බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ කාලබෝම්බයක් ලෙස අටවා තිබූ අත්බෝම්බයක් සොයා ගැනුණේ පසුගිය 11 වැනිදාය. පාස්කු ප්‍රහාරයට දින දහසක් පිරීමට දවස් තුනක් තිබියදී වාර්තා වූ සිද්ධිය ආන්දෝලනාත්මකය. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් අනුව සොයාගත් බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රිය කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කරමින් සිටින බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන ගොඩනැගිල්ල වෙත පිවිසෙන ප්‍රධාන දොරටුවේ දකුණුපසට වන්නට සුරුවමක් අසල තිබියදී බෝම්බය සොයාගෙන තිබුණි. දේවස්ථානය වෙත පැමිණි අයකු බෝම්බය ප්‍රථමයෙන් දැක ඇති අතර දේවස්ථානයේ පාලක පියතුමන් දැනුම්වත් කිරීමත් සමඟ ඒ බව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දන්වා ඇත. ඒ අනුව බොරැල්ල පොලීසිය විසින් විශේෂ කාර්ය බලකාය දැනුම්වත් කර බෝම්බය නිශ්ක්‍රිය කිරීමට හා ඉදිරි විමර්ශන ඇරඹීමට පියවර ගෙන තිබුණි. විමර්ශන ආරම්භ කොට පැය කිහිපයක් ඇතුළත සැකකරුවකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු බෝම්බය දේවස්ථානය තුළ තැබූ ප්‍රධාන සැකකරු බවට ද එම පුද්ගලයා දීර්ඝ කාලයක සිට දේවස්ථානයේ සේවය කළ අයකු බවද පැවසිණ. මෙහිදී පොලීසිය වාර්තා කළේ බෝම්බය ඇටවීම සඳහා භාවිත කළ ගිනිපෙට්ටි, ගිනිකූරු, සුවඳ කූරු හා සෙලෝටේප් ආදිය එම පුද්ගලයා නැවතී සිටි කාමරයේ තිබියදී සොයාගත් බවය.
එම සැකකරු විසින් බෝම්බය දේවස්ථානයේ තැබීම සඳහා 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ සහාය ලබාගෙන ඇති බවට හඳුනාගෙන ඇත. එම දරුවා ද හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමෙන් පසුව අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මේ ආකාරයට ප්‍රථමයෙන් අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 25, 29, 41 හා 55 වියේ පසුවන සිව්දෙනෙකි.
බෝම්බ සිද්ධියේ විමර්ශන සඳහා එම පරිශ්‍රයේ තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන භාවිත කර තිබුණි. අනතුරුව එම දර්ශන දේවස්ථානයේ පියතුමන් විසින් ද නිරීක්ෂණය කොට ඇත. එහිදී දැක ඇත්තේ හඳුනා නොගත් පුද්ගලයකු සැක කටයුතු බෑගයක් රැගෙන දේවස්ථානයට ඇතුළු වී අදාළ බෝම්බය හමු වූ ස්ථානයේ යමක් සඟවන බවය. ඒ අනුව දේවස්ථානය පාර්ශ්වය ප්‍රකාශ කළේ සී.සී.ටී.වී. දර්ශන පොලීසිය හරියාකාරව නිරීක්ෂණය නොකළ බවත් අත්‍යවශ්‍ය කොටස් මගහැර නිරීක්ෂණයට ලක් කර ඇති බවත්ය.
අනතුරුව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉහත සිදුවීම සම්බන්ධ පොලීසිය සිදු කළ විමර්ශනය පිළිබඳව දැඩි විවේචනයක් සිදු කර තිබුණි. එම ප්‍රකාශය ජනමාධ්‍ය හරහා ද ප්‍රචාරය කෙරුණි.
''අපේ පල්ලියේ අවුරුදු ගාණක් වැඩ කරපු හතර දෙනෙක්ව පොලීසියට කැඳවාගෙන ගියා. පස්සෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයේ සඳහන් වුණා බෝම්බය තබා ගියේ (මුනි) කියන කෙනා කියලා. පොලීසිය අපට කීවේ හවස 3න් පසුව සී.සී.ටී.වී. නැරඹුවාම ඇති කියලා. නමුත් අපි මේ සී.සී.ටී.වී. නැරඹුවා උදේ සිටම. ඒ අනුව පේනවා එදා උදේ 9.52ට පුද්ගලයෙක් දේවස්ථාන භූමියට ඇතුළු වෙනවා. අපිට පේනවා මේ සිදුවීම ඇත්ත හොයාගෙන යනවාට වඩා කතන්දරයක් ගොතන්න හදන වැඩක් විදිහට. ඒ නිසා පොලීසියේ මේ ක්‍රියාදාමය අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. අවංකකම නැතිව දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන්න නොවෙයි පොලීසිය තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා බොරු කරන්න එපා. ඔය යුනිෆෝම් එක ගලවලා ගෙදර යන්න.''
කාදිනල් හිමිපාණන්ගේ චෝදනාව හමුවේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ දේවස්ථානයේ බෝම්බයක් සොයා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් සැකකරුවන්ට තරාතිරම නොබලා නීතිමය කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇති බවත්ය.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය රජය හා පොලීසිය අපකීර්තියට පත් කිරීමට සිදු කළ කුමන්ත්‍රණයක් බවය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.
''අත්බෝම්බයක් හමුවුණා කියන එකෙන් ජාතික ආරක්ෂාව පහත වැටීමක් වෙනවා කියන එක පිළිගන්න බෑ. පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය දෙක තුනකින් ඉවර වෙන්නෙ නෑ. යම්කිසි කාලයක් අවශ්‍යයි. මම කියන්නෙ නෑ මාස 7, 8ක් අවශ්‍යයි කියලා. නමුත් අඩුම ගාණෙ දින කිහිපයක් හරි අවශ්‍යයි. පැය දෙක තුනක් නැත්නම් පැය 24ක් තුළ මේ පරීක්ෂණය කරලා ඉවර කරනවා නම් ඒක ප්‍රාතිහාර්යක්. මම ආරක්ෂක ලේකම් විදිහට සහතිකයක් දෙනවා අවශ්‍ය සැකකරුවන් නීතියේ රැහැනට ගේනවා කියලා.''
මේ අතර සී.සී.ටී.වී. දර්ශනය අනුව බෝම්බය රැගෙන ආ බවට සැක කරන පුද්ගලයා යමක් දේවස්ථානයේ තබා පාගමනින් බේස්ලයින් මාර්ගයට ගමන් කර එතැනින් දෙමටගොඩ දෙසට හා බේස්ලයින් දුම්රිය ක්‍රීඩාංගණය අසලින් වනාතමුල්ල දෙසට ගමන් කර ඇති බවද හඳුනාගෙන ඇත. කෙසේ හෝ අත්අඩංගුවට පත් පිරිසගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනුණේ ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදීය. ඔහු ලියනගේ දයාසේන (65) නැමැත්තෙකි.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමෙන් පසුව විශ්‍රාමික වෛද්‍යවරයෙක් පිළියන්දලදී අත්අඩංගුවට පත් විය. ඔහු පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ අයෙකි. එම සැකකරු රෝහල ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබුණු අතර එහි ආරක්ෂක නිලධාරියා ලෙස යොදවාගෙන ඇත්තේ පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුය. මොහුට බෝම්බය සමඟ රු. 50,000ක මුදලක් ලබා දී ඇත්තේ විශ්‍රාමික වෛද්‍යවරයා බවට තහවුරු වී ඇත. මේ අතර වාර්තා වන්නේ මීට මාස කිහිපයකට පෙර නාරාහේන්පිට පෞද්ගලික රෝහලක අත්බෝම්බයක් තැබීමට ක්‍රියා කර ඇත්තේ ද මෙම සැකකාර වෛද්‍යවරයාගේ මෙහෙයවීම මත බවය. ඒ බව තහවුරු කර ගැනීම සඳහා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කෙරේ.
මෙම පුද්ගලයා මෙවැනි ක්‍රියාවක නිරතවීමේ අරමුණ කුමක්ද? ඔහු ඒ සඳහා මෙහෙයවන වෙනත් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වේද? යන්න ප්‍රශ්න කෙරෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර