2022 ජනවාරි 22 වන සෙනසුරාදා

පුංචි මල් කැකුළක් හපකර දැමූ පාපතර ටික්ටොක්කාරයා

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 395

මුවහත් පිහියක් ඔබේ අතට දුන්නහොත් එයින් ඔබ බෙල්ල කපාගෙන නැසෙනවද, නැත්නම් එය තමන්ගේ එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා යොදාගෙන ජීවත්වෙනවාද යන්න ඔබ තීරණය කළ යුතුය. ඔබට එසේ සිතීමට මහා දැනුමක් බුද්ධියක් අවශ්‍ය නැත. පිහියක් නොව ඕනෑම දෙයක් ඔබට හොඳට නරකට දෙකටම භාවිත කළ හැක. හොඳට නරකට දෙකට කටමය යැයි එදා කීවේද මේ නිසාය.

කෙසේ වෙතත් මෙලෙස කීවේ අද සමාජයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති ලොකුම දෙයක් වන්නේ මේ සමාජ මාධ්‍ය වීම නිසාය. ඇතැමුන්ට සමාජ මාධ්‍ය යනු සමාජ විනාශයකි. තවත් සමහරුන්ට සමාජ මාධ්‍ය යනු සමාජ විකෘත්තියකි. සමාජ ජාලා තුළ හැසිරෙන්නන්ද ඒ සමාජ විකෘතිකරුවන් ලෙස සලකති. එහෙත් සමාජ මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක් විකෘති හෝ විනාසයක් වන්නේ නැත. සියල්ල විනාශ හෝ විකෘති වන්නේ එහි ගැවසෙන, යන එන විවිධ පුද්ගලයන් නිසාය. ඔවුන්ගේ චර්යාවන් නිසාය. ලෝකයේ බොහෝ දරුවන් මිනිසුන් ගූගල් හරහා තොරතුරු හොයන විට ලංකාවේ මිනිසුන් ගූගල් හරහා සෙක්ස් යන වචනය නිතර සෙවීම නිසා කප් ගසන්නේ ඒ නිසාය. ඒ නිසා මිනිස්සු විසින් තාක්ෂණය විනාශයක් කරගත්තා මිස තාක්ෂණය කිසිදු දිනක මිනිසුන් විනාශ කළේ නැත.

ලෝකයේ ජනප්‍රියම ඇප් එකක් වන ටික්ටොක් අපේ රටේ තරුණ තරුණියන් පමණක් නොව වෘත්තීයවේදීන්, නළු නිළියන්, දේශපාලනඥයන් පවා භාවිත කරති. බොහෝ අය ටික්ටොක් හරහා තම නිර්මාණ, අදහස්, ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන අතර ඒ නිසාම ඇතැම් අය ටික්ටොක් තුළ කතාබහට ලක්වෙන්නන් බවට පත්ව ඇත. විශේෂයෙන් තරුණ පරපුරේ ඇතැම් තරුණ තරුණියන්ගේ එකම ලෝකය වී ඇත්තේ ටික්ටොක්ය. මේ නිසා ටික්ටොක් තුළ රජ කරන්නන් වැනි පිරිසක්ද ඉබේ ඇතිව ඇත. 

ඔවුන් ටික්ටොක් එකට අරක්ගත් දෙවිවරුන් හා සමානය. ඔවුන් ඔවුන් විසින්ම තරු හැටියට සලකන අතර ඔවුන්ගේ ජීවිතේ මෙතරම් දුරක් ඉහළට ආවේ ටික්ටොක් ඇප් නිසා බව ඔවුහු ප්‍රසිද්ධියේ පවසති. එහෙත් ඔවුන්ගේ වයස අවුරුදු 18,19,20 හා සමානය. ඔවුන්ගේ ජීවිතය එතරම් දුරක් යැයි සිතන්නේ මහා දුරක් සේය. ඒ නිසා ඔවුන් හිතන මතයත් ඔවුන් දරණ අදහස් හා සමානව ඔවුන් නිර්මාණය කරන ටික්ටොක් වීඩියෝද එක හා සමාන වෙයි.

කෙසේ වෙතත් මේ දවස්වල කතාවෙන්නේ එවැනි ටිකොටොක් තරුවක් විසින් කළා යැයි පවසන ඉතාම නින්දිත ක්‍රියාවක් ගැනය. මේ නිසා හැමෝම දැන් දෙස් දෙවොල් තියන්නේ ටික්ටොක් ඇප් එකටය. ඒ මුවහමට තඩිබාන්නා සේය. ඒත් කතාව ඒක නොවේ. ඕෂක හෙවත් ටික්ටොක් කිරිසමන් නැමති මෙම තරුණයාද ඉහත කී ආකාරයේ ටික්ටොක් නළුවෙකි. ඔහුද පවසන්නේ ඔහුගේ ජීවිතේ වෙනස් වුණේ මේ ටික්ටොක් නිසා බවය. කෙසේ වෙතත් මේ කිරිසමන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ තලංගම ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් රුගෙන ගොස් ලිංගික අපයෝජනය කිරීම ගැනය.

ඕෂක හෙවත් මෙම කිරිසමන් සමඟ අවුරුදු 11ක දැරිය යාළුවන්නේ 2021 වසරේදීය. ඒ වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනාගත් තරුණියක් හරහා කිරිසමන් මෙම දැරිය හඳුනාගෙන ඇත. ඒ කිරිසමන් ජනප්‍රිය ටික්ටොක් නළුවකු වීම නිසාය. 
මෙම ටික්ටොක් පිරිස එක්වී විවිධ ස්ථානවල පවත්වන සාද අරුමයක් නැත. විවිධ මත්ද්‍රව්‍ය භාවිත කරමින් විවිධ ක්‍රියාවල යෙදෙන මෙම සුළුතරයක් වූ ටික්ටොක් තරුණ තරුණියන් අතර කිරිසමන්ද උඩින් සිටින්නෙකි. ඒ අනුව කිරි සමන් මෙම දැරියගේ වයසවත් ගැන නොසිතා ඇයව පළමුවරට දෙසැම්බර් මාසයේ දිනෙක රාත්‍රී 12ට පමණ නිවසෙන් පන්නාගෙන ගොස් ඇත. මෙම දැරියගේ මවත් පියත් කථනාබාධ අය වන අතර තවත් සහෝදරයෙක්ද සිටියි. ඔවුන්ට හොරෙන් එම දැරියව රුගෙන යන කිරි සමන් ඇයට මත්ද්‍රව්‍ය ලබාදී ඇයව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී තිබේ. එම අවස්ථාවේ කිරිසමන් සමඟ සිටි අයකුද එම දැරියව අපයෝජන කළ බවද ප්‍රකාශ වලදී හෙළිවී ඇත. පසුව අලුයම ඇයව නිවසට ඇරලවා ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් කිසිවක් දෙමාපියන් දැන සිට නැත.

ඊට පසුව දෙසැම්බර් මාසයේ තවත් දිනෙක පෑලියගොඩ ප්‍රදේශයේ සාදයක් ඇති බව පවසා දැරිය නිවසෙන් පිටව ගොස් තිබේ. එසේ ගිය දැරිය නැවත පැමිණ ඇත්තේ එදින සවසය. එදිනද කිරිසමන් නැමති පුද්ගලයාත් තවත් අයකුත් එක්ව දැරිය අපයෝජනය කර ඇති බව ප්‍රකාශ වලදී තහවුරු වී ඇත. දැරියට එම ස්ථානයේදී කැලණිය ප්‍රදේශයේ තරුණයකු මුණගැසී ඇති අතර ඔහු සමඟ ඇතිකරගත් මිත්‍රත්වයක් හේතුවෙන් මෙම දැරියට ජනවාරි 1 දා දෙහිවල ප්‍රදේශයේ පැවැත්වෙන සාදයක් සඳහා එන්නට ආරාධනා කර ඇත. දැරිය පසුව එම සාදයටද සහභාගී වී රාත්‍රී වීම නිසා එම තරුණයා සමඟ කැලණිය ප්‍රදේශයේ නිවෙසකට ගොස් ඇත. එහිදී එම තරුණයාද එම දැරිය ලිංගිකව අපයෝජනය කර ඇත. කෙසේ වෙතත් ඊට පසු දින දහවල් කාලය වනවිටත් තරුණිය ප්‍රමාද නිසා එම තරුණියගේ දෙමාපියන් විසින් තලංගම පොලීසිය වෙත පැමිණිලි කර ඇත. එසේ පැමිණිලි කර පැමිණෙන විට එම දැරිය නිවසට පැමිණ සිට ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැකකළ පොලීසිය දැරිය පොලීසියට කැඳවා මුල්ලේරියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර ඇත. එහිදී දැරිය තමන්ට සිදුවූ අපයෝජන සම්බන්ධයෙන් සියල්ල හෙළිකර ඇත. ඒ අනුව මෙම සිදුවීමට කිරිසමන් ඇතුළු තරුණයන් දෙදෙනකුත් තවත් තරුණියන් දෙදෙනකුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිදුවීම තුළින් බොහෝ සිදුවීම් රාශියක් සමාජයට ගෙන හැරපායි. එනම් වර්තමානයේ මාර්ග ගත තාක්ෂණය නිසා දරුවන් අතට දුරකථනය අතට යාමත් ඒ සම්බන්ධයෙන් දෙමාපියන් අවධානය නොකිරීමත් නිසා ඇතිවන අවදානම මනාව පෙන්නුම් කරන අවස්ථාවකි. විශේෂයෙන් කුඩා දැරියක නිවසෙන් මෙලෙස යාම් ඒම් ගැන දෙමාපියන් මීට වඩා අවධානය යොමු කළයුතු නොවේද? දෙමාපියන් මීට පෙර සිටම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළා නම් ඔවුන්ගේ දියණියට මෙවැනි අනතුරක් සිදුවන්නේ නැත. විශේෂයෙන් මෙවැනි අපරාධකරුවන් හැමවිටම අනාරක්ෂිත දරුවන් ගොදුරු කරගැනීමට මාන බලමින් සිටිති. ඒ නිසා නිසි ආරක්ෂාව නැති බොහෝ දරුවන්ගේ අනාගතය විනාශ වන්නේ ඇප් නිසාවත් තාක්ෂණය නිසාවත් නොව තමන් විසින් ඇති කරගන්නා අනාරක්ෂිත බව නිසාය.

 ගයාන් ගාල්ලගේ

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05