2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ඔමික්‍රෝන් සෙල්ලමක් නොවේ වහාම තුන්වැනි බූස්ටරය ගන්න

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 110

ලෝකය පුරා ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයයි. මේ වනවිට දෛනික අසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවා ගිය බටහිර රටවල් දක්නට හැකිය. නමුත් ආසාදිතයන් වැඩි වුවත් තුන්වැනි බූස්ටර මාත්‍රාව ලබාගැනීම සඳහා ජනතාව අතර උනන්දුවක් කලින් මාත්‍රා2 ලබාගැනීමට මෙන් දක්නට ලැබෙන්නේ නැත. මරණය සිදුනොවේ යැයි සාමාන්‍ය ජනයා අතර පැතිර යන මතයක් නිසා ඔමික්‍රෝන් ගැන සැහැල්ලු ආකල්පයක් ජනතාව තුළ මුල්බැස ඇති බැවිනි.

ඔමික්‍රෝන් ඉදිරියේදී බරපතළ ගැටලුවක් නිර්මාණය කරනු ඇති බවට විවිධ මත පසුගිය සතියේ රට තුළ පැතිර ගියේය.

කොවිඩ් විකෘති ප‍්‍රභේදයක් වන ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වන ප‍්‍රමාණයට වඩා විශාල පිරිසක් සමාජයේ පැතිර ඇති නිසා ‘බූස්ටර්’ එන්නත් මාත‍්‍රාව ලබාදීම කඩිනම් කළ යුතු අතර එසේ නොවන්නේ නම් ජනවාරි මස අවසානයේදී රට විශාල ව්‍යවසනයකට මුහුණ දෙනු ඇති බවද ඉදිරියේදී කොවිඩ් සුනාමියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීහු පසුගියදා ආන්දෝලාත්මක හඬක් ද නැගූහ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගිය සතියේ ලෝකයටම කීවේ ඔමික්‍රොන් ගැන සැහැල්ලුවෙන් නොසිතන ලෙසයි. අප හා මේ ගැන කතාබහට එක්වූ ශ්‍රී ලංකාවේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේද ඒ හා සමාන බරපතළ අදහසකි.

නව වෛරසය වැඩියෙන් පැතිරුණද තදින් අසනීප නොවන බවත්, එමෙන්ම මරණ සිදුනොවන බවටත් පැතිර ඇති මිථ්‍යාව මගින් රට තුළ ඔමික්‍රෝන සම්බන්ධව මතුව ඇති සැහැල්ලු මානසිකත්වය ඉතා භයානක අඩියකට රට ඇද දැමීමට සමත් විය හැකි යැයි ඔහු පෙන්වා දෙයි. මේ සැහැල්ලුව සහ නොසැලකිල්ල නිසා තුන්වැනි එන්නත් මාත්‍රාව මඟහැරීමට නොයෙක් හේතු ඉදිරිපත් කරමින් ජනතාව එන්නත ලබාගැනීමට පැකිලෙන බවක් සමාජය තුළ දක්නට ලැබේ. මේ නිසා වඩාත් අනතුරට පත්ව ඇත්තේ වයස 60ට වැඩි උදවිය සහ නිදන්ගත රෝගී තත්ත්වවලින් පෙළෙන්නන් බව ඔහු කියයි. 60 පැන්න පිරිසගෙන් දැනටමත් එන්නත් නොගෙන ඇති මිලියනයකට වැඩි කණ්ඩායමකගේ ජීවිත ඉතා අවදානම් මට්ටමකට පැමිණ ඇති බවත් මේ කාලයේ දක්වන නොසැලකිල්ලේ ප්‍රතිවිපාක තව සති දෙකකින් පමණ දැකගන්නට හැකිවනු ඇති බවත් කියන ඔහු මේ සති දෙකක කාලය ඔමික්‍රෝන් සහ බූස්ටරය ගැනීම සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සමයක් බව කියයි.

මෙරට තුළ මේ වනවිට එන්නත් ඕනෑ තරම් පවතින බවද ඒ නිසා 3 වැනි මාත්‍රාව ලබාගැනීම මගින් ඔමික්‍රෝන්වලට ගොදුරු වීම සහ එමගින් එය පැතිරවීමට දායක වීම වළක්වා ගත යුතු බවද ඔහුගේ අදහසයි.

“වැඩිය අමාරු වෙන්නේ නෑ, මැරෙන්නේ නෑ, ඒ නිසා 3 වැනි මාත්‍රාව ඕනෙත් නෑ”, යනුවෙන් සිතීම නිසා රෝගය හිතනවාටත් වඩා කෙටි කලකින් වැඩි පිරිසකට ආසාදනය විය හැකි බව ඔහු කියයි. එය සෞඛ්‍ය සේවා පද්ධතිය නැවත බිඳවැටීමට ද හේතූ විය හැකි බව ඔහු කියයි.

“ඔමික්‍රෝන් ගැන ප්‍රාථමික දත්ත අනුව ඇත්ත තත්ත්වය තමා එය ඉතා වේගයෙන් පැතිරෙන බව, රෝගී සංකූලතා අවම බව. නමුත් ඒ නිසාම එයින් මරණ සිදුනොවේ යැයි සිතීම මුලාවක් - මිථ්‍යාවක්. මේ නිසා සාපේක්ෂව මරණ අඩුවීමක් පමණයි සිදුව ඇත්තේ. සාපේක්ෂව අඩුවුණා කියන්නේ මරණ නෑ කියන එක නෙමෙයිනේ. මේ නිසා ඔමික්‍රොන් සුළුකොට තැකිය යුතු නෑ.” වෛද්‍ය ගිනිගේ කියයි.

“මෙය පැතිරීම, බෝවීම වළක්වා ගැනීමට දැනට ඇත්තේ ප්‍රධාන උපක්‍රම 2යි. අංක 01 තමා සෞඛ්‍ය නීතී වෙනදාටත් වඩා තදින් බලවත් අවධානයකින් යුතුව පිළිපැදීම. අනෙක තමා බූස්ටර් මාත්‍රාව නොපමාවම ලබාගැනීම.

නියමිත ප්‍රමිතියකින් යුතු මුව ආවරණ භාවිතය වැදගත් සේම අත්‍යවශ්‍යම කාරණයකට හැර ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන කරා යාමෙන් වැළකීම ඉතා වැදගත් බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ අවවාදාත්මකව පවසයි.

විශේෂයෙන්ම වයස 60ට වැඩි උදවිය සහ නිදන්ගත ආබාධවලින් පෙළෙන පිරිස මේ අන්දමේ රෝග කාරකයට නිරාවරණය විය හැකි සැක සහිත අවස්ථා මඟහැරීම අතිශය වැදගත් බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතාමත් වැදගත් අතර යම් කිසි සුළු රෝග ලක්ෂණයක් පවා ඇතිවිට වෛද්‍ය උපදෙස් සඳහා යොමුවිය යුතු බවටත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ උපදෙස් දෙයි.

එන්නත්කරණය මේ රෝගය වැළැක්වීමට සහ මරණ අඩුකර ගැනීමට අවශ්‍ය නිශ්චිත වටපිටාව සකසා දෙන බවට පැහැදිලි දත්ත ලැබී ඇති බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දෙයි. රෝගයේ සංකූලතා ලක්ෂණ අවම වීමටත් මරණ අඩු වීමටත් එන්නත්කරණය සුබවාදීව බලපාන බව ලෝකය පුරාම කළ අධ්‍යයන තහවුරු කර ඇති හෙයින් බූස්ටර් එන්නත ගැන පැතිර පවතින විවිධ මිථ්‍යා මත කණකට නොගෙන නොපමාවම එය ලබාගන්නට යැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සමිත ගිනිගේ උපදෙස් දෙයි. රෝගය සරලද නැද්ද, එන්නත අසාත්මිකද, මරණ අඩුද වැනි තර්ක කිරීම් නවතා වහාම එන්නත ලබාගැනීම තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ගත යුතු හොඳම තීන්දුව බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ජනතාවට අවවාද කරමින් පවසයි.

වෙනත් බොහෝ රටවල ජනතාවට අවශ්‍ය තරම් එන්නත් නොමැති නිසා අපහසුවට පත්ව සිටිය ද අපේ රටේ සෑම සෞඛ්‍ය නිලධාරී කලාපයකටම අවශ්‍ය එන්නත් ලබා දී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. නමුත් මේ වන විටත් අවදානම් කණ්ඩායම්වලින් තුනෙන් දෙකක්ම පාහේ බූස්ටර් එන්නත ලබාගැනීමෙන් වැළකී සිටින බවත් ඒ මිලියන 4.8 හේතුවෙන් ඉතා කෙටි කලකින් රෝගය ශීඝ්‍රව පැතිර ගොස් රෝහල් පද්ධතියට දැරිය නොහැකි මට්ටමේ හානිදායක උතුරා යාමක් සිදුවිය හැකි අතර එවන් පාලනය කරගත නොහැකි තත්ත්වයකදී මූලික සෞඛ්‍ය පහසුකම් හිඟවීමෙන් පවා මරණ මට්ටමද නොසිතූ ලෙස ඉහළ යාමේ අවදාවමක් පවතින බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පෙන්වා දෙයි.

මේ නිසාම පසුතැවිලි වීමට ඉඩක් නොතබා එන්නත්කරණය සහ සෞඛ්‍ය නීති රීති අනුව කටයුතු කරමින් ඉදිරියේදී ඔමික්‍රෝන් සුනාමියක් ඇතිවීම වළක්වා ගත හැක්කේ ඔබටම බව මේ උපදේශන නැවතත් තහවුරු කරයි.

 සුගත් පී. කුලතුංගආරච්චි