2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ඔබ කවුදැයි ඔබ දුටු විට දිනුම් මිස පැරදුම් නැත

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 605

බෞද්ධ දර්ශනය අනුව ස්ව සංකල්පය යන්නෙන් අදහස් කෙරෙන්නේ ආත්මීය හැඟීමක්. ආත්මීය හැඟීමට මූලික හේතුව වශයෙන් දක්වන්නට පුළුවන් වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාධානස්කන්ධය පිළිබඳ වූ ස්වාමීත්වය පිළිබඳ හැඟීමක්. මෙම හැඟීම නිත්‍ය වේ යන අදහස ඉස්මතු වුණාම එය පුද්ගලයෙකුගේ සතුටට හේතු වෙනවා. තෘෂ්ණාව ඉස්මතු වුණාම පංචස්කන්ධයෙහි අධිපතිත්වය තමා සතුකොට තබාගන්නට උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ආත්ම යන සංකල්පය සමඟ නිත්‍ය බව සහ සැපය පිළිබඳ හැඟීමද ඇති වෙනවා. මේ තුළ ඡන්දය හෙවත් ආශාවද පවතිනවා.

බුදු දහමට අනුව බුදුන් සහ රහතන් වහන්සේලා හැර සියලු ජීවීන්ට ආත්ම හැඟීමක් තියෙනවා. එනම් මමය මාගේය යන හැඟීමක්. පෘථජ්ජන පුද්ගලයාට ඔහුගේ පැවැත්ම ආත්ම පැවැත්මක්. ඒ කියන්නෙ මම යන්නෙහි හෙවත් මාගේ පැවැත්මක්. එය භවයෙහි පැවැත්ම පිළිබඳ අදහසක්. ඉපදුනා කියන්නෙ මම කියලා පුද්ගලයෙක් ඇතිවීමක්. බුදු දහමෙහි නිෂ්ටාව තමා මේ මමය මාගේය යන හැඟීම නැති කිරීමට මඟ පෙන්වීමක්. ඒක බොහොම සංකීර්ණ ඉගැන්වීමක්. මෙවන් තීරු ලිපියකින් සාකච්ඡා කළ නොහැකි ගැඹුරු ඉගැන්වීමක්. 

පෘථජ්ජන පුද්ගලයා සිය ජීවිත පැවැත්ම කෙරෙහි කැමතියි. මාගේ ජීවිතය, මාගේ ආත්මය යැයි කියාගන්නට කැමතියි. බටහිර මනෝවිද්‍යාව මගින් ස්ව සංකල්පය පිළිබඳව කෙරෙන ඉගැන්වීම් මගින් කෙරෙන්නෙ මෙම ස්ව සංකල්පය පිළිබඳ හැඟීම වර්ධනය කිරීමක්. බටහිර මනෝවිද්‍යාවෙහි ස්ව සංකල්පය පිළිබඳ දක්වා ඇති ඉගැන්වීම්වල නිෂ්ටාව ලෝකෝත්තර නොවූවක්. එමගින් කරන්නෙ ස්ව සංකල්පය තුළින් ලෞකික වශයෙන් කායික මානසික යහපැහැත්ම වර්ධනය කර ගැනීමට, පුද්ගල සංවර්ධනයට, පෞරුෂ සංවර්ධනයට මඟ පෙන්වීමක්. 

ස්ව සංකල්පය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් විමසා බලනවිට ලෞකික ලෝකෝත්තර යන අංශ දෙකේම සාර්ථකත්වයට මග පෙන්වීමක් කරන බව පැහැදිලි කරුණක්. සමස්ත බෞද්ධ මතවාද විමසනවිට අපට පෙනීයන කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ ලෞකික සාර්ථකත්වය ප්‍රතික්ෂේප නොකිරීම. ලෞකික වශයෙන් සාර්ථක පුද්ගලයෙක් වන අතර ජීවිතයක අවසානයේ ලෝකෝත්තර සුවයක් ලබන්නට මමය මාගේය යන හැඟීම නැති කරන්නෙ කොහොමද කියන කරුණ පිළිබඳව මඟ පෙන්වීමකුත් බුදු දහම තුළින් සිදුකරලා තියෙනවා. 

බටහිර මනෝවිද්‍යාවට අනුව ස්ව සංකල්පය (Self Concept)  යන අදහසින් ඉස්මතු වන්නෙ මා, තමා, මාගේ යන හැඟීම. බටහිර මනෝවිද්‍යාවට අනුව ස්ව සංකල්පය යමෙකු තමන් ගැන සිතන, තක්සේරු කරන හෝ තමන්ව වටහා ගන්නා ආකාරය හැඳින්වීමට භාවිත කරන සාමාන්‍ය යෙදුමක්. ස්ව සංකල්පය මගින් එක් එක් පුද්ගලයා අනන්‍ය ලෙස පෙන්වනවා. ස්ව සංකල්පය ඉතා ධනාත්මක මට්ටමක සිට ඉතා සෘණාත්මක මට්ටමක්  දක්වා වෙනස් වෙන්න පුළුවන්. ස්ව සංකල්පය චිත්තවේගීය, බුද්ධිමය සහ ක්‍රියාකාරී මානයන් දරනවා. ස්ව සංකල්පය සන්දර්භය සමඟ වෙනස් වෙන්න පුළුවන්. ස්ව සංකල්පය කාලයත් සමඟ වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයාගේ ජීවිතයට බලපෑම් කරන්න ස්ව සංකල්පයට හැකියාව තියෙනවා.

මනෝවිද්‍යාව සහ සමාජ විද්‍යාව යන දෙකම ස්ව සංකල්පය කෙරෙහි උනන්දුවක් දක්වන නමුත් ඔවුන් එය ගවේෂණය කිරීමට තරමක් වෙනස් ක්‍රම භාවිත කරනවා. සමාජ විද්‍යාව සහ සමාජ මනෝවිද්‍යාව විශේෂයෙන් පුද්ගලයාගේ සමාජ පරිසරයේ සන්දර්භය තුළ ස්ව සංකල්පය වර්ධනය වන ආකාරය කෙරෙහි අවධානය යොමු කරනවා. මනෝවිද්‍යාව අවධානය යොමුකරන්නේ ස්ව සංකල්පය මිනිසුන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව. 

බටහිර මනෝවිද්‍යාවට අනුව ස්ව සංකල්පය කියන්නෙ තමා පිළිබඳව ළමයා සිතන ආකාරය. මෙය කුඩා කල සිට ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. මුල් ළමාවිය තුළ ස්ව සංකල්පය ගොඩනැගීම සම්බන්ධයෙන් විමසා බලනවිට, පොදු අවධීන් තුනක් දකින්නට පුළුවන්. එනම්, 

පළමු අදියර: අවුරුදු 0 සිට 2 දක්වා - තමන් ගැන ධනාත්මක හැඟීමක් වර්ධනය කර ගැනීම සඳහා ළදරුවන්ට ස්ථාවර, ආදරණීය සබඳතා අවශ්‍ය වෙනවා. වයස අවුරුදු දෙකේදී, භාෂා කුසලතා වර්ධනය වන අතර කුඩා දරුවන්ට ''මම'' යන හැඟීම ඇති වෙනවා. 

දෙවන අදියර: අවුරුදු 3 සිට 4 දක්වා - අවුරුදු තුනේ සහ හතරේ ළමයින් තමන් වෙනම හා අද්විතීය පුද්ගලයන් ලෙස දැකීමට පටන් ගන්නවා. පෙර පාසල් දරුවන් වැඩි වැඩියෙන් ස්වාධීන වන අතර ඔවුන්ට කළ හැකි දේ ගැන කුතුහලයෙන් සිටිනවා. 
තෙවන අදියර: අවුරුදු 5 සිට 6 දක්වා -  අවශ්‍යතා පිළිබඳව වඩාත් දැනුවත්. ළදරු පාසල් සිසුන් ඔවුන්ගේ අවශ්‍යතා සහ හැඟීම් සන්නිවේදනය කිරීමට ඔවුන්ගේ වචන භාවිත කරනවා. 

මැද ළමාවියේ ස්ව සංකල්පය - මධ්‍යම ළමා වියේදී එනම් අවුරුදු 7 සිට 11 දක්වා දරුවන් තම සමාජීය ආත්මභාවය පිළිබඳ හැඟීමක් වර්ධනය කරගැනීමට පටන් ගන්නා අතර ඔවුන් අනෙක් අය සමඟ ගැලපෙන්නේ කෙසේදැයි සොයා බලනවා. ඔවුන් සමාජ කණ්ඩායම් වෙත යොමුවන අතර සමාජ සංසන්දනය නිතර සිදු කරනවා. අන් අය ඔවුන්ව දකින ආකාරය ගැන සිතන්නට පටන් ගන්නවා. 

නව යොවුන් වියේ ස්ව සංකල්පයේ වර්ධනය - පුද්ගලයන් වයස අවුරුදු 12-18 පමණ වනවිට ඔවුන්ගේ අනන්‍යතාවය අත්හදා බලන්නට,  අන් අය සමඟ තමන්ව සංසන්දනය කරන්නට පටන් ගන්නවා. ඔවුන් වැඩි නිදහසක් සහ ස්වාධීනත්වයක් භුක්ති විඳින්නට කැමතියි. වැඩි වැඩියෙන් තරගකාරී ක්‍රියාකාරකම්වල යෙදෙන්නට කැමතියි. 

ළමයෙකුගේ පෞරුෂය දියුණු කරන්න අවශ්‍ය නම් කුඩා කල සිටම ස්ව සංකල්පය (Self Concept), වර්ධනය කළ යුතු බව බටහිර මනෝවිද්‍යාව මගින් උගන්වනවා. ස්වයං ප්‍රතිරෑපය (Self Image), ස්වයං වටිනාකම (Self Worth) සහ පරමාදර්ශී ස්ව සංකල්පය (Ideal Self) ස්ව සංකල්පයට  ඇතුළත් වෙනවා.

ස්වයං ප්‍රතිරෑපය (Self Image) කියන්නෙ ළමයා තමා පිළිබඳ ගොඩනගාගෙන ඇති ප්‍රතිරෑපය. මම දක්ෂයි. මම ලස්සනයි. මට සින්දු කියන්න පුළුවන්. මට නටන්න, ගයන්න, වයන්න පුළුවන්. මට විභාග සමත් වෙන්න පුළුවන්. ආදී වශයෙන් ස්වයං ප්‍රතිරෑපයක් ළමයෙක් ගොඩනගාගෙන සිටිනවා. ස්වයං ප්‍රතිරෑපය ධනාත්මක වූ විට පුද්ගල සංවර්ධනයක්, පෞරුෂ සංවර්ධනයක් සිදුවෙනවා. ස්වයං සංකල්පය දුරුවල වූ විට පුද්ගල සංවර්ධනයෙහි, පෞරුෂ සංවර්ධනයෙහි අඩාල වීමක් සිදුවෙනවා. 
ස්වයං වටිනාකම (Self Worth) කියන්නෙ ළමයෙක් කුඩාකල සිට ගොඩනගාගෙන ඇති තමා පිළිබඳ වටිනාකම මුසු හැඟීම. මේකට කියනවා ආත්ම අභිමානය කියලා. ළමයෙක් විභාගයක් අසමත් වුණාම මේ ළමයා මෝඩයෙක් විභාගය අසමත් කියලා දෙමාපියන් සිය ඥාතීන්, අසල්වැසියන්, හිතමිතුරන් සමඟ පවසනවිට ළමයාගේ ආත්ම අභිමානය බිංදුවටම වැටෙනවා. ඒක නැවත ගොඩගන්න එක ඉතා අසීරු කාර්යයක්.

ආත්ම අභිමානය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එනම්, 
1. ඉතා ඉහළ ආත්ම අභිමානය (Self Esteem)
2. ඉතා පහළ ආත්ම අභිමානය (Very Low Self Esteem) වශයෙන්.

ඉතා ඉහළ ආත්ම අභිමානය (Very High Self Esteem) කියන්නෙ තමා පිළිබඳ ඉතා ඉහළ ආත්ම අභිමානය මුසු හැඟීමක්. මේක සර්ව සුභවාදී හැඟීමක්. ඉතා ඉහළ ආත්ම අභිමානයක් පවතිනවිට තම හැකියාවන් ගැන විශ්වාසයක් ඇති වෙනවා, ස්වයං පිළිගැනීමක් ඇති වෙනවා, ඒ කියන්නෙ තමා විසින් තමාව පිළිගැනීමක්. එසේම අන් අය තමා සම්බන්ධයෙන් සිතන දේ ගැන කරදර වෙන්නෙ නැහැ.

ඉතා පහළ ආත්ම අභිමානය කියන්නෙ සර්ව අසුභවාදී, සෘණාත්මක හැඟීමක්. ඉතා පහළ ආත්ම අභිමානයක් පවතිනවිට තමා පිළිබඳව තමාගේ හැකියාවන් පිළිබඳව විශ්වාසය මඳ කමක් දකින්නට පුළුවන්. තමා තමා නොවී වෙන කෙනෙක් වගේ වෙන්න වෙන කෙනෙක් වගේ පෙනෙන්න උත්සාහ කරනවා. එසේම අන් අය තමා පිළිබඳව සිතන්නේ කුමක්දැයි නිතරම කනස්සල්ලට පත්ව සිටිනවා. 

පරමාදර්ශී ස්ව සංකල්පය (Ideal Self) කියන්නෙ තමා අනාගතයේදී කිනම් පුද්ගලයෙක් වන්නේද යන බවට ළමයෙකු තුළ ඇති හැඟීම. කුඩාකල සිට පරමාදර්ශී ස්වයං සංකල්පය ගොඩ නැගෙන්නෙ ළමයා දකින දේ අනුවයි. ඒ නිසයි මම විදුහල්පතිවරයෙක් වෙනවා. මම ගුරුවරයෙක් වෙනවා. මම වෛද්‍යවරයෙක් වෙනවා. මම හමුදාවට යනවා ආදී වශයෙන් කියන්නෙ. ළමයෙකුට තේරෙන වයස වෙනකොට ඒ කියන්නේ අවුරුදු 15 - 20 වෙනකොට තමයි ළමයෙක් තමාගේ හැකියාවන් හඳුනාගෙන තමා අනාගතයේදී කවරෙකු වන්නේද යන්න තීරණය කරන්නෙ. කුඩා කල ළමයාගේ කුසලතා හඳුනාගෙන දෙමාපියන් විසින් ළමයින් මෙහෙයවිය යුතුයි. එවිට ළමයින් නිරායාසයෙන්ම සාර්ථකත්වය කෙරෙහි යොමුවෙනවා.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05