2022 ජනවාරි 22 වන සෙනසුරාදා

මෝදිගේ වේදිකාවටත් ගොඩවෙන යොහානිගේ මැණීකේ

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 67

යොහානි ද සිල්වාගේ (මැණිකේ මගේ හිතේ) ගීතය මේ වන විට 200,472,645ක යූ ටියුබ් නැරඹුම් වාර ගණන ඉක්මවා ගොස් ඇත. මෙම ගීතය කෙටි කලක් තුළ මුළු ඉන්දියාව පුරාම ප්‍රචලිත වූයේ එදා මෙදා තුර සිංහල ගීතයකට ජාත්‍යන්තරයේ හිමි වූ ඉහළ ප්‍රසිද්ධියක් ළඟා කර දෙමිනි. මැණිකේ මගේ හිතේ ගීතයට ආකර්ශනය වූ ඉන්දියානුවෝ එම ගීතය අනුකරණය කිරීමටත් ගී තනුව අනුව තමන්ගේ භාෂාවෙන්ගෙන් ගීත නිර්මාණය කිරීමටත් පෙළඹුණාහ. ඇතැම් මාධ්‍යයන් එය වාර්තා කර තිබුණේ ‘ඉන්දියානුවෝ මැණිකෙට පිස්සු වැටෙති’ යනුවෙනි. මෙම ගීතයට ඉන්දියාවේ තිබුණු ආකර්ශනය හා ප්‍රසිද්ධිය එරට ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ප්‍රධාන පක්ෂයක් භාවිතයට ගෙන ඇති බව වාර්තා වෙයි.

මැණිකේ මගේ හිතේ ගීතයේ අනුකාරක ගීතයක් ප්‍රචාරණ තේමා ගීතය ලෙස යොදාගෙන තිබෙන්නේ ඉන්දීය පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විසිනි. ඒ පෙබරවාරි 10 වැනි දින සිට උත්තර් ප්‍රදේශ් ප්‍රන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහාය. උත්තර් ප්‍රදේශ්, ඉන්දියාවේ වැඩිම ජනගහණයක් වෙසෙන ප්‍රාන්තයයි. එහි ජනගහණය මිලියන 240 ඉක්මවයි. එය ඉන්දීය සමස්ත ජනගහණයෙන් හයෙන් පංගුවකි. මෙම ප්‍රාන්තය වෙනම තනි රාජ්‍යයක් වූවා නම්, ලොව වැඩිම ජනගහණයක් සහිත පස්වැනි රට බවට ලැයිස්තුගත වනු ඇත. එසේ වුවහොත් එය දෙවැනි වන්නේ චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවට පමණි. 

ඉන්දීය දේශපාලනය තුළ මෙම ප්‍රාන්තය සෑම පක්ෂයකටම අතිශය වැදගත්ය. මන්ද යත් ඉන්දීය පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරීපත් වන්නේ මෙම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වීම හේතුවෙනි. එම මන්ත්‍රී සංඛ්‍යාව 80 කි. අගමැති නරේන්ද්‍ර මෝදි ද තරග වැදුණේ මෙම ප්‍රාන්තයෙනි. මෙම ප්‍රාන්ත මැතිවරණය ජයගන්නා පක්ෂය බොහෝ විට ඉන් වසර දෙකකින් පැවැත්වෙන මහ මැතිවරණය ජයගැනීමේ වැඩි සම්භාවිතාවක් පවතී. එනිසා භාරතීය ජනතා පක්ෂය මෙම ප්‍රාන්ත මැතිවරණයට වැඩි අවධානයක් යොමු කරමින් එහි ප්‍රචාරණ කටයුතු ශක්තිමත් කර තිබේ.

ඉකුත් වසර දෙකක කාලයක් තිස්සේ වසංගතයෙන් දරුණු ලෙස ඉන්දියාව බැටකෑව ද පළමු රැල්ලේ සැලකිය යුතු හානියක් සිදු නොවූ උත්තර් ප්‍රදේශයට දෙවැනි රුල්ල නිසා මාරාන්තික බලපෑමක් එල්ල විය. දෙවැනි රැල්ලත් සමඟ උත්තර් ප්‍රදේශයේ මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර ජනජීවිතය ද අඩාල විය. රෝගීන් විශාල පිරිසක් ඔක්සිජන් ලබාගත නොහැකිව වාහන තුළ මරණයට පත්වීම වාර්තා වූයේ ද උත්තර් ප්‍රදේශයෙනි. එනිසා ඇතැම් විටෙක උත්තර් ප්‍රදේශ් හි තම බලය බිඳවැටීමේ අභියෝගයක් ඇතැයි යන බියක් ද භාරතීය ජනතා පක්ෂයට තිබේ. ඊට අමතරව 2012 දී භාරතීය ජනතා පක්ෂය ආසන 47කට සීමා කරමින් ආසන 224ක් දිනා විශිෂ්ට ජයක් උත්තර් ප්‍රදේශ් හි වාර්තා කළ සමාජවාදී පක්ෂය නැවත ප්‍රාන්තය තුළ ශක්තිමත් වෙමින් සිටී. සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදෙව්ගේ ප්‍රචාරණ රැස්වීම්වලට දහස් ගණනක් ජනතාව රැස්වන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සමාජවාදී පක්ෂය සෞඛ්‍ය නීතිරීති නොතකා මැතිවරණ ප්‍රචාරණ කටයුතු තීව්‍ර කර ඇති බැවින් භාරතීය ජනතා පක්ෂය මෙම මැතිවරණයට වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹී සිටියි.

අවසන් වරට 2017 වසර පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී ආසන 403න් භාරතීය ජනතා පක්ෂය තරග කළ ආසන 381න් 312ක්ම දිනා ගැනීමට එම පක්ෂය සමත් විය. එම මැතිවරණයට භාරතීය ජනතා පක්ෂය හොඳ පෙර සූදානමක් ඇතිව මුහණ දුන්නේය. එම මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ එවක පක්ෂ සභාපති අමිත් ෂා විසිනි. ඔහුගේ සංවිධානාත්මක මැතිවරණ ව්‍යාපාරය කොංග්‍රස් පක්ෂය, සමාජවාදී පක්ෂය සහ 2007 වසර ආසන 206ක් දිනාගත් බහුජන සමාජ පක්ෂය ද පල්ලම් බැස්සවීමට සමත් විය. මෙවර ද උත්තර ප්‍රදේශ් පළමු අදියර මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුම සඳහා පක්ෂය නම්කොට තිබෙන 30 දෙනාගේ ලැයිස්තුවේ සිව්වනුවට නම් කොට ඇත්තේ ද අමිත් ෂා ය.

මැතිවරණය ආරම්භ වීමට තවත් දින 20ක පමණ කාලයක් තිබියදී ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ මෙවර උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේ කිසිදු අභියෝගයක් මෝදිගේ පක්ෂයට එල්ල නොවනු ඇති බවයි. ඊට අමතරව 2013 වසරේ අන්නා හසාරේගේ දූෂණ විරෝධී ව්‍යාපාරයෙන් දේශපාලන පක්ෂයක් ලෙස ඇරඹුණු ආම් ආද් පක්ෂය ද උත්තර් ප්‍රදේශ් හි ආසන කිහිපයක් දිනා ගනු ඇතැයි එම වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත් මේ වනවිට ආකර්ශනීය ලෙස සිය ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින භාරතීය ජනතා පක්ෂය මැණිකේ මගේ හිතේ ගීත තනුව අනුකරණය කරමින් “යෙහී මෝදි... යෝගී... යූ.පී යෝගී, යූ.පී යෝගි.. ආ.. යේගි පීර් සෙ බී.ජේ.පී..” තේමා ගීතය නිර්මාණය කර තිබේ. ඉන් අදහස් වන්නේ ‘උත්තර්  ප්‍රදේශ් ජනතාව ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදි සහ මහ ඇමැති අපේක්‍ෂක යෝගිට’ යනුවෙනි. ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය කර තිබෙන මෙම තේමා ගීතයට භාරතීය ජනතා පක්ෂ නිල ට්විටර් සහ ‍ෆේස්බුක් ගිණුම් මගින් ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුණි.

ඉකුත් වසරේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති මැතිරණයේ දී ද මහ ඇමැති අපේක්ෂිකා මම්තා බැනර්ජි මෙම ගීතයට අනුකාරක බෙංගාල ගීතයක් ඇගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත්තාය. මම්තා බැනර්ජි එම මැතිවරණය ජය ගැනීමට සමත් වූ අතර ඇය බටහිර බෙංගාල මහ ඇමැති වශයෙන් වර්තමානයේ කටයුතු කරන්නීය.

 සටහන - සකීෆ් සාම්