේ රටේ වඩාත් වැඩි අවධානයක් යොමුවී ඇති හරිත කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපතිගේ වර්තමාන අදහස මෙවර රාජාසන කතාව හරහා හෙළිදරව් විය.

“යම් වැරුදි වැටහීමක් ඇතිවුණා. හරිත සංකල්පය යන යන සංකල්පය වගකිවයුත්තන් පවා කාබනික පොහොර සංකල්පයට ලඝු කිරීමෙන් වැරදි පණිවිඩයක් සමාජයට ගියා. ඒ සමහර තීන්දු මහජන දුෂ්කරතාවයන්ට හේතු වූ නිසා යම් වෙනස් කිරීම් කරන්නට අපට සිදුවුණා. සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගැන වඩා ඵලදායී ලෙස ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ජෛව පොහොර භාවිතය ප්‍රවර්ධනය කොට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් නිර්මාණය කර ගැනීම අපගේ අරමුණයි.

ඒ අනුව හරිත කෘෂිකර්මය ක්‍රියාත්මක කිරීමේදී යම් ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණේ අරමුණ හරියාකාරව සන්නිවේදනය නොවීම නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. මේ අතර මෙරට විදෙස් සංචිත සම්බන්ධ මතුවී ඇති බරපතළ අර්බුදය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ තැබුවේය. පාලනයෙන් තොර වූ ක්‍රියාදාමයක් මත විදෙස් සංචිත හිඟය නිර්මාණය වී ඇති බව ජනපති කීය.

අප මුහුණ දී ඇති බරපතළම ගැටලුව වන්නේ විදේශ විනිමය ගැටලුවයි. ආණ්ඩු ගණනාවක් මුහුණ දුන් මේ ගැටලුවේ උච්චතම අවස්ථාවක අප මුහුණ දී සිටිනවා. අප රට බාර ගන්නා විට සංචිත  තිබුණේ ඇමෙරිකා ඩොලර් බිලියන 7.2 පමණයි . මේ දක්වා පැවැති සියලු රජයන්වල ණය අපට ගෙවන්නට සිදුවී තිබෙනවා. ආනයන සීමා කිරීමේදී ජනප්‍රිය නොවන තීන්දු ගන්නට සිදුවුණේ රටේ මුදල්  ඉතුරු කර ගැනීම සඳහායි. Corona නිසා නිසා සංචාරක ආදායම නැතිවුණා. විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් අහිමි වුණා. රට වසා තැබීම නිසා විදේශ ආයෝජන ලබාගැනීමට නොහැකි වුණා. සංචිත අඩු වුණේ අපේ පාලනයෙන් තොරව සිදු වූ මේ ක්‍රියාදාමය නිසයි.

මීට අමතරව ජනාධිපතිගේ රාජාසන කතාව තුළින් තවත් විෂය ක්ෂේත්‍රයන් රුසක් සම්බන්ධ සාකච්ඡාවට කෙරුණි. ඉදිරියේදී වාහන ආනයනය සඳහා අවසර දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවත් නව ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 2022 යනු ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් තීන්දු තීරණ රුසක් ගන්නට සිදුවන වසරක් යැයි සඳහන් කළ ජනපති රටේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බවද කීවේය. ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වා දීම, විශ්ව විද්‍යාල ධාරිතාව පුළුල් කිරීම, නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම ආදී කරුණුද ජනාධිපතිගේ අවධානයට ලක්විය. අවසානයේදී රටේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා නායකත්වය ලබාදීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

“ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යය සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඉදිරි වසර කීපය ඇතුළත කලාපයේ වැඩියෙන්ම සංවර්ධනය වන රටක් බවට ලංකාව පත් කිරීම අපේ සැලසුමයි. කර්මාන්ත සේවා සහ කෘෂිකාර්මික අංශවල සියලු සංවර්ධන සැලසුම් අප ක්‍රියාත්මක කරනවා. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අප සියලුමදෙනා අනාගත පරම්පරාවට වගකිව යුතුයි.

රාජාසන කතාව එසේ අවසන් වූ අතර අනතුරුව ගෙවුණු සතියේ දින දෙකක් පුරා එම කතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාද පැවැත්වුණි.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05