රිදියගම සෆාරි උද්‍යානයට පැමිණෙන බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින එක් දසුනක් වන්නේ පුංචි ඩෝරා නම් සිංහ පැටවාගේ සෙල්ලක්කාරකම්ය. 2021 වසරේ ජූලි මස විසි නවවැනිදා උපත ලැබූ ඩෝරා තවමත් මාස හතරහමාරක් පමණ වයසැති දඟකාර සිංහ පැටවෙකි. චණ්ඩි නම් සිංහයාට දාව ලාරා නම් සිංහ ධේනුව බිහිකළ ඩෝරා උපතේදීම මව විසින් ප්‍රතික්ෂේප කළ ආදරණීය පිරිසකගෙන් ජීවිතය ලද සිංහ පැටවෙකි.
ලාරා ඉතා ඉක්මණින් කිපෙන සිංහ ධේනුවකි. ඉතා ඉක්මණින් වසමේ සිටින අනෙක් සිංහයින් සමඟද රණ්ඩු වේ. මේ නිසාම මේ හැසිරීමත් සමඟ ලාරා පැටවුන් බිහි නොකරන සිංහ ධේනුවක් යැයි බොහෝ දෙනා සිතූ නමුත් නොසිතුව මොහොතක ලාරා ගැබ්බර වී ඇති බව රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය අංශයට පසක් විය. මේ නිසාම පශූ වෛද්‍ය අංශය ඇතුළු සෆාරි කණ්ඩායමේ නිලධාරීන් ලාරා වෙන්කොට ඇයට අවශ්‍ය ප්‍රතිකාර, පරීක්ෂණ මෙන්ම අවශ්‍ය සියලු රුකවරණය ලබාදුන්හ. ලාරාව අනෙක් සිංහයන්ගෙන් වෙන්ව වෙනත් කොටසකට රඳවා තබාගත්හ. සිංහ පැටවා බිහි කිරීමට ආසන්න කාලය වෙද්දී ලාරාව පිටතට නොයා ආරක්ෂාකාරීව රඳවා තබා ගන්නට ඔවුහු වගබලාගත්හ. එලෙස යම් ලෙසකින් සිංහ ධේනුව පිටතක පැටවා බිහිකළහොත් පැටවාට යම් අනතුරක් සිදුවන්නටද ඉඩ තිබුණි.
එක්තරා දිනෙක ලාරා පැටවකු බිහිකළා යැයි පශු වෛද්‍ය අංශයට පණිවිඩයක් ලැබුණි. ඒ වනවිටත් ලාරා සම්බන්ධයෙන් නිරන්තර සෝදිසි කිරීමක් සිදුවෙමින් පැවතුණි. සත්ත්ව මවට පැටවා වෙනුවෙන් අදාළ කාර්යයන් සිදු කිරීමට පැය හතරක කාල සීමාවක් ලබාදෙයි. ඒ අදාළ කාර්යයන් කරගැනීමට පැය හතරකට වැඩි කාලයක් ගත වේ නම් පැටවා සම්බන්ධව අවදානමක් පවතින බව ඔවුන් තේරුම් ගනී. මවගේ උණුසුම, ශරීරයට අවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණය කිරි නොබීම නිසා නොමැති වීම හේතුවෙන් අප්‍රාණික පැටවා කූඩුව ඇතුළත තැන් තැන්වල වැදීම හේතුවෙන්ද යම් අනතුරු සිදුවීමට පුළුවනි. ඇතැම් විට මවගෙන් ප්‍රතික්ෂේප වන පැටවා මවටම පෑගීම තුළින්ද අනතුරක් සිදුවිය හැකිය. මේ නිසාම ලාරාගේ හිතේ කිසිදු මාතෘ සෙනෙහසක් නොමැති බව තේරුම් ගත් පශු වෛද්‍ය අංශය ඇතුළු කාර්ය මණ්ඩලය ලාරාගෙන් පැටවා වෙන්කර ගැනීමට තීරණය කළහ. ඒ වනවිටත් ඩෝරා සිටියේ ජීවිත අවදානමකය.
තමන්ගේ කුසින් බිහිවුණු ඩෝරා නම් පැටවා දෙසවත් ලාරා බැලුවේ නැත. ලාරාගේ සෙනෙහස ඩෝරාට දැනුණේවත් නැත. තම කුසින් බිහිවූ පැටවා පැත්තකට දමා ලාරා පැත්තකට වූවාය. ඒ වනවිටත් ඩෝරා සිටියේ දුර්වල තත්ත්වයකය. කාර්ය මණ්ඩාලය ඩෝරා ගෙන කුඩා කූඩුවකට දමා නැවතත් දැල් යෙදූ කූඩුව ලාරාට සමීප කළාය. නමුත් එහිදීවත් මව් සෙනෙහස ලාරාට නොදැනිණි. ලාරා තම පැටවාට අතින් පහර දෙන්නට සූදානම් වූවාය. ඒ ප්‍රතික්ෂේප කිරීම නිසා මේ අලුත ඉපදුණු පැටවා බේරා ගැනීමට ඇති එකම විසඳුම කෘත්‍රිමව රුකබලා ගැනීම පමණක් බව පශු වෛද්‍ය අංශය ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කළහ.
දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ අලුත උපන් පැටවුන් බොහෝමයක් රුකබලා ගනිමින් බොහෝ අත්දැකීම් ලත් අරුණසිරි මහතා ඩෝරාව රුකබලා ගැනීම සඳහා යොදවන්නට ඔවුහු තීරණය කළහ. ඒ අනුව පසුදා උදෑසණින්ම දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ සිට රිදියගම සෆාරි උද්‍යානයට ඩෝරා රුකබලා ගනු පිරිස අරුණසිරි පැමිණියේය. අරුණසිරි පසුදා උදෑසනම සෆාරි උද්‍යානයට පැමිණෙන විටත් ඩොරාට සෆාරි උද්‍යානයෙන් කිරි වේලක් ලබා දී තිබුණි. උපතින්ම ඩෝරා මඳක් දුර්වල වුණු පැටවෙකි. එතැන් සිට අරුණසිරි, පශු වෛද්‍ය අංශය සහ කාර්ය මණ්ඩලයේ ආදරය, රුකවරණය, ඩෝරාට උපරිමයෙන් ලැබුණි. ඔවුහු පැය දෙකෙන් දෙකට ඩෝරාට කිරි පෙවූහ. ඉපදී ගෙවුණ හතරවැනි දින ඩෝරා අප්‍රාණිකව බිම වැටී සිටියේය. ඉතා ඉක්මණින් වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම ඩෝරාව පරීක්ෂා කර බැලූහ. මවගෙන් කිරි උරා බොනවා වෙනුවට කිරි පෙවීමේදී යම් සංකූලතා තත්ත්වයන් මතුවීම සාමාන්‍ය දෙයකි. කොයිතරම් ආදරයෙන් කිරි ලබාදුන්නද මවගේ උණුසුමට තුරුළු වී කිරි බොනවා තරම් සෙනෙහසක් පැටවාට දැනෙන්නේ නැත. තන පුඩු තද කරමින් කිරි බොන විට දැනෙන හැඟීම කෘත්‍රිමව කිරි ලබාදෙන බෝතලයෙන් ඩෝරාට දැනෙන්නට නැත. පැටවකු කිරි බොනවිට මව හිස උදරය, පිට පෙදෙස ලෙව කන්නීය.එයින් ලැබෙන සෙනෙහස, උත්තේජනය බෝතලයෙන් කිරි පොවද්දී ඩෝරාට දැනෙන්නට ක්‍රමයක් නැත. නමුත් ඒ ආදරයේ අඩුව නොදැනෙන්නට රිදියගම සෆාරි උද්‍යානයේ පිරිස එක්ව කටයුතු කළහ. ඒ කිරී පෙවීමේ කාර්යය නිසා අරුණසිරිට මාසයක් යනතුරු රාත්‍රීෙය්දීවත් නින්දක් නොවීය. එහෙත් අප්‍රමාණ සත්ත්ව කරුණාවකින් අරුණසිරි එක වේලවක් මඟනොහැර පැය දෙකෙන් දෙකට කිරි පෙව්වේය. පශු වෛද්‍ය ප්‍රියසාද්ගෙන්ද ඊට අනගි සහයක් ලැබුණි. ඩෝරාට කිරි පොවද්දී, හිස, උදරය, අතගාමින් කිරි පෙවූහ. සියල්ලන්ගේම ආදරය සෙනෙහස මැද ඩෝරා ශක්තිමත් සිංහ පැටවකු ලෙසින් වැඩුණේය.
එදා අප්‍රාණිකව හිටි ඩෝරා ලබාදුන්නු ප්‍රතිකාර හා රුකවරණයත් එක්ක පැය දෙක තුනක් ඇතුළතදී යථා තත්ත්වයට පත්වුණා. මාසයක් යනතුරු ඩෝරා වෙනුවෙන් අපි හැමෝම ගොඩක් දුක් වින්දා මහන්සි වුණා. ඩෝරා කියන්නේ හරිම ආදරණීය සිංහ පැටවෙක්. යැයි පශු වෛද්‍ය ප්‍රියශාද් එදිරිවර්ණ මහතා දේශයට පැවසීය.
ඩෝරාට නිදා ගනිද්දීද ඒ උණුසුම ලබාදෙන්නට වෛද්‍ය ප්‍රියසාද් අමතක කළේ නැත. ඉපදී මුල් මාස දෙක තුළදී ඩෝරා සමඟ වෛද්‍ය ප්‍රියසාද් මෙන්ම අරුණසිරිද ළංවී නිදාගත්හ. ඔවුන්ගේ කොට්ට, ඇඳ ඇතිරිලි රුගෙන ඔවුහුද ඩෝරා සමඟ ළංවී නිදාගත්හ. මවගේ තුරුලේ නිදාගන්නට වාසනාවක් නොලැබුණ පුංචි ඩෝරාට වෛද්‍යතුමාගේන්, අරුණසිරිගේන් ඇඟට තුරුළු වී නිදාගන්නට වාසනාව තිබුණේය. ඒ නිසාම ඒ උණුසුමට ඩෝරා ආදරය කළාය.
ඉපදී මාසයකට පමණ පසු බෙහෙත් ඇතුළු අනෙකුත් බෙහෙත් සහ එන්නත් වර්ගද ක්‍රම ක්‍රමයෙන් ඩෝරාට ලබා දුන්නේය. මේ වනවිට සියයට සියයක්ම ඩෝරා නිරෝගී දඟකාරී සිංහ පැටවෙකි.
සෆාරි උද්‍යානයේ කිසිම සතෙක්ට අප අපේ අණට අනුව ජීවත් කරන්නට අපි පුරුදු කරන්නේ නැහැ. දැන් ඩෝරා වෙනුවෙන් අපේ කාර්යභාරය විශාල වශයෙන් කර අවසානයි කියලයි අපි හිතන්නේ. සිංහයෙක්, අපි එක්ක දිගටම ඉන්න එක අපි අනුමත කරන්නේ නැහැ. දැන් එයාට සිංහ යහළුවන්ව ඕනෑ කරනවා. යැයි පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතා දේශයට පැවසීය.
ඩෝරාට වඩා වසරකට වැඩිමහල් සිංහ පැටවුන් තිදෙනෙක් රිදියගම සෆාරි උද්‍යානයේ වෙති. නමුත් ඒ පැටවුන් ඉතා සැරය. එවැනි සිංහ පැටවුන් සමඟ ඩෝරා එකට එක්කිරීම අවදානම්ය. ඒ නිසාම කේෂර සහ මීරා නම් සිංහයන් දෙදෙනාට මුලින්ම ඩෝරාව මුණගැස්සවීමට සෆාරි උද්‍යානය තීරණය කර ඇත. කේෂර සහ මීරා ළෙංගතු සිංහයන් දෙදෙනෙකි. කිහිප වතාවත්ම පශු වෛද්‍ය ඇතුළු කාර්ය මණ්ඩලයේ කීප දෙනකු ඩෝරාව කේෂර සහ මීරා අසලට රුගෙන ගියහ. ඔවුන් ළෙංගතුව ඩෝරාව පිළිගත් අතර ඔවුන් අසලදී ඩෝරා ආඩම්බර ලෙසින් හැසිරී ඇත. පිරිස ඉදිරියේ ඩෝරා මීරාටත්, කේෂරටත් යම් යම් ආඩම්බරකම් පෙන්නුවද පිරිස නැති තැන ඔවුන්ගෙන් ඩෝරාට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් තවමත් ඇත්තේ මඳ සැකයකි. මේ නිසාම තවත් මාස දෙකහමාරක් පමණ ගතවනතුරු ඩෝරා වෙන්ව තැබීමට ඔවුන් තිරණය කර ඇත.
සාමාන්‍යයෙන් සිංහ මව තම දරුවාව මාස තුනක් පමණ වනතුරු කිරි ලබාදෙන්නීය. ඒ කිරි දෙන කාල සීමාවේදී සිංහ මව දඩයම් කර ආහාරයට ගන්නා මස්වලින් හැලෙන කුඩා කැබැලි සිංහ පැටවා ආහාරයට ගැනීමට පුරුදු වේ. ඩෝරාට ලබාදුන්නේද ඒ ක්‍රමයමය. ඉපදී මුල් කාල සීමාව තුළදී කිරි පමණක් ලබාදුන් අතර ඉන්පසුව ටිකින් ටික අමු මස් ලබාදුන්හ. මාස දෙකහමාරක් පමණ වූ ඩෝරාට මුලින්ම මස් ග්‍රෑම් පනහක් පමණ ලබාදුන් අතර මේ වනවිට ඩෝරා දිනකට අමු මස් කිලෝවක් පමණ ආහාරයට ගනී.
මේ වනවිට රිදියගම සෆාරි උද්‍යානයේදී ඩෝරා දැක බලාගන්නට අවස්ථාව ජනතාවට උදාවී ඇත. ඩෝරා දඟකාර, සෙල්ලක්කාර සිංහ පැටවෙකි. මේ දඟකාරකමට වෙන්වුණ සෙල්ලම්බඩු බොහෝමයක් ඩෝරාට ඇත. ඩෝරා අල්ලන්නට සුරතල් කරන්නට අවස්ථාව නොලැබුණද ඒ විසේකාර සිංහ පැටවාගේ දඟකාරකම් බලන්නට ඔබට අවස්ථාව උදා වී ඇත.
විශේෂ ස්තූතිය
ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මියට, දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මියට, රිදියගම සෆාරි උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතාට, පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට.
සංචාරක සටහන: දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ