2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ජන හද බැඳගත් වරාය නගරයේ අසිරිය

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 233

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ක්‍රියාත්මක කරන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන කොළඹ වරාය නගරයේ (පෝර්ට් සිටි) සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණි.

මෙම විවෘත වීමත් සමඟ කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස මංතීරුව දැකබලා ගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණ සිටියහ. විශේෂයෙන් පසුගියදා යෙදී තිබුණු දීර්ඝ සති අන්ත නිවාඩුවේ පමණක් 90,000කට අධික පිරිසක් මෙය නැරඹීමට පැමිණ සිටි බව වාර්තා විය.

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කොටසක් ජනතාව වෙනුවෙන් විවෘත කරන ලද ප්‍රථම අවස්ථාව වන්නේද මෙයයි. මීටර් පන්සියයක දිගින් යුතු මෙම පදික මංතීරුව ඉතාමත් අලංකාර ලෙසින් සැලසුම් කර ඇත.
ගාලු මුවදොර පිටිය කෙළවරෙහි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම මංතීරුව සඳහා ඇතුළුවීමට තාවකාලික පිවිසුම් දොරටුවක් ඉදිකර තිබේ. මෙම පිවිසුම් දොරටුවෙන් ඇතුළුව මෙම පදික මංතීරුව අවසානයේ ඉදිකර ඇති ආරුක්කු හැඩැති ලෝහමය එල්ලෙන පාලම දක්වා ගමන් කළ හැකිය.

කොළඹ නගරයේ ජීවත් වන අය මෙන්ම කොළඹ අවට ප්‍රදේශවල ජනතාව පමණක් නොව පිට ප්‍රදේශවල ජනතාවද මෙම අත්දැකීම ලබාගැනීමට පැමිණෙමින් සිටිති. සෑම දිනකම උදෑසන 9.00 සිට සවස හය දක්වා එම ස්ථානයට පැමිණීමට ජනතාවට අවස්ථාව හිමි වී ඇත. වරාය නගරයේ අභ්‍යන්තරයේ ඉදිකරනු ලබන මාර්ග, කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග සමඟ සම්බන්ධ කෙරෙනතුරු මෙම ස්ථානයට රථවාහන ඇතුළු කිරීමට අවසරයක් නැත.

කොළඹ වරාය නගරය වත්මන් කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් ඉදිවන අතර මෙය මුහුද ගොඩ කිරීමෙන් බිහිකරන ලද හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයකි. වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර දැනට විවෘත කර තිබෙන මෙවැනි පොදු ස්ථාන රාශියක්ම ඉදිකිරීම් අවසන් වන ආකාරයට පියවරින් පියවර ජනතාවට දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත. වරාය නගරයේ ප්‍රධාන සැලැස්මවලට අනුව හෙක්ටයාර 91 භූමි ප්‍රදේශයෙන් පොදු අවකාශයන් සඳහා වෙන් කිරීමට සැලසුම් කොට ඇත. මීට අමතරව හෙක්ටයාර 53ක් පුරා විහිදුණ හරිත අවකාශයත්, කිලෝමීටර් දෙකක දිගින් යුතු වෙරළ තීරයත්, හෙක්ටයාර 14ක මධ්‍යම උද්‍යානයත්, පදික මංතීරු ඇළ මාර්ග සහ උද්‍යාන එකිනෙකට සම්බන්ධ වන මංමාවත් සම්බන්ධයෙන් සැලැස්මක්ද මෙහි අන්තර්ගතව පවතී.

මෙම කොළඹ වරාය නගරයට ගොඩනැගිලි පමණක් නොව, නිවාස, කාර්යාල, ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක් ඇතුළු නගරයක පැවතෙන සියලු පහසුකම්වලින් සමන්විත නගරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. මේ වනවිටත් සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස මංතීරුවේ ගමන් කරන ජනතාවට අවට ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටින ඉංජිනේරුවන් ඇතුළු කම්කරු සේවකයන් දැකබලා ගත හැකිය. එවැනි අවදානම් ප්‍රදේශයකට යාමට නොහැකි වන ලෙස ආරක්ෂාකාරී ඉදිකිරීමක් සිදුකොට ඇත.

පසුගියදා විවෘත වුණ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස මංතීරුව දැකබලා ගැනීමට එන බොහෝ ජනතාව තම ජංගම දුරකථන සහ කැමරා මඟින් තම ඡායාරෑප ගැනිමේ දර්ශනය සුලභ දසුනකි. මංතීරුවේ ඇතැම් කොටස්වලට හානි සිදුවුණ අවස්ථා කිහිපයක්ද දැකබලා ගැනීමට ලැබුණි. ඇතැමුන් ඉදිකර ඇති ආරුක්කුව හැඩැති ලෝහමය පාලම ආරම්භ වන කොටසේ මඳක් ඉහළට නැග පහළට ලිස්සා යන ලෙස අනාරක්ෂිත ලෙස හැසිරීම මහත් අවදානමකි. ඒ සියල්ල සිදුකරනු ලබන්නේ ඡායාරෑයක් ගැනීමට තිබෙන කැමැත්ත හේතුවෙනි. නමුත් එයින් සිදුවන්නේ මෙතෙක් ඉතා පිළිවෙළට ඉදිකර තිබෙන කොටස් අපවිත්‍ර වීමකි. මංතීරුවේ ඇති ඇතැම් කොටස් කැඩී යාමට ප්‍රධාන හේතුව වන්නේ ජනතාව විසින් ඒවා කඩා බිඳ දමා තිබීමය. ඇතැමුන් ගෙනා කඩදාසි කොළ කැබැල්ල, හිස් වතුර බෝතලය හිතූ හිතූ තැන්වල දමා යන බවද දැකගත හැක. ඇතැමුන්ගේ මුව ආවරණ පවා මංතීරුවේ වැටී තිබේ. නව පදික මංතීරුව භාවිත කිරීමේදී කොවිඩ් - 19 සම්බන්ධ මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියද ඇතැමුන් හැසිරෙන්නේ කොවිඩ් - 19 අවදානමක් නැති ගාණටය.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතියට සම්බන්ධ සාගරය ගොඩ කිරීම් සහ අනෙකුත් මූලික කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබීය. මෙය සේවා හා මූල්‍ය ක්ෂේත්‍රය ඉලක්ක කොටගත් නව නගරයකි. මෙහි ප්‍රධාන සැලැස්ම ස්විඩනය පදනම් කොටගත් ස්වෙකෝ (Sweco) නම් ජාත්‍යන්තර නගර නිර්මාණ ශිල්පි සමාගම විසින් නිර්මාණය කර ඇති අතර එයට සිංගප්පූරු, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල්වල ඉංජිනේරුවන් සහ නගර ශිල්පීය පිළිබඳ තාක්ෂණික ආයතනවල උපදෙස් පරිදි එම සැලැස්ම තවදුරටත් වැඩිදියුණු කොට ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා හරිත සෙවණ සහිත මාවත් ඇතුළු පොදු පහසුකම් සඳහා හෙක්ටයාර් 91ක් වෙන්කර ඇති අතර හෙක්ටයාර 178 ක් ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්ය සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම ආදිය සඳහා වෙන්කර ඇත. මේ අනුව මූලික සැලැස්මට අනුව මෙය කලාප පහකට වෙන්කර තිබේ.

මේ නගරය හදන්න කාලයක් ගතවෙනවා. මෙය දීර්ඝකාලීනව ගතවන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියේ ගොඩනැගිලි සෑදී එය ක්‍රියාත්මක වෙද්දී තමයි ජනතාවට ඒ සම්බන්ධව කැමැත්තක් ඇතිවෙන්නේ. මෙම ව්‍යාපෘතිය තරම් ලංකා ඉතිහාසයේ විවාදයකට ලක්වුණ ව්‍යාපෘතියක් නැති තරම්. මේක වැඩබිමක්. අවදානම් කලාපයක්. ඒ නිසයි මෙයට ජනතාවට ඇතුළු නොවන්නට වගබලා ගත්තේ. නමුත් මෙහි සිදුවන්නේ කුමක්දැයි ජනතාව තුළ ඇත්තේ කුතුහලයක්. ඒ නිසා ජනතාවට මෙහි දැකබලාගන්නට පුළුවන් මොහොතේ මෙය දැකබලා ගන්නට විවෘත කළා. මේ අනුව පෞද්ගලික ආයතන කිහිපයක් මෙහි වැඩ පටන් ගත්තා. ගොල්ෆ් ක්‍රීඩාංගණය, සැහැල්ලු යාත්‍රා පැදීම, රෙස්ටුරන්ට් එකක් ආරම්භ කළා. ඒ අනුව සීමිත පිරිසකට මෙය මීට පෙර සිටම දැකබලා ගන්නට අවස්ථාව ලැබුණා. ඒ නිසා ගාලු මුවදොර සිට පහසුවෙන් ළඟා විය හැකි කොටසේ පදික මංතීරුව කඩිනමින් ඉදිකර එය ජනතාවට පා ගමනින් පැමිණ යන්නට විවෘත කළා. මෙම හෙක්ටයාර 292න් හෙක්ටයාර් 91ක්ම වෙන්වන්නේ මෙවැනි පොදු තැන්වලටයි. මේ නිසාම හරිම උනන්දුවෙන්, ආසාවෙන්, ජනතාව මේ අත්දැකීම ලබාගන්නට කොළඹ වරාය නගරයට පැමිණෙනවා...

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා ප්‍රධානී සෙනරත් මහතා දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05