2022 ජනවාරි 22 වන සෙනසුරාදා

හම්බන්තොට නගරාධිපතිත් පැටළුණු ලුණු සමාගමේ සටන

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 99

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ පාලනාධිකාරිය සහ හම්බන්තොට නගරාධිපති අතර ගැටුම මේ වනවිට ලුණුකැට රත්වෙන තරමට උග්‍ර වී තිබේ. එක් පසෙක හම්බන්තොට නගරාධිපති ඇතුළු පිළය. අනෙක් පස හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ඇතුළු පිළය. මේ වනවිට දෙපිළම දෙපිළට විරෝධය දක්වමින් බෝල පාස් වෙන ක්‍රීඩා පිටියක් බවට පත්වී තිබේ.

යහපාලන ආණ්ඩුව සමයේ පැවති දින 52 ආණ්ඩු කාලය තුළදීද ලංකා ලුණු ලේවායේ සභාපති ධුරයට පත් වූයේ වත්මන් සභාපති නිතීඥ නිශාන්ත සදභරණය. ඔහු එදා එම ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක්ද එහි පැමිණ වත්මන් ලුණු සභාපතිවරයාට එදා සහාය පළ කළහ. ඉන්පසු පොදුජන පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු යළිත්  හම්බන්තොට ලුණු සමාගමේ සභාපති පුටුව සඳබරණට හිමිවිය. එහි වැඩබාර ගැනීමේ උළෙලේ ප්‍රධාන කථිකයකු වූයේද ගජමිතුරු හම්බන්තොට නගරාධිපති එරාජ්ය. එදා පටන් එකා වගේ එකට හිටිය සිය මිත්‍රත්වය මේ වනවිට වහකදුරු වී ඇතැයි පෙනේ.

ලුණු සමාගම දිනෙන් දින විනාශයට යාම වළක්වා දෙන ලෙසටත් අත්තනෝමතික ලෙස සමාගම් සභාපතිගේ ඥාතීන් කිහිපදෙනකුට සංස්ථාවේ ලාබය බෙදී යාමට සලස්වා ඇතැයි චෝදනා කරමින් සමාගම් සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ ධුරයෙන් ඉවත් කරන මෙන් ඉල්ලා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ප්‍රමුඛ ජනතාව හම්බන්තොට මහ ලේවාය ඉදිරිපිට ඉකුත් 28 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වූහ. සමාගමේ පාලක පක්ෂය අසීමිත ලෙස වැටුප් වැඩිකර ගැනීම සහ හම්බන්තොට අවට ව්‍යාපාරිකයන්ගේ ලුණු කෝටා ඉවත් කරගැනීම අසාධාරණ බවට පවසමින් ඔවුහු උද්ඝෝෂණයක් පැවැත්වූහ. සභාපතිවරයා  විසින් ඉවත් කරන ලද ලුණු විකුණුම් ඒජන්තවරුන් කිහිපදෙනකුට යළි එම අවස්ථාව ලබාදෙන ලෙස උපවාසකරුවන්ගේ සටන් පාඨය විය. එම සටන් පාඨය සමග නගරාධිපතිවරයා උපවාසයකට වාඩිවීමට පෙර සුනාමි සැමරුම් උත්සවයකදී සභාපතිවරයාත් නගරාධිපතිවරයාත් මුහුණට මුහුණ හමුවීමකදී මුලින්ම මෙම  ප්‍රශ්නය මතු වූ බව ලුණු සමාගමේ සභාපතිවරයා පැවසීය. නාගරික මන්ත්‍රීහු දින 20ක කාලයක් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූහ. එසේම සමාගම් සභාපති ඉවත්කරන තුරු තමා මාරාන්තික උපවාසයක නිරත වන බවට පවසමින් නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඉකුත් 11 වැනිදා ලේවාය ඉදිරිපිට අට්ටාලයේ හිඳගත් අතර එම උපවාසය අතරතුර ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉකුත් 14 වැනිදා ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය. 

ලුණු සමාගම් සභාපති පැවසූයේ ප්‍රථම වතාවට ලාභ ලැබූ ආයතනයකට එරෙහිව පිරිසක් උද්ඝෝෂණ පවත්වන බවත් පසුගිය වර්ෂයේ ඔහුගේ පාලනය යටතේ රුපියල් මිලියන 170 කට අධික ලාභයක් ලංකා සෝල්ට් ආයතනයට ලබාගැනීමට හැකිවූයේ ලුණු මාෆියාවේ සිටින පුද්ගලයන් ඉවත්කර ඉන් කාර්යක්ෂම පාලනයක් ආයතනය තුළ පවත්වාගෙන යෑම නිසා බවයි. එහෙත් නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීන් චෝදනා කරනුයේ ආයතනයේ කොටස් හිමිකරුවන් 400 ක් පමණ සිටියත් ඒ කිසිවකුටත් සභාපති කියන ආකාරයට ආයතනය ලැබූ බව කියන ලාභය බෙදා දී නැති බවයි.

කරට කර සටන ගෙන යන හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසූයේ හම්බන්තොට මහලේවායේ සභාපතිවරයා ඉවත් නොකරන්නේ නම් ඉකුත් 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ හම්බන්තොට මහනගර සභා රැස්වීමේදී තමන් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බවයි. අප මේ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමේදී නගරාධිපතිවරයා පැවසුවේ ලුණු සභාපති අස්කළත් නොකළත් මට ජනතාව දුන් අවුරුදු හතර අවසන් වන නිසා තමා පෙබරවාරියේදී අස්වන බවයි. මාරාන්තික උපවාසය නැවතූයේ සටන අත්හරින්නදැයි විමසීමේදී නගරාධිපතිවරයා පැවසූයේ චමල් රාජපක්ෂ ඇමැතිතුමා ඇවිත් මට කිව්වා 19 වැනිදා සාධාරණ විසඳුමක් දෙනවා. ඒ නිසා මාරාන්තික උපවාසය අත්හැර සත්‍යග්‍රහය කරගෙන යන්න කියලා. ඒ නිසා එතුමාට ගරුකරලා තමන් ඒක අත්හැරිය බවයි.

මෙහිදී අප කළ ප්‍රශ්න කිරීමේදී නගරාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

''මගේ ජීවිතේට මා ලුණු ඉල්ලලා නෑ. නගරාධිපතිකම අවුරුදු 10ක් කළත් මා කිසිම දෙයක් අරගෙන නෑ. එක බිම් අඟලක් අරගෙන නෑ. මම නෙමෙයි ඉඩකඩම් අරගෙන ලුණු ෆැක්ටරියක් දාලා තියෙන්නේ. ඥාතීන් යොදාගෙන හැම ලුණු මල්ලකින්ම අත යට කොමිස් ගත්තා. හම්බන්තොට නගරයේ මේ ලුණු කර්මාන්තයෙන් ජීවත්වුණු මිනිසුන්ගේ රස්සා නැතිවෙද්දී මම නගරයේ ප්‍රධාන පුරවැසියා නිසා මගෙන් ඉල්ලීම් කරන්න ගත්තා මේ අසාධාරණකම් නවත්වන්න කියලා. මෙහි සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදලේ අධ්‍යක්ෂවරුන් තුන්දෙනා මාස ගාණකට කලින් අයින්වුණා ලුණු සභාපති සමඟ වැඩ කරන්න බෑ කියලා. වෘත්තිය සමිතිවලින් මහ නගර සභාවට ලියුම් ආවා මේ අසාධාරණකම් නවතන්න කියලා. ඒකයි මං මේකට මැදිහත් වුණේ. බෙලිඅත්ත ප්‍රදේශයේ ෆැක්ටරියකින් යාපනයට යවන්න විශාල බිල් දාලා පාරිභෝගිකයනුයි විගණනයෙනුයි ගිහින් මාස ගාණකට කලින් ඇල්ලුවා. ලුණු සභාපති බොරු පැමිණිලි ගණනාවක්  දාලා උදේ ඉඳන් අපි පොලීසියේ. තුන් දෙනෙක් 26 වෙනකල් රිමාන්ඩ් කළා යැයිද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හම්බන්තොට ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා මෙසේ පැවසීය.

සමාගමේ එතෙක් පැවැති ලුණු මාෆියාවට මා වැඩබාර ගැනීමෙන් පසුව තිත තැබුවා. ලේවාය ළඟ උද්ඝෝෂණය කරන්නේ ඇතැමුන්ට කොමිස් ගන්න බැරි නිසා. නගරාධිපතිවරයා මට මුහුණට කිව්වේ මේ මගේ මිනිහා. එයාට දෙන්නලු. මට ඒක කරන්න බෑ. මං කාටවත් බයත් නෑ. ඒ නිසා මට තර්ජනය කරනවා. ඉකුත් අඟහරුවාදා දිනයේත් ඔවුන් මා හිරකරගෙන නිවාස අඩස්සියේ තියන්න උත්සාහ කරා. පැය දෙක තුනක් මට හම්බන්තොට ලේවායේ ඇතුළේ හිරවෙලා ඉන්න සිදුවුණා. මේ සිද්ධියට මං පොලීසියට පැමිණිලි කළාම මෙයාලා මට මරණ තර්ජන කරන්න ගත්තා. හම්බන්තොට පොලීසිය මෙම පැමිණිල්ල ගැන නිසි අවධානය යොමු නොකළ නිසා මං පොලිස්පතිටම පැමිණිලි කළා. ඊටපස්සේ අඟහරුවාදා දිනයේ දෙපාර්ශ්වයම හම්බන්තොට පොලීසියට කැඳවලා තිබුණා. මීට සතියකට කලින් අපේ වාහනයකට හානිකළ මන්ත්‍රීවරයකු උසාවියට ඉදිරිපත් කළත් පොලිසියෙන් නියම විදිහට නැතිව බී වාර්තාවල කරුණු අඩුවෙන් දක්වලා දාන්න හැදුවත් අපේ නීතීඥවරුන්ගේ තර්ක  නිසා එය ඔවුන්ට කරන්න අපහසු වුණා. මේ සිද්ධියේදී පොලීසිය හරියට ක්‍රියාකළේ නෑ. තංගල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට කියන්න ඇමතුම් 10ක් විතර ගත්තත් එතුමා මාව මගහැරියා. මං ඊටපස්සේ ඔහුට එස්.එම්.එස්. එකකින් ඔහුට කිව්වා ඔබතුමාගෙ නොසැලකිල්ල ජීවිත හානිවෙන්න පුළුවන් කියලා. ඔහු ඒ තොරතුර ඕඅයිසීලා සම්බන්ධ වට්ස්ඇප් සමූහයකටත් දාලා තියෙනවා කියලා මට ආරංචි වුණා. මහජන කැළඹීම සඳහන් නොකර ඇප පනතෙන් ඇප ගන්න පහසුවන ආකාරයට දැම්මාම අධිකරණයේ අපේ පාර්ශ්වයෙන් කරුණු දැක්වූ පසු  ඔවුන් 26 වෙනකල් රිමාන්ඩ් කළා. අඟහරුවාදා දිනයේ ලේවායේ ගේට්ටුව ඉදිරිපිට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඇතුළු පොලීසියේ විශාල පිරිසක් බලා සිටියදී කඩු පොලු අරගෙන එළියට බැස්සොත් මරනවා යැයි කියමින් කෝලහල කළා. පොලීසිය බලා සිටියදී මෙසේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියෙන් විමසුවාම ඔවුන් කිව්වේ එහෙම හිටියාට තවම මුකුත් වුණේ නෑනෙ කියලා. පොලීසිය ක්‍රියාත්මක නොවුණට අපි මේ වන විට ලේවායේ දේපළවලට හානි කිරීම හා අපේ කීර්ති නාමයට හානිකිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව සිවිල් නඩු පැවරීමට අදාළ එන්තරවාසි මේ වන විටත් යවා තිබෙනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් නීතිය හමුවට යනවා. අපිට රාජ්‍ය ආයතනවල ලාබ ගන්න වෙලා තියෙන්නේ ජීවිතයයි මරණයයි අතර සටන් කරලා. මම මේ සටන අතහරින්නේ නෑ. මා මේ තනතුරෙන් යන්නෙත් නෑ. මට ජනපති අගමැති වගකීමක් දුන්නේ. ඒක මං අකුරට කළා යැයි සභාපතිවරයා පැවසීය.
ලුණු සභාපති පොලීසිය වෙත කරන චෝදනා සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙක්  මෙසේ පැවසීය. 

පොලීසිය රාජකාරිය කරන්නේ නෑ කියන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඔහු ඉදිරිපත් කර ඇති පැමිණිලි සියල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ දෙපිරිසම එකම පක්ෂයේ. දේශපාලන ප්‍රශ්න පොලීසිය පිට පැටවීම වැරුදියි. පොලීසිය ඉත්තන් කරගැනීම වැරුදියි. මෙතැන සිද්ධවෙන්නේ දෙපිරිසම කලහකාරී ලෙස හැසිරිලා පොලීසිය අපහසුතාවට පත් කරනවා. අත්අඩංගුවට ගන්න ගියොත් දෙපිරිසම ගන්න වෙනවා. විමර්ශනවලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා. මේ ප්‍රශ්නය පොලීසිය නිසා ඇති වූ ප්‍රශ්නයක් නෙමෙයි යැයි හෙතෙම පැවසීය‍.

1994 බලයට පත් වූ පොදු පෙරමුණ ආණ්ඩුව පිහිටුවා වසර 3ක් යන්නට මත්තෙන් හම්බන්තොට ලුණු ලේවාය පෞද්ගලික අංශයට පැවරීමට පිඹුරුපත් සකස් වෙමින් තිබියදී එම ආණ්ඩුවේ කම්කරු අමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල මගින් මුදල් යොදවා ලේවාය පෞද්ගලික අංශයට නොගොස් එය රජය සතුව තබාගැනීම සඳහා මහත් වෙහෙසක් දැරීය. එකල එසේ ආරක්ෂා කළ මෙම ජාතික සම්පත කුළල් කකා ගොඩනැගීමට නොහැකිය. 
අපේ රටේ ලාභ ලැබීමට හැකි රජයට අයත් ආයතන සෝදා පාළුවට ලක්වන්නේ ඇතැම් දේශපාලකයන්ගේ මැදිහත්වීම් නිසාය. එදා අද සමහර ආයතන කි‍්‍රයාත්මක වූයේ කාලෙන් කාලෙට පත්වෙන ආණ්ඩුවල අඳබාලයන්ට ගතමනාවක් සොයා ගැනීමේ ඉල්ලමක් ලෙස බව ප්‍රසිද්ධ රහසකි. එසේ අඳබාලයන් මාර්ගයෙන් සමහර අවස්ථාවල දේශපාලකයන්ගේ සාක්කු පිරුණු අවස්ථාද නැතුවාම නොවේ. එහෙත් ඉහත කී කාරණය මෙම සිද්ධිය සමග සැසඳීමට අපි ඉක්මන් නොවන අතර රාජ්‍ය ආයතන දෙකක පාලකයන්ගෙන් ජනතාව අපේක්ෂා කරනුයේ තැන තැන වාද විවාද කරගැනීමවත් උපවාස කිරීමවත් නොව අවංක අරමුණෙන් සාමූහික වගකීමෙන් ජාතික සම්පත් ආරක්ෂා කරගනිමින් ජනතා සේවය පමණක්ම බවත් අපි සිහිපත් කරමු. 

 සසංක චලන ගිම්හාන