අත්වැරදීමක් හෝ හදිසි කෝපය නිසා කෙනකු අතින් බරපතළ වරදක් සිදුවීමට හැකිය. නැතිනම් යම් සමාජ අසාධාරණයකට ලක්ව හෝ එරෙහිව නැගී සිටීමේදී යම් අපරාධයකට පැටලිය හැකිය. අවසානයේ තමුන් අත වරදක් නැතත් නිරපරාදේ දඬුවම් විඳින අහිංසක මිනිසුන් මහඋළුගෙදර කල්දේරම් බත් රස විඳිනවා ඇති. කුමන හේතුවකට හෝ නීතිය ඉදිරියේ වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ කල් ගෙවන එවැනි රැඳවියෝ විශාල පිරිසක් වෙති.
මැගසින් බන්ධනාගාරයේ පාරට පෙනෙන උස තාප්පයේ සිරකරුවෝ මනුෂ්‍යයෝය යන වදන කාටත් දැනෙන සේ සටහන් කර තිබේ. එනමුත් සිරකරුවෝ මනුෂ්‍යයන් බව යහතින් සිතන කල්පනා කරන අය ඇත්තේ කීයෙන් කී දෙනාද? ගැටලුවකි. හිරගෙදර තාප්ප ගේට්ටු නිල කබා අතැර ජම්පර් ඇඳි රැඳවියන් දකින කෙනකුට මේ නම් අපරාධකරුවකුය යන හැඟීම ඇති නොවන්නේද?
එවැනි සිරගත ජීවිත කිහිපයක අපූරු පැතිකඩක් ගැන පසුගියදා අසන්නට ලැබිණ. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්තා කළේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් සිව්දෙනකු මෙවර ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින බවය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි 8,9 හා 15 දිනයන්හිදී එම රැඳවියන් ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිටි බවය. පසුගිය 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ධර්මාචාර්ය විභාගය කොවිඩ් - 19 අවදානම හේතුවෙන් පැවැත්වීමට හැකි වී නැත. එබැවින් ඉහත දින තුන තුළ විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කොට තිබුණි. ඒ අනුව ඊට ඉදිරිපත් වන බන්ධනාගාර රැඳවියන් සිව්දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සුචරිතෝදය දහම් පාසල් විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි බව වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරි ජයසිරි වටගොඩ මහතා පැවසීය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම තුළ එහි රැඳවියෝ පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙති. එම ක්‍රියාවලිය තුළ අධ්‍යාපන වැඩසටහන් දහම් අධ්‍යාපනය මෙන්ම වෘත්තීය පුහුණුව ලබාදීමද සිදුකෙරේ. කුමන හේතුවක් අරභයා හෝ වරදකරු වී බන්ධනාගාර ගතවන රැඳවියන් යහපත් හා විනයගරුක සදාචාර සම්පන්න මිනිසකු බවට පත් කිරීමේ අභිලාෂය පෙරදැරිව ලබාදෙන දහම් පාසල් අධ්‍යාපනය එහි සුවිශේෂී අංගයකි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන අංශය විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ සුචරිතෝදය දහම් පාසල පවත්වාගෙන යයි. එහි අධ්‍යාපනය සඳහා යොමුව සිටි මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් කිහිපදෙනකු මෙවර ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිට ඇත. ඇතැම් රැඳවියෝ සිය ජීවිතයේදී පාසල් අධ්‍යාපනය ලබා ඇතත් කිසිදිනක දහම් පාසලක දහම් අධ්‍යාපනය ලද අය නොවෙති. නමුත් ඔවුන් හොඳින් දහම් අධ්‍යාපනය ලබා ශ්‍රේණි විභාග සමප්තව අවසන් ශ්‍රේණි විභාගයෙන් පසුව ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිට ඇත.
මෙම විභාගය සඳහා පෙනී සිටි එක් රැඳවියකුගේ උපන් ගම්පළාත කළුතර ප්‍රදේශයයි. විවාහකයකු වන ඔහු එක්දරු පියෙකි. 48 හැවිරිදි ඔහු 2004 වසරේ අගෝස්තු 05 වැනිදා සිරගතව තිබුණේ මිනීමැරීමේ චෝදනාවට ලක්ව මරණීය දණ්ඩනය ලබාදීමෙන් පසුවය. 10 වැනි ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය ලද ඔහු පොළවල්හි සුළු වෙළෙඳාම සිදුකර ජීවිකාව ගෙනගිය අයෙකි. දහම් පාසල් අධ්‍යාපනය නොලබා සිටි ඔහු සිරගතවීමෙන් පසුව දහම් පාසල් අධ්‍යාපනය සඳහා යොමු වී ඇත. ධර්මාචාර්ය විභාගයට පෙනී සිටි ඔහු දහම් දැනුම තුළින් මනා අවබෝධයක් ලබාගෙන ඇත. සීල භාවනා වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට කැමැති මොහු සංසාරය කෙටිකර ගැනීම සඳහා පැවිදිවීමට අපේක්ෂාවෙන් සිටින බවත් එය ජීවිතයේ එකම අරමුණ බවත් පවසයි.
ධර්මාචාර්ය විභාගයට පෙනී සිටි තවත් රැඳවියකු පැවසුවේ ඔහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවය. 42 වැනි වියේ පසුවන ඔහු මිනීමැරීමේ චෝදනාවට මරණීය දණ්ඩනය ලබා 2013 දෙසැම්බර් 30 වැනිදා සිරගතව ඇත. 11 වසර දක්වා පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු වෘත්තියෙන් ගබඩා සහායකයෙකි. 2014 වසරේ සිට බන්ධනාගාරයේ සුචරිතෝදය දහම් පාසලට එක්ව ඇති මොහු නිදහස ලැබීමෙන් පසුව ගම්පළාතේ දරු දැරියන්ට දහම් අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් පසුවෙයි. සිරගත වූ අවස්ථාවේ ඔහු සිය මවට පොරොන්දුවක් වූ බවද එයින් කෙසේ හෝ දහම් අධ්‍යාපනය ලබා ධර්මාචාර්ය විභාගය සමත්වන බවද කියා ඇත. සිය මවට වූ එම පොරොන්දුව ඉටුකිරීම පිළිබඳ තමා වඩාත් සතුටු වන බව ඔහු පැවසීය.
මන්දාරම් නුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ අනෙක් සිරකරු වෘත්තියෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකුව සිට ඇත. මිනීමැරීමට තැත් කිරීම යන චෝදනාවට ලක්ව සිරගතව ඇත්තේ 2014 වසරේදීය. සාමාන්‍ය පෙළ දක්වා පාසල් අධ්‍යාපනය හා 5 ශ්‍රේණිය දක්වා දහම් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු වැලිකඩ බන්ධනාගාර දහම් පාසලේ ශ්‍රේණි විභාග සමත්ව ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිට තිබුණි. ගමේ රටේ ලොකු පොඩි සැමට දහම් දැනුම බෙදාදීම ඔහුගේ අපේක්ෂාවයි.
විභාගයට පෙනී සිටි තවත් රැඳවියකු මහරගම ප්‍රදේශයේ කෙනෙකි. 59 හැවිරිදි ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකි. හමුදා සේවයක කැඩෙට් නිලධාරියකු වූ ඔහු සන්නද්ධ සේවා උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇත. වසර දෙකක් නැවක රාජකාරි කළ ඔහු අවුරුදු පහකට වැඩි කාලයක් කොරියාවේ සේවය කළ බවද කීය. බිරිඳට හොරෙන් විවාහයක් සිදුකර ගැනීම නිසා වූ පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ විසින් පැනවූ නඩුවක් අනුව විෂමාචාර ක්‍රියා චෝදනාව අනුව සිරගත වීමට සිදුව ඇත. ඔහුගේ අදහස මේ ජීවිතයේ සියල්ල පුහු ආටෝපය ඇති අනිත්‍යයක් බවය. එබැවින් නිදහස ලද දිනක මහණදම් පිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව කීය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, සහකාර අධිකාරි පුනරුත්ථාපන ජයන්ත අදාසූරිය, බන්ධනාගාර අධිකාරි යූ.බී. වලිසුන්දර, ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරී පියසිරි වටගොඩ හා දහම් පාසල බාර පුනරුත්ථාපන නිලධාරි මංජුල කුමාර මහත්වරුන්ගේ මගපෙන්වීම මත මෙම රැඳවියන් ධර්මාචාර්ය විභාගය සඳහා පෙනී සිට ඇත.
සමන්ත විල්තෙර